දේශපාලනඥයෝ ෆේල්…දැන් රටට ඕන මුදලාලි නොවන ව්‍යවසායකයෙක් – ජනක රත්නායක

98

මං ගාව වැඩ විතරයි ෂෝ නැහැ..

පොහොට්ටුවට සක්කරයා ගෙනාවත් දිනන්න බැහැ

මිනිසුන්ගේ හද ගැස්මේ හඬ මට හොඳට දැනෙනවා

ගමට සාගර වූ ඔහුව රට දන්නේ වෙනත් නමකින්ය. දඹවෙල ගමෙන් පටන් ගත් ජීවිතය මහනුවරටද ඉන් අනතුරුව කොළඹටද, ඉන් නොනැවතී රට රාජ්‍යන් කරාද විහිද වූ ඔහු දශක දෙකක ඉතිහාසය තුළ රටේ නායකයන් තැනීමේ කාර්යයේදී තිරය පිටුපස සුවිසල් කාර්යභාරයක් කළේය. සාගර නම නොදත් රට්ටු ජනක රත්නායක නමින් ඔහු හඳුනන්නේය. මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයා ලෙස ඔහුගේ කාර්යභාරය තුළ ඒ නම ජන මනසේ තැන්පත් වී ඇතැයි කීම අතිශෝක්තියක් නොවේ. ඔහු ජනපතිවරණ සටන සඳහා තරග කරන බවට පැතිරෙන ආරංචියත් සමග එහි සත්‍ය අසත්‍ය බව දැනගැනීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ජනක රත්නායක මහතා මුණගැසුනෙමු.

පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඔබ තරග කිරීමට සූදානම් බව සඳහන්. එය එසේද ?

පිළිතුර – ඔව්. මීළඟ ජනාධිපතිවරණයේදී මම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනවා.

ප්‍රශ්නය – හේතුව කුමක්ද?

පිළිතුර – ඒක එක වචනෙකින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රට පෙර නොවූ විරූ තරමට දැඩි ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. කෙටියෙන් කිව්වොත් රට අන්ත අසරණ වෙලා. පවතින දේශපාලන ව්‍යුහය තුළ මේ දේශපාලනඥයන්ට මෙම තත්ත්වය කළමනාකරණය කරගන්න හැකියාවක් නැහැ. වැටී ඇති ආර්ථික ආගාධයෙන් රට ගොඩගැනිය හැක්කේ හොඳ ව්‍යවසායකයකුට පමණයි. මෙතෙක් කලක් ව්‍යාපාරික, දේශපාලන මෙන්ම පරිපාලකයකු ලෙස පැමිණි ගමන් මග තුළ ලබාගත් අත්දැකීම් හා සාර්ථකත්වයන් වැටී ඇති රට ගොඩගන්න ප්‍රමාණවත් යැයි මා විශ්වාස කරනවා. මේ ආර්ථික අර්බුදය පැනනඟින්නේ හතළිස් අටේ සිට මේ දක්වා ගෙනා වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති නිසයි. අපේ හිටිය එක ලීඩර් කෙනකුටවත් හරි දැක්මක් තිබුණේ නැහැ. මගේ අත්දැකීම්, දැනුම් සම්භාරය වැටී ඇති රට ගොඩගන්න ප්‍රමාණවත් යැයි මා විශ්වාස කරනවා. සම්ප්‍රදායික දේශපාලනඥයන්ට මේ රට දියුණු කිරීමට හැකියාවක් නැහැ. තවදුරටත් ඒ කියන්නේ ඉදිරි වසර පහ දහය තුළ සම්ප්‍රදායික දේශපාලනය තුළ මේ රට ඉදිරියට ගියහොත් කිසි ලෙසකවත් එම විනාශය ආපිට හරවන්න වෙන එකක් නැහැ. ඒ නිසයි මෙම තීරණය ගත්තේ. වසර 15ක් පමණ ඉතිහාසයක සිට නොයෙක් ඉහළ තනතුරුවල රාජකාරී කර තිබෙන මාව ගොඩක් මිනිසුන් අඳුරන්න ගත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කරන අවධියේදී. අපි වැඩ කරලා පෙන්වල තියෙන මිනිස්සු.

ප්‍රශ්නය – ඔබ කිව්වා වගේ රට්ටු මේ ජනක රත්නායක කවුද කියලා හඳුනන්න පටන් ගත්තේ ඔබ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ අවධියේදී. ඔබගේ මෙම ජනාධිපතිවරණ ආගමනය දෙස බලද්දී එදා ලොකු “ෂෝ” එකක් දැම්මේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බව හිතන්න වෙනවා.

පිළිතුර – මම ෂෝ මෑන් කෙනෙක් නෙවෙයි. ඔබ හිතනවද මම ෂෝ මෑන් කෙනෙක් කියලා. එම තනතුරේ කටයුතු කරද්දී වැඩිපුර මාව මාධ්‍යයෙන් දකින්න ඇති. ඒවා ෂෝ දැමිලි නෙවෙයි. ඒවා රටේ මිනිස්සු වෙනුවෙන් අවංකව කරපු දේවල්. ආයතනයක්, එහි පනතක් මැති ඇමැතිවරුන්ට ඕන විදිහට උල්ලංඝනය කරන්න බැහැ. මම මගේ ජොබ් එක හරියට කළා. මේ රට ගොඩ ගන්න තියෙන ක්‍රමය තමයි පවතින දේශපාලන දිශානතිය වෙනස් කිරීම. මේකට දේශපාලනය නොකරපු පුද්ගලයෙක් පැමිණ ආර්ථිකය හරි ලෙස කළමනාකරණය කළොත් පමණයි රට ගොඩගැනිය හැක්කේ.

ප්‍රශ්නය – ඔබ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ පසු මේ වන විට අවස්ථා ගණනාවක දී විදුලි බිල ඉහළ නන්වා තිබෙනවා. මේ වන විට පවතින මිලට වඩා කොපමණ අඩුවෙන් විදුලිය ලබාදිය හැකිද ?

පිළිතුර – විදුලි බල පනතට අනුව මණ්ඩලයට ලාභ ලබාගන්න බැහැ. නමුත් අවස්ථා හතරකදී ඉහළ නැන්වූ විදුලි බිල අනුව මණ්ඩලය මේ වන විට බිලියන 50 ක පමණ ශුද්ධ ලාභ ලබනවා. මෙම ශුද්ධ ආදායම ලැබෙන්නේ බිලියන 700 ක දළ ලාභයකින් නම් අපි කතා කරන්නේ සියයට පහළොවක විතර ශුද්ධ ලාභයක් ගැන. ඒ කියන්නේ සියයට පහළොවක් විතර විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙතන විය යුත්තේ හැමෝටම සියයට පහළවක විතර විදුලි බිල අඩුකරනවා වෙනුවට අඩු ආදායම්ලාභී ජනතාවට සියයට හතළිහක විතර සහනාධාරයක් ලබාදිය යුතුයි. ඒක කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ ජනාධිපතිවරණයට තරග කරනවා. එය ජයග්‍රහණය කිරීම අතිශය භාරදූර කාර්යයක්. ඔබට මුළු රටටම කතා කළ යුතු වෙනවා. ඒ කටයුත්ත සඳහා ඔබ සතුව ඇති සැලසුම්, ක්‍රමෝපායන් සහ මෙවලම් කුමක්ද?

පිළිතුර – රට තුළ ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක්. මෙම ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට හරි පුද්ගලයා හරි වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළහොත් ඒවට ජනතාව ඒ වටා අනිවාර්යයෙන්ම රොක් වෙනවා. ඒ පදනමේ තමයි මම ඉන්නේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වන බවට සඳහන්. දේශපාලනඥයන් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයනුත් ඒ අතර ඉන්නවා. ඔබත් එන්නේ ව්‍යාපාරික කුලකය තුළ සිටයි. මේ දැඩි තරගයත් සමග ජයග්‍රහණය බොහෝ දුර නොවේද ?

පිළිතුර – අපේක්ෂකයන් ගණනාවකගේ නම් කියනවා තමයි. නමුත් ඇතැම් අයගේ ඉල්ලීම තවම ස්ථිර නැහැ. කොහොමත් දැන් පොහොට්ටුවට තියෙන ජනප්‍රියතාවය අනුව කෝටිපති ව්‍යාපාරිකයො නෙවෙයි සක්කරය ආවත් දිනන්න බැහැ. ඒ වගේම මෙතෙක් කල් රට විනාශ කළ දේශපාලනඥයන්ටත් මේ රට ගොඩ දාන්න බැහැ.

ප්‍රශ්නය – ඔබ, ඔය කියන්නේ කාටවත් රට ගොඩ දාන්න බැහැ කියලනේ. ජනක රත්නායක ඒ අයට වඩා හොඳ වෙන්නෙ කොහොමද ?

පිළිතුර – මගේ රාජ්‍ය පරිපාලන භූමිකාව ආරම්භ වන්නේ 2008 වසරේ ඉඳන්. ඒ දේශපාලනඥයෙක් නොවී දේශපාලනයට එන්නේ නැතුව. 2008 වසරේ මර්චන්ට් බැංකු සමූහයේ සභාපති වශයෙන් සහ 2010 අපනයන සංවර්ධන මණ්ඩලයෙ සභාපති සහ ප්‍රධාන විදායක නිලධාරිවරයා වශයෙන් රාජකාරි කළා.

2019 සිට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එහිදී ජනතාව වෙනුවෙන් කතාකර ගිලටීනයට අහුවුණා.

මම හැම වෙලාවෙම සාර්ථක ව්‍යාපාරිකයකු වශයෙන්, සාර්ථක පරිපාලකයකු වශයෙන් මහජනතාවට සේවය කරලා තිබෙනවා. ඔය දැන් ජනාධිපතිවරණයට ඉල්ලනවයි කියන ප්‍රබල ව්‍යාපාරිකයෝ රටට ජනතාවට කරලා තියෙන්නේ මොනවද කියලා ඔබ කියන්න. මුදලාලි සහ ව්‍යවසායකයා අතර වෙනස රටේ ජනතාව දන්නවා. මම මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන මුදලාලි කෙනෙක් නෙමෙයි.

ප්‍රශ්නය – මුදල් යහමින් ඇති සඳළුතලවල ජීවත්වන මිනිසුන්ට මහ පොළොවේ ජීවත්වෙන ජනතාවගේ ඕනෑ එපාකම් නොතේරෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඔබට ජනතාවගේ හද ගැස්ම තේරෙනවාද ?

පිළිතුර – මම එන්නේ ගමකින් බව ඔබ දන්නවද? මගේ මුල් තාම එහෙ තියෙනවා. මම එන්නේ මහනුවර දඹවෙල ගමේ ඉඳන්. මම හතර වසර වෙනකන් පාසල් ගියේ ගමේ ගුරුදෙණිය විද්‍යාලයට. ඊට පස්සේ තමයි ලංකාවේ ලොකුම පාසලක් වෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වන්නේ. උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ කොළඹ විශ්වවිද්‍යාලයට. ඉන් පසුව රුසියාවේ සහ ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබා තමයි මේ තැනට ඇවිත් ඉන්නේ.

ඒ ගමන තුළ ගම, නගරය, ලෝකය හරි විදිහට ස්පර්ශ කරන්න මට හැකි වුණා. ඒ සියල්ල අතර තියෙන අන්තරයන් කුමක්ද යන්න නිසි වැටහීමක් මට තිබෙනවා. ගමෙන් ඇවිත් දැන් සමාජයේ ඉන්න මට ඕනෑම ස්ථරයක සිටින මිනිසුන්ව අඳුනගන්න පුළුවන්.

ඔබ දන්නවද මම ගමට ගියහම මගේ නම ජනක නෙවෙයි. එහේ නම සාගර. මීට කලින් මේ කතාව කාටවත් මම කියලා නෑ. මේ සාගරට පුළුවන් ගමට ගිහින් ඔයෙන්, මහවැලි ගඟේ නාන්නත්, අඹ ගහකට ගිහින් ගෙඩියක් කඩා ගන්න, කොස් දෙල් කන්න කුඹුරු කරන්න. ආ තව දෙයක් දන්නවද, මට කුඹුරු හාන්නත් පුළුවන් ගොයම් කපන්නත් පුළුවන්. මට කිරි දොවන්න පුළුවන්. කිරි දොවන ගමන් කිරි බොන්නත් පුළුවන්. එහෙම මිනිහෙකුට ජනතාවගේ හද ගැස්ම නොතේරෙනවා වෙන්න පුළුවන්ද. මට මිනිස්සුන්ගේ හද ගැස්ම හරියටම තේරෙනවා. අපි ඇඩ්වලට මිනිස්සුන්ගේ හදගැස්ම තේරෙන බව පෙන්වන්න හදන මිනිස්සු නෙමෙයි.

මම රුපියලේ ඉඳන් බිලියන කිහිපයක් දක්වා ආදායම් හොයලා තිබෙනවා. ආදායම් උපයන හැටි මම දන්නවා. දැන් ඉන්න දේශපාලනඥයන්ට වගේ නෙමෙයි පිටරටින් ණය ගන්නත් මම දන්නවා. මම ණය ගන්නේ හොරා කන්න නෙමෙයි. ගන්න ණය ගෙවන්නත් මම දන්නවා. ණය අරගෙන එමගින් ආදායම් ගන්න හැටි මම දන්නවා. ව්‍යාපාරික ඥානය මට තිබෙනවා. දන්නවද 2002 දී මම වසරේ ව්‍යාපාරිකයා වුණ මිනිහෙක්.

ප්‍රශ්නය – රට මේ වන විට විශාල ණය කන්දක හිර වෙලා තිබෙන්නේ. ඔබ ජනාධිපති වුවහොත් ණය ගෙවන්නේ කොහොමද?

පිළිතුර – මෙරට දළ දේශීය නිෂ්පාදනය බිලියන 70 යි. එම ප්‍රමාණය කියන්නේ ඇමෙරිකාවේ තියෙන සුළු පරිමාණයේ ව්‍යාපාරයක්. ලෝකෙ තියෙන ලොකුම ව්‍යාපාරය තමයි සෑම් වෝල්ටන්ගේ වෝල්ට් මාර්ට් සුපිරි වෙළෙඳ ජාලය. එහි ටර්න් ඕවෙර් එක (පිරිවැටුම) බිලියන 700 යි. මෙරට ජනතාව මිලියන 22ක්. ඒ කියන්නේ මොළ මිලියන 22ක් තිබෙනවා. ඒ සුපර්මාර්කට් සමූහයේ ඉන්නේ මිනිස්සු ලක්ෂ හයයි. ඔහු මිනිස්සු ලක්ෂ හයකින් ඒ දේ කරනවා නම් මිලියන 22ක් මොළ තියෙන රටක ණය ගෙවන්න බැරිද? ඇත්තටම අපට තියෙන ප්‍රශ්නය මේ ඉන්න දේශපාලනඥයන්ට ආර්ථිකය හසුරව ගන්න බැරි එකයි.

දැන් බලන්න සුරා බදු දෙපාර්තමේන්තුව. එහි අරක්කු මිල වැඩි කළා. එතකොට වුණේ එහි ඉල්ලුම අඩු වුණ එකයි. එමගින් විශාල බදු ආදායමක් රටට අහිමි වුණා. හැම භාණ්ඩයකම ප්‍රශස්ත මිලක් තිබෙනවා. එම මිල ඉක්මවා මිල කළ පසු ඉල්ලුම අඩු වෙන එක අහන්න දෙයක් නැහැ. දැන් මේ ආණ්ඩුව ගෙන යන සමීකරණය වැරදියි කියලා කිව්වහම මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. මේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඇත්ත ඒකයි.

ප්‍රශ්නය – ඔබගේ විදෙස් ප්‍රතිපත්තිය කෙසේද?

පිළිතුර – නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක අපි කටයුතු කරනවා. ව්‍යාපාර ව්‍යාපාර විදිහටත්, දේශපාලනය දේශපාලනය විදිහටත් කළහම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අපේ විදෙස් ප්‍රතිපත්තිය මික්ස් කරලා මෙස් කරගෙන තියෙන්නේ. භූ දේශපාලනය කියන්නේ වෙළෙඳාම නෙවෙයි. වෙළෙඳාම, ජාත්‍යන්තර සබඳතා හා දේශපාලනය අපි පටලවාගෙන තිබෙන්නේ. ආයෝජකයො මෙහි එනවා නම් එන්නේ ව්‍යාපාර කරන්න මිස මේ රට හදන්න නෙමෙයි. අපේ දේශපාලනඥයෝ ආයෝජකයෙක් එනකොට ඒ මනුස්සයාගේ පස්සෙන් ගිහින් ගාණක් කඩාගෙන ව්‍යාපෘතියෙන් නැත්තටම නැති කරනවා. ඒ දේවල්වලට මගේ පාලනයේදී කිසිම ඉඩක් නැහැ.

අපට විදෙස් සංචාරකයෝ මිලියන පහක ප්‍රමාණයක් මෙරටට ගෙන එන්න පුළුවන්නම් බිලියන දහයක ආදායමක් ගන්න පුළුවන්. ඇත්තටම අපට ණය ඉල්ලන්න ඕන නැහැ. ඉන්දියාවට කියනවා, ඔබ එවන්න අපට මිලියන දෙකහමාරක සංචාරකයන්. චීනයෙන් අපට මිලියන පහක සංචාරකයන් මෙහාට එවන්න ඉල්ලනවා. අපට සංචාරකයන් මිලියන පහක් ගේන්න පුළුවන් නම් ඉන් රුපියල් බිලියන දහයක විතර ආදායමක් ලබාගන්න පුළුවන්. අපනයනය සියයට පනහකින් ඉහළ නංවන්න හැකිවුණහොත් එය බිලියන විසිදෙකහමාර වෙනවා. ඒ වගේම විදෙස් ප්‍රේෂණ බිලියන 15කර ගතහොත් රටේ ආදායම බිලියන 35 – 40 ක් වැඩි කර ගන්න පුළුවන්. අපේ වෙළෙඳ තැම්පතුව බිලියන පහයි. ඔය මම කිව්ව බිලියන 40 ක ආදායම ගත්තහම ඕක ගෙවන එක මහ දෙයක්ද? ආදායම් වැඩි කර ගතහොත් රටේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් ණය ගෙවන්න බැරිද? මේවා මෙහෙම හරියට කළොත් ආර්ථිකය හදන්න බෑ කියන්නේ කවුද?

ප්‍රශ්නය – ඔය වැඩේට අවුරුදු පහක් ඇතිද?

පිළිතුර – ඔය වැඩේට වසර පහක් මදි. ජනාධිපතිවරයකුට අවස්ථා දෙකකදී වසර පහ බැගින් අවුරුදු දහයක් බලයේ ඉන්න පුළුවන්. පළවෙනි අවුරුදු දෙක තුන ඇතුළත අත්තිවාරම දාන්න ඕන. ඊළඟ දෙකේදී රට ස්ථාවර කරන්න ඕන. ඉතුරු වසර පහේදී සියල්ලන් ඒකාබද්ධ කරන්න ඕන. ඔය ටික කරහම වැඩේ අවසන්. ඔය ජනාධිපති තනතුරු අරගෙන මට සල්ලි හොයන්න දෙයක් නැහැ.

ජනාධිපතිවරණයේදී දිනන්න ඕන මම නෙවෙයි, ජනතාව. රට හදන එක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හදන්න ඔබයි මමයි රටේ සැවොම එකතු විය යුතුයි. හරි නායකයෙක්ට රටේ සියලු ජනතාව එකතු කරගෙන රට ගොඩ දාන එක කජ්ජක් නෙවෙයි. ඔය වැඩේ අපිට කරන්න පුළුවන්. මම රටේ ජනාධිපති වුණාම ජනතාවට තුන්වේලම හරියට කන්න දෙනවා. මේ කියන්නේ දන්සැල් දෙනව කියන එක නෙමෙයි. හරි වැඩපිළිවෙළක් හදනවයි කියන එක. මේ වගේ මිනිස්සු බඩගින්නේ තියන්න මම ඉඩ තියන්නේ නැහැ.

රට හදන්න තියෙන්න ඕනෑ එක ප්‍රතිපත්තියක්. 2005 ඉඳන් මේ වෙනකොට වැට් බද්ද දහ පාරක් වෙනස් වුණා. මෙහෙම වෙනස් වෙද්දි රටක් හදන්න පුළුවන්ද. එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. එක අධ්‍යාපන ප්‍රතිපත්තියක්, එක සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, එක ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්, එක ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වගේ ප්‍රතිපත්ති තිබුණා නම් දේශපාලකයන් ඇවිත් යන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නයි ඔහුට හෝ ඇයට තියෙන්නේ. රට හදන්න නම් මේව කරන්න වෙනවා.

ප්‍රශ්නය – අවසාන වශයෙන් ඔබ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

පිළිතුර – ඉල්ලන්නේ එකම දෙයයි. තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න. මම කවදාවත් සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ පැරඩයිම් ශිෆ්ට් එකක් ගැන. ඒ කියන්නේ සුසුමාදර්ශය කියන එක. ඒකෙන් කෙරෙන්නේ වැරදි තත්ත්වයන් නිසා මේ තත්ත්වයට පත් වෙලා තියෙන රට යම් අලුත් වැඩපිළිවෙළකින් මේ ප්‍රතිඵලයට වඩා නව ප්‍රතිඵලයක් ලබාගෙන ආර්ථිකය දියුණුව කරා රැගෙන යෑම. ඊළඟ මැතිවරණයේදී දේශපාලනය නෙවෙයි වැදගත් වෙන්නේ ආර්ථිකය. මේ ආර්ථිකය ගොඩනැගිය හැකි පුද්ගලයා කවුද? එසේ කිරීමට අවශ්‍ය වටපිටාව, දැනුම, හදන්නේ කොහොමද කියලා දන්න බව, පලපුරුද්ද සහ ධෛර්යය තියෙන්නේ කාටද? මිනිස්සු පරණ ක්‍රමයටම ගියොත් තව වසර දහයක් විස්සක් ගියත් මේ ප්‍රශ්නේ මෙහෙමම තියෙනවා. ඒ නිසා දැන් අවශ්‍ය පැරඩයිම් ශිෆ්ට් එකක්. සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි. රටට ඕනේ අලුත් ප්‍රතිපලයක්. කොන්ද කෙලින් තියාගෙන ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනා. මේ එළඹ තියෙන්නෙ ලංකාවට තියෙන අවසන් අවස්ථාව. මේක මගහරවා ගන්න බැහැ. රට වැටෙනවා බලාගෙන අපට නිකන් ඉන්න බැහැ.

ප්‍රශ්නය – හැත්තෑ හතේ ජේ. ආර්, 2005 එම්. ආර්. 2019 බී. ආර්. 2024 ආපහු ජේ. ආර්. කෙනෙක්ද ?

පිළිතුර – අනිවාර්යයෙන්ම. ඔහු වැඩේ ඉවර කරලා යනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර / ප්‍රභාත් විතාන
ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment