අන්දරේලා

1039

(අමතක වූ නීති සක්‍රීය කරමු)

අන්දරේ පිළිබඳ කවුරුත් දන්නා එක් මෝඩ කතාවක් මෙසේය. අන්දරේ දිනක් රජවාසලට යනවිට එහි මැද මිදුලේ දැමූ මාගලක් මත සීනි අතුරා වියළීම පිණිස තබා තිබිණ. රජතුමා ද ඒ අසලම සිටිනු දුටු අන්දරේ මාගලේ ඇත්තේ මොනවා දැයි විමසීය. රජුගේ පිළිතුර වූයේ මාගල මත ඇත්තේ වියළීම පිණිස ගෙනා පස් බවය. එහි ඇත්තේ සීනි බව දැනගත් අන්දරේ රජු තමාට වංචා කරන බව තේරුම් ගෙන රජ මාළිගාවෙන් නික්ම ගොස් සිය බිරිය මියගිය බව කියමින් මගේ කටේ පස් තමයි යනුවෙන් හඬ හඬා සීනි කන්නට පටන් ගත්තේය. මේ කතාවේ දෝෂ කිහිපයක් තිබේ. අන්දරේ යනු මධ්‍යකාලීන යුගයෙන් පසු මෑත ඉතිහාසයේ මෙරට පහළවූ ජෝකර් කෙනෙකි. ඔහුගේ නම සෑදී ඇත්තේ යුරෝපීය නමක් වූ ඇන්ඩෲ යන්නෙනි. රුසියාව සහ ජර්මනිය පැත්තට යනවිට ඇන්ඩෲ යන නම අන්ද්‍රේ යන ස්වරූපයෙන් අසන්නට ලැබේ. අන්දරේ සිටි යුගයේදී මේ රටේ සීනි තිබුණේ නැත. මෙරට ජනයා ආහාර පැණි රස කරගැනීම සඳහා පාවිච්චි කළේ පොල් පැණි, පොල් හකුරු, කිතුල් පැණි, කිතුල් හකුරු, උක් පැණි, උක් හකුරු සහ මී පැණිය. 1900දී පවා මේ රටේ සුදු සීනිවත් තිබුණේ නැත. සුද්දන් තේ බිව්වේ පැණි මිශ්‍ර කරගෙනය. කෙසේ වුවද රජතුමාගේ මාගල මත ඇතිරූ සීනි තොගය අන්දරේ විසින් අනුභව කිරීමෙන් පෙනී යන්නේ සිංහල මිනිසුන් සීනි කෑමට කොතරම් පෙරේතද යන්නය. එසේම අන්දරේ නමැති චරිතයෙහි සැබෑ පැවැත්ම ගැන අදටත් ප්‍රශ්නයක් තිබේ. රජවාසල කවටයා යනු යුරෝපීය සංකල්පයකි. මෙය ලංකාවේ රාජකීය සංස්කෘතියට අවශෝෂණය වූයේ කෙසේද යන්න ගැන පැහැදිලි නැත. එහෙත් සීනිවලට අප තුළ ඇති පෙරේතකම කිසිදු තර්කයක් නැතිව පැහැදිලි කරගත හැකි දෙයකි. අද අප සඳහන් කරන්නේ ඒ පිළිබඳවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වැඩි සීනි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජනයා විසින් පරිභෝජනය කරන බව දැනගන්නට තිබේ. මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායකය. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි එක් පුද්ගලයකු විසින් වසරකට සීනි කිලෝග්‍රෑම් 13කට වඩා පරිභෝජනය කිරීම අන්තරාදායකය. එහෙත් ශ්‍රී ලාංකිකයකු වාර්ෂිකව සීනි කිලෝ 39ක් පරිභෝජනය කරයි. මෙකී අධි සීනි පරිභෝජනය නිසා ළමයින්ගේ දත් දිරා යන බව විශේෂඥ වෛද්‍ය රත්නායක පවසයි. අප දන්නා පරිදි මෙකී අධි සීනි පරිභෝජනය හේතුවෙන් දත් පමණක් නොව මුළු ශරීරයම දිරාපත්වීමේ අවදානමක් තිබේ. අපේ රටේ දියවැඩියා රෝගීහු විශාල සංඛ්‍යාවක් සිටිති. එයට ප්‍රධානතම හේතුව අපගේ ආහාර රටාවය. අප බහුල වශයෙන් ගිල දමන්නේ පිටිය. පිටි බඩට ගියවිට සීනි නිෂ්පාදනය වෙයි. ඊට පසු අපි කෙලින්ම සීනි තොග පිටින් අනුභව කරමු. සියලු රස කැවිලිවල සීනි තිබේ. මීට අවුරුදු 50කට පෙර මේ රටේ රස කැවිලිවල සීනි පමණක් නොව සැකරින් ද තිබිණ. සැකරින් යනු සීනි සඳහා වන රසායනික ආදේශයකි. සැකරින් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් ශරීරයේ අස්ථි දිරාපත් වන බව සොයාගෙන ඇත. එමතු ද නොව සැකරින් නිසා ආමාශය ද නන්නත්තාර වන බව හෙළිවී තිබේ. මේ රටේ සැකරින් පරිභෝජනය වැඩිවීමට පටන්ගත් වහාම එවකට තිබූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව දැඩි නීති පනවා වෛද්‍ය නිර්දේශයකින් තොරව සැකරින් පාවිච්චි කිරීම තහනම් කරන ලදී. එහෙත් සැකරින්වලින් ගැලවුණාට සීනිවලින් ගැලවීමට අවස්ථාවක් අපට ලැබුණේ නැත. සැකරින් පාවිච්චි කිරීම නීති විරෝධී වුවද සීනි පාවිච්චි කිරීම නීති විරෝධී නොවූ නිසා විවිධ ආකාරයේ රසකැවිලි මෙරට නිෂ්පාදනය කිරීමත් මෙරටට ගෙන්වීමත් සිදුවිය. යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී පැණි බීම වර්ගවල සීනි සංයුතිය පාලනය කිරීම සඳහා දැඩි නීති රීති ගෙනෙන ලදී. පැණි බීම බෝතලයේ අඩංගු සීනි ප්‍රමාණය හැඟවීම සඳහා නිෂ්චිත වර්ණ ලේබලයෙහි මුද්‍රණය කිරීම අනිවාර්ය කරන ලදී. එකල රස කැවිලි නිෂ්පාදකයෝ එම නීතිවලට අනුකූල වූහ. එහෙත් ටික කලකින් නීතිය අමතක විය. අදටත් පැණි බීම බෝතල්වල සීනි සංයුතිය හඟවන වර්ණය මුද්‍රණය කළ ද එමෙන් තුන් හතර ගුණයක සීනි සංයුතියක් එම පැණි බීමවල ඇත. තිබෙන නීතියක් අමතක කර දැමීම ලංකාව වැනි රටවල ඉතා පහසුය. වසර 2002 එජාප ආණ්ඩුව පැවති කාලයේදී එවකට පරිසර ඇමැතිව සිටි රුක්මන් සේනානායක විසින් වැදගත් නීතියක් සම්මත කරන ලදී. මේ නීතියට අනුව කුරුල්ලන් බලු පැටවුන් ඇතුළු සුරතල් සතුන් කූඩුවට දමාගෙන විකිණීම තහනම්ය. නීතිය පැනවූ මුල් දවස්වල තහනම ක්‍රියාත්මක වූ නමුත් ආණ්ඩුව මාරු වූ විට තහනම කාටත් අමතක විය. මේ නිසා කූඩුවට දමාගෙන සතුන් විකිණීමේ බිස්නස් එක අද සැරටම කරනු ලැබේ. පොහෝ දිනවලදී කැලණියේ පාලම මත කූඩුවල දැමූ කුරුල්ලන් දහස් ගණනක් විකිණීමට තබා ඇත. මේ සතුන් ගිනි අව්වේ කෑම හෝ වතුර නැතිව විශාල දුකක් විඳිති. අමතක කෙරුණු නීති යළි සක්‍රීය කරන ලෙස අප රජයෙන් ඉල්ලමු. නොඑසේ නම් අප සියලු දෙනාටම සිදුවන්නේ අන්දරේගේ ලෙවල් එකට යෑමය.

advertistmentadvertistment
advertistmentadvertistment