බංකොලොත් කාරක සභාවට දුන් අසත්‍ය සාක්ෂි ගැන මහ බැංකු අධිපතිගෙන් වාර්තාවක්

78

රටේ මූල්‍ය බංකොලොත් භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි ලබාදුන් ඇතැම් සාක්ෂිකරුවන් ලබාදී ඇති අසත්‍ය සාක්ෂි පිළිබඳව අනාවරණය කරමින් විශේෂ ලිඛිත වාර්තාවක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ සතිය තුළ භාර දීමට නියමිතය.

රටේ මූල්‍ය බංකොලොත් භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පසුගිය දා සාක්ෂි විමසීමේදී මේ අසත්‍ය සාක්ෂි පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී එම කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් මහතා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව පැමිණිල්ලක් වශයෙන් ලිඛිතව තම කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම අසත්‍ය සාක්ෂි පිළිබඳව ලිඛිතව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේ මහ බැංකු අධිපතිවරයා ලිඛිතව කරුණු ඉදිරිපත් කළහොත් ඒ ගැන කථානායකවරයාට යොමුකර අවශ්‍ය පියවර ගතහැකි බව ද එම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් මහතා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත.

මෙම කාරක සභාව හමුවේ මීට පෙර සාක්ෂි ලබා දී ඇති හිටපු මහ බැංකු අධිපතිවරයකු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයකු මෙසේ කරුණුමය වශයෙන් අසත්‍ය සාක්ෂ ලබාදී ඇති බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගියදා එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment