මත්ද්‍රව්‍ය පරයන කටට රස මරණය ගෙන එන පිරිපහදු ආහාර

ලංකාවේ වැඩිපුරම ඇත්තේ කෑම කඩ ය. කෑම කඩවලට ගොඩ වදින බාල තරුණ මහලු කාගේත් නෙත් පැණි බීම, පැකට් කළ කෙටි ආහාර, පැණි රස කෑම සහ චොකලට්, අයිස් ක්‍රීම්, කේක්, පේස්ට්‍රි, සොසේජර්ස්, බර්ගර්ස්, පිට්සා වැනි ආහාර පාන වෙත යොමු වෙති. ඇස, නාසය, දිව උත්තේජනය කරන මේ ආහාර පාන විස ආකාර බව දැන දැනත් සමහරු ඒවාට ඇබ්බැහිවී සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු ආකාරයෙනි. දුම්වැටියක් පානය කරන විට මත් වතුර පානය කරන විට දැනෙන සතුට මෙවැනි ආහාර ගත් විට ද ඇති වන අතර නැවත නැවත ගැනීමේ අවශ්‍යතාවක් ද දැනෙයි. අලුත්ම වෛද්‍ය පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ මෙවැනි ආහාර පාන මත්ද්‍රව්‍ය පරදන බව ය. “ඔබට දුම්පානයෙන් මත් වතුරෙන් මත් ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන් ඈත් වීමට පුළුවන්. ඒත් කෘත්‍රිමව සකස් කළ ආහාරවලින් නම් ගැලවීමක් නැහැ.” ස්වාභාවික ආහාර ස්වල්පයක් ගෙන ඒවාට විවිධ කෘත්‍රිම දේ එක්කර වෙනස්කම් රැසකට භාජනය කර සාදන පිරිපහදු කළ ආහාර (Ultra-Processed Foods, UPF) වරක් ගතහොත් නැවත ගැනීමට සිතෙන අකාරයෙන් ඇබ්බැහි වන ආකාරයෙන් සාදා ඇත. ඇතැම් ආහාර සම්පූර්ණයෙන් ම කෘත්‍රිම ය. පෝෂ්‍ය ගුණයෙන් හීන වුවත් පහසු මිලකට ගත හැකි වැඩි කාලයක් තබාගැනීමට පුළුවන් ක්ෂණිකව කෑමට ගත හැකි පිරිපහදු කළ ආහාරවලට ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතියි. බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ මෑතකදී පළකර තිබුණේ රටවල් 36ක කළ අධ්‍යයන 281කින් ඒ ඒ රටවල වැඩිහිටි පාරිභෝගිකයන්ගෙන් 14% ක් පිරිපහදු කළ ආහාරවලට ඇබ්බැහිවී ඇති බව ය. ඇබ්බැහිවූ දරුවන් ගේ ගණන 12 % කි.

බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල ජනතාවගේ ආහාර වේලෙන් 57%කම සපුරන්නේ මෙවැනි ආහාරය. දරුවන් සහ දිළිඳු ජනතාවගේ පරිභෝජනය 80%ක් වැනි ඉහළ ගණනකි.

● ජනතාව රෝගවලින් ෆුල් ඔප්ෂන් කරයි

බ්‍රසීලියානු විද්‍යාඥ ෆර්නැන්ඩා රෝබර් පවසන අන්දමට බොහෝ පිරිපහදු කළ ආහාර, ආහාර නො වෙයි. ඒවා කෑමට ගත හැකි ලෙස කෘත්‍රිමව සැකසූ ද්‍රව්‍යයන් ය.

ලන්ඩනයේ ආසාදනය වන රෝග පිළිබඳ විශේෂඥ වැන් තුලෙකන් කළ අධ්‍යයනයන් පිරිපහදු ආහාර පරිභෝජනය කරන්නන්ට ගෙන එන්නේ තරු පිටවන පුවතකි. ඔහුට අනුව මෙවැනි ආහාර අධික රුධිර පීඩනය, හදවත් රෝග සහ ආඝාතය (ස්ට්‍රෝක්) ඇතිවීමේ අවදානම ඉහළ නංවයි. එපමණක් නොව ස්ථුලභාවයට, පිළිකාවලට වැඩිහිටියන්ට වැලඳෙන දියවැඩියාවට, මානසික ගැටලු වන විශාදයට ඩිමෙන්ෂියාවට වාගේම දත් දිරා යෑමට ද මේවා බලපායි.

රතු මස් සකසා සාදන ලද සොසේජර්ස්, හැම්, බේකන්, හොට් ඩෝග්ස්, සලාමි වැනි ආහාර අන්ත්‍ර ආශ්‍රිත පිළිකාවලට ප්‍රධාන හේතුවකි. 80%ක් පිරිපහදු කළ ආහාර දින 30 ක් කෑමට ගතහොත් බර වැඩිවීම, පපුවේ දැවිල්ල, මළබද්ධය, කාංසාව, නින්ද නො යාම වැනි සංකූලතා ඇති වන අතර වැඩි වැඩියෙන් පිරිපහදු කළ ආහාර කෑමට රුචියක් ඇතිවෙයි.

අමෙරිකානු හෘද සංගමය පිරිමියකුට දිනකට සීනි හැඳි නවයකට (ග්‍රෑම් 36) වඩාත් කාන්තාවකට සීනි හැඳි 6කට වඩාත් (ග්‍රෑම් 25) කට වඩා පරිභෝජනය කිරීම නුසුදුසු බව පෙන්වා දී ඇත. වැඩිහිටියකු දිනකට ලුණු මිලිග්‍රෑම් 1500කට වඩා (ලුණු කපාපු තේ හැන්දකට වඩා / ග්‍රෑම් 6 කට වඩා) පරිභෝජනය නො කළ යුතු බවට නිර්දේශ කර තිබෙයි. අමෙරිකානුවන්ට සියයට හැත්තෑවකට වඩා ලුණු පිරිපහදු කළ ආහාරවලින් ලැබෙන අතර දිනකට එක් අමෙරිකානුවකු ලුණු මිලිග්‍රෑම් 3400ක් පරිභෝජනය කරයි. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් නො වුණ ද මීට වඩා වැඩි වෙනසක් දැකිය නො හැකි ය. අප පිරිපහදු ආහාරවලින් ලබා ගන්නා අධික සීනි, ලුණු, තෙල් ප්‍රමාණය පිළිබඳ කළ අධ්‍යයනයන් පිළිබඳව ද වාර්තා වී නැත.

● වෙස්වලා ගත් මාරයා හඳුනා ගනිමු

මේ ආහාර නිපදවීමේදී භාවිත කරන්නේ මුළුතැන්ගෙයිදී ආහාර පිසීමට භාවිත කරන ද්‍රව්‍ය නො වෙයි. එක් පිරිපහදු කළ ආහාරයක අඩංගු ද්‍රව්‍ය ගණන පහක් හෝ ඊට වැඩි ගණනකි. මෙහි ඇබ්බැහිකාරක විශාල වශයෙන් අඩංගු ය. කල්තබා ගන්නා ද්‍රව්‍ය, තෛලෝදකාරක, රස කාරක, කෘත්‍රිම වර්ණවලින් පිරිපහදු ආහාර සන්තෘප්ත ය. පෝෂණ ගුණයෙන් හීන නමුත් සන්තෘප්ත මේදය, ලුණු සහ සීනිවලින් නම් අඩුවක් නැත. අහිතකර මේදය, ලුණු, සීනි බෝ නොවන රෝග රැසකට ම පදනම දමයි. වැඩි වශයෙන් ඇති තෙල්, ලුණු, සීනි, කෘත්‍රිම රසකාරක, ඇබ්බැහිකාරක, කල්තබාගන්නා ද්‍රව්‍ය ආදී දේ සෞඛ්‍යයට කරන තර්ජන මෙපමණකැයි කිව නො හැකිය. තවමත් පිරිපහදු ආහාරවලින් සිදුවන සෞඛ්‍ය හානි අධ්‍යයනය කරමින් පවතින අතර හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට මෙන් ඉදිරියට තවත් සෞඛ්‍ය හානි අනාවරණය වීමට නියමිත ය. අප සුවසම්පන්න ආහාරයක් ලෙස සලකන කජු, ආමන්ඩ් වැනි ඇට වර්ග පොත්ත පිටින් කෑමට ගත් විට සිරුරට උරා ගන්නා තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් ඒවා පිටිකර ආහාරයට ගත් විට උරා ගන්නා බව පර්යේෂණවලින් හෙළිවී තිබෙයි. එසේ නම් තනිකරම වාගේ (අධික ලෙස) කෘත්‍රිම ද්‍රව්‍ය එක් කළ පිරිපහදු ආහාරයකින් සිරුරට උරා ගන්නා අහිතකර දේ කෙතරම්දැයි කිව හැකිද? මේවා අතර hydrolysed proteins, soya protein isolate, gluten, casein, whey protein, mechanically separated meat sugars(fructose, high-fructose corn syrup, fruit juice concentrates, invert sugar, maltodextrin, dextrose, lactose), soluble or insoluble fibre¦ modified oils (hydrogenated or interesterified oil) ආදී බොහෝ දේ ඇත. මෙවැනි ආහාර ලේබලවල අඩංගු ද්‍රව්‍යවල අවසන ඇති රස වැඩි දියුණු කරන ද්‍රව්‍ය, වර්ණක, පැණි රස වැඩි කරන ද්‍රව්‍ය, උකු බව වැඩිකරන ද්‍රව්‍ය, පෙණ ඇති කරන ද්‍රව්‍ය, ජෙලි, ඔපය වැඩි කරන ද්‍රව්‍ය සියල්ල ද මත්ද්‍රව්‍ය පරයන ඇබ්බැහි කාරක ය.

සෑම ක්ෂණික ආහාර (fast-food) කඩයක ම ඇත්තේ යම් තරමකට හෝ පිරිපහදු කරන ලද ආහාර ය.

මේවා ආහාරයට ගන්නා සියල්ලන් ම ඊට ඇබ්බැහි නො වෙයි. වැන් තුලෙකන් ගේ පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ සත් දෙනකුගෙන් එක් අයකු ඇබ්බැහි වන බව ය.

● තහංචි පැනවූ රටවල්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මෑතකදී බ්‍රෝමනීකෘත එළවළු තෙල් (brominated vegetable oil), පොටෑසියම් බ්‍රෝමේට් (potassium bromate), ප්‍රොපිල්පැරබන් (propylparaben) සහ රතු වර්ණක 3 (red dye 3) අඩංගු සියලු ම ආහාර පාන තහනම් කරන ලදී. මේ ඇබ්බැහිකාරක බොහෝ රස කැවිලි, පලතුරු බීම, කුකීස් වැනි ආහාර පාන ගණනාවක ම අඩංගු ය. ඉහත ඇබ්බැහිකාරක අඩංගු ආහාර බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය සහ ජපානය රටවල දැනටමත් තහනම් කර තිබෙයි. මෙක්සිකෝව පිරිපහදු ආහාර පාන විශේෂයෙන් ම ළමයින්ට ගැටවරයන්ට සීමා කර ඇත. දියුණු රටවල මෙවැනි ආහාරවලට දරුවන් පොළඹවන දැන්වීම්වලට පවා තහංචි පනවා තිබෙයි. කැනඩාව, චිලී රට, ප්‍රංශය, අයර්ලන්තය, නෝර්වේ, තායිවානය, බ්‍රිතාන්‍ය පිරිපහදු ආහාර දැන්වීම් තහනම් කිරීමට සීමා කිරීමට නීතිමය පියවර ගෙන ඇත්තේ විශේෂයෙන් ම ළමා පරපුර මේ ව්‍යාජ ආහාර රකුසාගෙන් බේරා ගැනීමටය.

● ලංකාවෙන් ද තහංචි
● අලුත් ම තහංචිය ට්‍රාන්ස් මේදයට

අපේ රටේ ද කලක සිට පිරිපහදු ආහාර රසකාරක බොහොමයකට තහංචි දමා ඇත. Aloin, Berbine, Beta-Azarone and cinnamyl anthracillate, Cade oil, Calamus oil, Cocaine, Coumarin, Diethylene glycol, Diethylene glycol monoethyl ether, Estragole, Eugenyl methyl ether, Hypericine, Nitrobenzene, Pyroligenous acid, Saffrole, Isosaffrole, Santonin, Sasafras oil, Thujone, Isothujone, Tonka bean 2014 වසරේ ජුලි 1 වැනිදා සිට තහනම් ය. ළඟදීම තහනම් වන්නේ බොහෝ බෝ නො වන රෝගවලට හේතුවන ට්‍රාන්ස් මේදයයි.

ට්‍රාන්ස්මේදය (Trans – Fat) මුළු මේද ප්‍රමාණයෙන් 2% කට වැඩි ප්‍රමාණයෙන් ඇති ආහාර 2024 ජනවාරි 1 වැනිදා සිට අලෙවි කිරීම තහනම් කර තිබෙයි. හයිඩ්‍රජනීකෘත තෙල් (hydrogenated oils) අඩංගු ආහාර ද අඩ වශයෙන් තහනම් කර ඇත. එහෙත් අපේ වැනි රටක කූට වෙළෙන්දන් එක්වර ම මේවා වෙළෙඳ පොළෙන් ඉවත් කරාවිද යන්න නම් සැක සහිත ය. එසේ ම රසය පමණක් ආහාරයෙන් පතන කාලා මිය ගියත් කම් නැතැයි සිතන්නන්ට ද මේ තහංචි බීරි අලියාට වීණා වැනීමක් වනු ඇත.

කෙසේ වුවත් සිය රට දේ සිරි සැප දෙනවාක් මෙන් නිවෙසේ පිළියෙල කරන කෑම වේල රෝහලට යන දින ගණන අවම කරන, මරණය දිගු කරන යහ පුරුද්දක් බව සිතීමට කාලය පැමිණ තිබෙයි.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment