මතක ඇති දවසක ඉඳලා නුවර කියද්දි මතක් වෙන්නේ කුණු ගඳ

අපට කරන්න දෙයක් නෑ තීරණය නගර සභාව අතේ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක

ලබන මස රථවාහන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නම්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ

අපට කරන්න දෙයක් නෑ. මගීන් ඉක්මනින් බැහැ ගන්න ඕනෙ. එහෙම නැත්නම් ආයෙ බහින්න වෙන්නේ බෝගම්බර තමයි..
දුර ගමන් සේවා කොන්දොස්තරවරු

බස් එකෙන් බැහැල බඩු ටික දාගන්න තැනක් නෑ. ලොකු බෑග් එකක් තිබ්බහම හරස් කරගන්න විදිහක් නෑ. තව බස් එකක හැප්පෙයි කියලා පණ බයයි

මහනුවර නගරයට දිනකට පැමිණෙන මිනිසුන් සංඛ්‍යාත්මකව ගතහොත් ලක්ෂ පහකට ආසන්නය. මහනුවර නගරයේ ලියාපදිංචි එක්ලක්ෂ විසි පන්දහස් හයසිය විසි හතක ජනතාවට අමතරව නගරයට පැමිණෙන ලක්ෂ පහක ජනතාවට නිදහසේ විඳ යෑමට අවශ්‍ය පසුබිම තිබේදැයි විමසීම වටී. හේතුව දුර බැහැරින් පැමිණෙන සියල්ලන්ම පාහේ මහනුවර නගරයට ගොඩ බහින්නේ මධ්‍යම වෙළෙඳපළ පසුපස කොටසට වන බැවිනි.

දවසේ ඕනෑම වේලාවක මධ්‍යම වෙළෙඳපළ පසුපස කොටසේ පවතින අධික දුගඳ සහ පැය පහකට වරක් ගොඩ ගැහෙන කුණු මතට දුරින් එන මිනිසුන්ට පය තබන්නට සිදුවීම ම අපරාධයකි.

දුරින් එන ජනතාව කුණු ගොඩට බැසීම

කොළඹ සහ ගම්පල දෙසින් ද එම ප්‍රදේශ ආශ්‍රිත වෙනත් නගරවලින් පැමිණෙන දුර ගමන් සේවා බස් රථ ද බදුල්ල මහියංගන, අනුරාධපුර, පොළොන්නරුව කුරුණෑගල ඇතුළු ඒ ආසන්න සියලුම ප්‍රදේශවලින් පැමිණෙන දුර ගමන් සේවා බස් රථ වලින් පැමිණෙන මහජනතාවද ගමන නිමා කරන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපළ පසුපසිනි. තවදුරටත් කෙටියෙන් කියා සිටියහොත් පළාත් හයක් නියෝජනය කරමින් පැමිණෙන සියලුම ජනතාව මහනුවරට ගොඩ බහින්නේ මධ්‍යම වෙළඳපළ පසුපස ඇති අපිරිසිදු පෙදෙසටය.

එතැනද නිශ්චිත වශයෙන් ම දුර ගමන් බස් රථවලින් පැමිණෙන මගීන්ට නිදහසේ ගොඩබහින්නට අවශ්‍ය පරිසරයක් සැකසූ බස් රථ නැවතුමක් නැත. කොළඹ සහ ගම්පල දෙසින් පැමිණෙන බොහෝ දුර ගමන් සේවා බස් රථ ය බෝගම්බර පිහිටා ඇති අන්තර්වාර බස් නැවතුම්පළට යන අතරවාරයේ මධ්‍යම වෙළඳපළ එළවළු වෙළෙඳසැල් අසලින් මගීන් හලා යනු දක්නට ලැබෙයි. එතැන්හි නිශ්චිත බස් රථ නැවතුමක් නැති අතර මහනුවර පොලිසියේ රථ වාහන අංශ නිලධාරීන් මාර්ග අවහිරතා වළක්වාලීම සඳහා කඩිමුඩියේ බස් රථ එතැනින් පිටත් කිරීමට වග බලා ගනී. යම් හෙයකින් බස්රථ ය අවහිරතා සිදුව මාර්ග නීති කඩවීමක් සිදුවුවහොත් අදාළ බස් රථයට දඩ කොළයක් හිමිකර ගැනීමට ද සිදුවේ. එහෙයින් සිදුවන්නේ අමුතුම ක්‍රමවේදයකි.

බස් රථ එකින් එක ඉදිරියට ඇදෙන අවස්ථාවල වන නිමේෂයෙන් මගීන්ට බිමට බැසීමට සිදුවීම නිතර දක්නා ලැබෙන්නකි. එවිට මගියා බිමට බසින්නේ මහ මඟට මිස බස් නැවතුමකට නොවේ. තවද එම ඉඩකඩෙහි ත්‍රිරෝද රථ පෙළක් ගාල් කර තිබෙනුද දක්නට ලැබේ. ත්‍රිරෝද රථ අතර පදික වේදිකාව මුළුමනින්ම පාහේ අත්පත් කරගෙන සිටින්නේ වෙළෙඳුන්ය. එළවළු, පලතුරු, මාළු, අල, ලූනු මහමඟ තබාගෙන වෙළඳාම් කරන මේ පදික වෙළඳුන් හට ඉඩකඩ ලබා දුන් ඇතැම් නිලධාරීන් බලධාරීන් සහ දේශපාලඥයන්ගේ හයිය ගෙන සාමාන්‍ය මහජනතාවට සලකන්නේ තුට්ටු දෙකට වත් ගණන් නොගන්නා තරමටය.. දුරින් පැමිණෙන බස් රථයක පැමිණෙන මගියෙකුට සිය ගමන් මලු තබා ගැනීමට හෝ පසෙකට වී තවත් වාහනයක් පැමිණෙනතුරු සිටීමට හෝ ඉඩකඩක් ඇත්තේම නැත.

නිලධාරී මත

ඒ සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසියට බලයක් නැති බවය. ඒ සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ නගර සභාව බව ද ඔහු කියා සිටියේය. දුර සේවා බස් රථ වලින් නුවරට ගොඩ බසින මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බව සාක්ෂි සහිතව පෙන්වමින් අන්තර්වාර බස් ප්‍රවාහන සේවයේ පිහිටුවා ඇති මාර්ගස්ථ මගී ප්‍රවාහන කාර්යාලයටත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයටත් පැමිණිලි කළ මුත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඔවුන්ටද බලයක් නැති බවය. එම නිලධාරීන් සියලු දෙනාම ඇඟිල්ල දික් කරනුයේ මහනුවර මහ නගර සභාවට බැවින් නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමු.

“මට නුවර නගරයේ බස් නවත්තන තැන් තීරණය කරන්න මට බලයක් නැහැ. ඒ තීරණ ගන්නේ මාර්ගස්ථ ප්‍රවාහන සේවයයි. ඒ සියල්ල තියෙන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා යටතේ. මට පුළුවන් ඒ ළඟ තියෙන කුණු ටික අයින් කරන්න. ඒ සඳහා යොදවා සිටින සේවකයන් ඒ කාර්යය ඉටු කරනු ඇති. බස් රථ වලින් එන මිනිස්සු බහින තැනවත් බස් නවත්තන තැන වත් මට තීරණය කරන්න බෑ. …. නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.

බෝලය අතින් අත පාස් වී පැමිණ ආණ්ඩුකාරවරයා වෙතට එල්ල වී තිබේ. එහෙයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඇමතීමි.

“ඔය කියන තැන ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නෙ නෑ. මාව දැනුවත් කළානම් ඒකට පියවරක් ගන්න තිබුණා. මට කවුරුවත්ම ඔය සම්බන්ධයෙන් කිව්වේ නෑ. ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී හෝ රථවාහන කමිටුවේදී මේ පිළිබඳ සොයා බලන්න මම පියවර ගන්නම්….” ආණ්ඩුකාරවර ගමගේ මහතා කීය.

මෑත අතීතයේදී මහනුවර කන්ද උඩරට නුවරඑළිය නගරයට හෝ දෙවැනි වූයේ නැත. අවසන් රාජධානිය යැයි ගරු ගාම්භීරත්වයෙන් එදා කතා කළ මහනුවර අසිරිය අද කොහේ හෝ සැඟව ගොස් තිබේ.

එය ස්වභාවික සිදුවූවක් නොවේ. දේශපාලන මැදිහත්වීම් හා නිලධාරීවාදය මැදිහත්වීමෙන් සිදුවූ අලකලංචියකි. ඒ බව නොකියා බැරිය. ඒ සියල්ල මත පීඩා විඳින්නේ මහනුවරට පැමිණෙන සාමාන්‍ය ජනතාවය. තවත් ලෙසකින් කිවහොත් මගී ප්‍රවාහන සේවයේ හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් ගන්නා මගීන් පමණි. රෝද හතරක් තමන් ටම හිමි සෙසු සියලු මිනිසුන් (නිලධාරීන් බලධාරීන් දේශපාලකයින් ඇතුළු) මේ පීඩාව අත්විඳින්නේ නැත. එහෙයින්ම ඔවුන්ට ඒ ගැන දැනෙන්නේ ද නැත.

පදික වෙළෙඳුන්ගේ සේවය

රට වටින් ඇවිත් මහනුවරට බහින්නේ කුණු ගොඩකට

මධ්‍යම වෙළඳපළ පිටුපස කොටසේ පාරේ පදික වේදිකාව අරක් ගෙන සිටින වෙළෙඳුන් සියලු දෙනාම පාහේ නගර සභාවට බදු වරිපනම් හෝ විදුලි බිල් නොගෙවා අනවසර වෙළෙඳුන් ලෙස ජීවත්වන පිරිසය. ඔවුන් එතනට තල්ලු කර දමා ඇත්තේ දේශපාලනඥයෙක් හෝ බලධාරියෙක් නිලධාරියෙක් ම ය. ඊට හේතු බොහොමයක් තිබේ. මේ පදික වෙළෙඳුන්ගෙන් ඔය කියන ඉහළ බලධරයන්ට ලැබෙන වාසි සහගත තත්ත්වයන් එමටය. ඒ සියල්ලම පෞද්ගලික මට්ටමෙන් ලැබෙන ලාභ ප්‍රයෝජනය. උදාහරණයක් ලෙස කිවහොත් නිවසේ පැවැත්වෙන උපන්දින සාදයකට පවා එළවළු පලතුරු මාළු ටික ගෙන්වා ගත් බලධාරීන් නිලධාරීන්ද මේ මහනුවර සිටි බව ප්‍රසිද්ධ රහසකි. පදික වෙළෙඳුන්ගේ සේවයේ කැපවීමේ ගැතිවීමේ අවසාන කොටස ඇත්තේ දේශපාලනඥයාගේ අභිමුවෙහිය. ඒ කතිරය ගසන අවස්ථාවේදීය. එදා වේල හොයා ගන්නට පොර බදින පදික වෙළඳුන්ගේ දවසේ ආදායම තීරණය වන්නේ කතිරය හමුවේ බව පැහැදිලිය. ශ්‍රී ලංකාව දියුණුව කරා ගමන් නොගන්නේ මේ හෙයිනි. ඉහළ වැජඹෙන දේශපාලනඥයාගේ සිට සියලු බලධාරීන් දුප්පත් දෛනික වැටුප් හිමියා ට නතු කොටගෙන සිටින්නේ තමාගේ යහපත උදෙසාය. එහි අතුරු පල භුක්ති විඳින්නේ මගී ජනතාවය.

පාරට බසින මගීන්

පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපස මහ මගට බසින මගියා තමන්ට අවැසි තැන දක්වා ගමන් කිරීමට ප්‍රධාන මාර්ගය මාරුවී යා යුතුවෙයි. ඒ කිසිදු තැනක සුදු ඉරක් සලකුණු කොට නැත්තේ ප්‍රදේශයේ පාර මාරු වීමේ අවදානම බහුල නිසාය. එහෙත් මඟින් පාර මාරුවී යා යුතුමය. දහවල් කාලයේ ප්‍රදේශය දෙස විමසිල්ලෙන් බලා සිටින කල මගේ ජනතාවගේ ජීවිත අවදානම පිළිබඳ ව පැහැදිලි දසුන් අපමණ දැකිය හැකිවෙයි. එහෙත් ඒ පිළිබඳ කතා කරන්නට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. ඒ ඊට විසඳුමක් නොලැබෙන බව දන්නා නිසාය.

නගරය පුරා බස් රථ නැවතුම්පළවල්

මහනුවර නගරයේ දුම්රියපළ අසල සිට පොරලෝසු කණුව දක්වාත් පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට සිට යටිනුවර වීදිය හරහා කච්චේරිය දක්වාත් මහ මඟ අසල බස් නැවතුම් පළවල් පිහිටුවා තිබේ. ඊට අමතරව අන්තර්වාර බස් ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යැයි පවසමින් රුපියල් මිලියන අටයි දශම හතක් වැය කරමින් බස් රථ අංගනයක් පිහිටුවීමට කටයුතුකර ඇත. මේ සියල්ල සිදුකළේ 2018 වැනි වසරේය. ඒ බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ගුඩ්ෂෙඩ් පෙදෙසේ ඉදිකිරීමේ සැලසුම නිසාය. දෙදහස් විසි එක වසරේ අවසන් කළ යුතුව තිබූ ඩොලර් මිලියන 65ක ලෝක බැංකු ආධාර යටතේ මෙම බහුමාදිලි ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘතිය අතරමග නතර වූයේ එහි වූ මුදල් විවිධ හේතු මත ක් හුළඟේ පාවී ගිය නිසාය.

මැතිවරණයක සුළං රැලක් පාවී යමින් තිබෙන වත්මන් මොහොතක යළිත් ගුඩ්ෂෙඩ් බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවට අසරණ මහජනතාවට සිහිනයක් පෙන්වා තිබේ. නැවත ඇස්තමේන්තු ගත ඩොලර් මිලියන 120 ක් වැයවන නව ව්‍යාපෘතියක් ලෙස පැමිණ ඇති ගුඩ්ෂෙඩ් ඉදිකිරීම පවරා ඇති කොන්ත්‍රාත්කරු ද තවමත් මේ සැලසුම පිළිබඳව සැලසුම් කරමින් සිටී.

එය නිමවා අවසන් වන තෙක් බස් රථවල පැමිණෙන මගීන් මහනුවරට කියා ගොඩ බසින්නේ මහ මඟට ද කුණු ගොඩටද කියා අපි නොදනිමු. මහ මඟ අවහිර වෙමින් බස් රථ නැවතුම්පළවල් පිහිටුවා තිබීමේ අවහිරතාව අත්විඳින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් බලධාරීන් කතා කරන දිනක් එනතුරු අපි බලා සිටිමු.

රට වටින් ඇවිත් මහනුවරට බහින්නේ කුණු ගොඩකට

මගේ ජනතාවගේ ජීවිත අවදානම පිළිබඳ පමණක් කතා කරමු. මහ මගට බසින පාසල් දරුවාගේ සිට වැඩිහිටියා තෙක් සාමාන්‍ය මිනිසුන්ද විශේෂ අවශ්‍යතා සහිත ආබාධ සහිත පුද්ගලයන් ද මහනුවරදී අත්විඳින්නේ කටුක අත්දැකීම්ය. අප මේ කතා කරන්නේ ඔවුන් වෙනුවෙනි. සීත කාමරවල හෝ සීතකළ වාහනවල ගමන් ගන්නා බලධාරීන්ට නිලධාරීන්ට දේශපාලඥයින්ට මේ මහ මඟ සිටින සාමාන්‍ය වැසියාගේ පීඩාව හිරිහැරය කටුක බව පෙන්වා දිය යුතු නිසාය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment