චාමර දලුගම අගයමු

516

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වසරේ මුල් මාස 9 තුළ නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව හත් ලක්ෂයකට අධිකය. 2021 වසරේ නිකුත් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ විය. 2022 වසරේ දත්තවලට අනුව පිරිමි පුද්ගලයන් හාරලක්ෂයකට අධික පිරිසක් සහ දෙලක්ෂයකට අධික කාන්තාවන් පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ. මෙරට ආර්ථිකය අර්බුදයට ලක්වීම ආරම්භයත් සමඟ ඇති හැකි අය බොහෝ දෙනෙක් විදේශගත වූහ. ඇතමුහු සිය පවුලේ සාමාජිකයන් සමඟම විදෙස් රටවලට සංක්‍රමණය වුහ. ඒ අතරට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, වරලත් ගණකාධිකාරීවරුන් ඇතුළු වෘත්තීයවේදීහූ විශාල පිරිසක් වෙති. උගත් බුද්ධිමත් පිරිස රට හැරයෑම හමුවේ මෙරට ඇතිවිය හැකි සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම අනිවාර්යයෙන් අවධානයට ලක් විය යුතු කරුණක් බව රහසක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින උගත්කමින් සහ බුද්ධිමය හැකියාවන්ගෙන් ඉහළ දක්ෂ පුද්ගලයන් මහා පරිමාණයෙන් සංවර්ධිත රටවලට සංක්‍රමණය වීම බුද්ධිගලනය නමින් හඳුන්වයි. ලංකාවේ බුද්ධි ගලනය ඇති වූයේ අද ඊයේ නම් නොවේ. එහෙත් පසුගිය වසරේ මෙරට බුද්ධි ගලනය සියයට 300 කින් පමණ ඉහළ ගොස් තිබිණි. පසුගිය වසරේ පැවති අරගල අර්බුදය රටට ඉතාම නරක ආකාරයට බලපෑ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එනිසා අනාරක්ෂිත වටපිටාවක්ද නිර්මාණය විය. නමුත් දැන් පසුගිය වසරට වඩා යම් යහපත් වාතාවරණයක් නිර්මාණයවී තිබේ. ඒ අන් කිසිවක් නොව ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය ඇතිවීමය. එය වඩා යහපත් නොවූවත් පසුගිය වසරට වඩා හොඳය. මේ බුද්ධි ගලනය ලංකාවට පමණක් බලපා ඇති ප්‍රශ්නයක් නම් නොවේ. අසල්වැසි ඉන්දියාව වේගයෙන් දියුණුවන නමුත් පසුගිය වසරේ ඇමෙරිකාවට වැඩියෙන්ම සංක්‍රමණය වී ඇත්තේ ඉන්දියානුවන්ය. එසේම බි්‍රතාන්‍ය වෛද්‍ය සේවය සඳහා එක්වූ විදේශ වෛද්‍යවරුන්ගෙන් බහුතරය ඉන්දියානුවන්ය. එහි පස්වෙනි තැන ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවේ වෛද්‍ය ප්‍රජාව පිටරටට ඇදී යනවාට වඩා මෙරට වෛද්‍ය ප්‍රජාව විදෙස් රැකියාවලට යෑම ලංකා දූපතට නම් ප්‍රශ්නයකි.

කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා වන 35 හැවිරිදි චාමර දලුගම මහතා විසින් “ශ්‍රී ලංකාව හැර යන්නේ නෑ” යනුවෙන් පසුගියදා කරනු ලැබූ ප්‍රකාශයක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. එය සමාජ මාධ්‍යවල විශේෂ අවධානයකට ලක්ව තිබිණි. චාමර දලුගම මහතා සිය පශ්චාත් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වසර ගණනක් එංගලන්තයේ වාසය කළ අතර ඔහුට එරට රැඳී සිට සිය වෘත්තීය කටයුතු කරගෙන යෑමට අවස්ථාව හිමි වුව ද, යළිත් මව් රටට පැමිණියේය. “එංගලන්තයේ වැඩ කරන්න මට අවස්ථා ගොඩක් තිබුණා. ඒත් මම ඒවා අතඇරලා ආපහු ලංකාවට ආවේ මගේ රටේ ළමයින්ට උගන්වන එක මට ලොකු සතුටක් නිසා. ඒක මම බොහොම තෘප්තියෙන් කරන දෙයක්. මේ රටේ ජීවත් වෙලා රට වෙනුවෙන් යමක් කරන එකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ නිසා මේ රට දාලා යන්න මට කිසිම අදහසක් නෑ. අපේ රටේ ශිෂ්‍යයන්ට උගන්වන එකත්, රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් මට ලොකු සතුටක්. ඒක දිගටම කරගෙන යනවා,” මහාචාර්ය චාමර දලුගම පවසයි. මෙය ඇත්තෙන්ම ගෞරවයෙන් පැසසියයුතු ප්‍රකාශයකි. පැදුරටත් නොකියා හදිසියේම අතුරුදන් වන විශේෂඥ වෛද්‍යවරුන් ගැන කතා ඇසෙන මේ කාලයේ චාමර මහතා සැබෑ දේශප්‍රේමියෙකි. උපන් රටට නිග්‍රහ කරන්නෝ බොහෝය. එසේම නිදහස් අධ්‍යාපනය හරහා සියලු ජයග්‍රහණ ලබා පිටරටට ගොස් පදිංචිවන පුද්ගලයන් බොහෝය. සමහරු සුවපහසු දිවි ගතකරමින් උපන් රටට නිග්‍රහ කරති. තමන් හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තේ මේ රටේ දුප්පත් බදු ගෙවන ජනතාව නිසා බව අමතක කරති. එහෙත් මහාචාර්ය චාමර දලුගම රටට වඩා වැදගත් ආදර්ශයක් ලබා දී ඇත. එය මෙරට තරුණ පරම්පරාවටද හොඳ පණිවුඩයකි.

advertistmentadvertistment
advertistmentadvertistment