මීට පස්සේ එන්.ජී.ඕ.සල්ලි ගන්න බෑ

236

රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ වත්කම් ද සොයයි

විදේශ අරමුදල් ගිණුමක හැර වෙනත් ගිණුම්වල දැමීම තහනම්

මීට පස්සේ එන්.ජී.ඕ.සල්ලි ගන්න බෑ

රටවල් 20කට අධික සංඛ්‍යාවකින් මෙරටට ඩොලර් මුදල් ගලා ඒම ගැන රජය මුල්වරට විමර්ශන අරඹා ඇත.

මෙතෙක් ඒ ගැන පරීක්ෂණ ආරම්භ වී නොතිබිණි. බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, කැනඩාව, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, බෙල්ජියම ඇතුළු රටවලින් මෙම අරමුදල් මෙරටට සැපයේ.

පසුගිය වසර පහ තුළ රුපියල් බිලියන 5කට අධික මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබී තිබූ අතර එම මුදල් කුමන ව්‍යාපෘතිවලට භාවිතා කළේ ද යන්න ගැන හෙළිවී නැත.

නව රාජ්‍ය නොවන සංවිධාන පනත යටතේ රටේ ජාතික ආරක්ෂාවට අහිතකර ක්‍රියාවල යෙදෙන සංවිධානවල වත්කම් සහ දේපළ තහනම් කිරීමට ද රජයට අවසරය හිමි වේ. නව පනත ඉදිරියට ගෙන යායුතු බව ජනපතිවරයාගේ අදහස බව රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා හෙළි කළ විට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහු දැඩි කලබලයට පත්වී ඇත.

මෙම පනතේ එන වගන්ති මෙසේය.

  1. මුදල් ආධාර ලබන සෑම රාජ්‍ය නොවන ආයතනයක්ම සිය ව්‍යාපාර සකස් කළ යුත්තේ රජයේ වැඩසටහන්වලට සමගාමීවය.
  2. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලබාදීම
  3. ජීව විද්‍යාත්මක සොරකම්
  4. මුදල් විශුද්ධිකරණය

යන කරුණු ගැන විමර්ශනය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයට බලය පැවරේ.

මීට පස්සේ එන්.ජී.ඕ.සල්ලි ගන්න බෑ

එසේම විවිධ විදේශීය ආයතනවල සෘජු හා වක්‍ර නියෝජිතවරුන් ලෙස ක්‍රියා කරන දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන සහ එම ආයතන මගින් සපයන අරමුදල මත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සුරැකීමේ නාමයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට ද පනත යටතේ හැකි වේ. මේ හැර රාජ්‍ය නොවන සංවිධානවල සියලුම සාමාජිකයන් නිරීක්ෂණය කිරීමට ද ඔවුන් සතු දේපළ පිළිබඳ තොරතුරු රැස් කිරීමට ද නව පනත යටතේ ඉඩ ලැබේ. මෙයට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්ගේ ආගමන, භාණ්ඩ ආනයනය, සන්නිවේදන උපකරණ ගෙන්වීම ගැන ද විමර්ශනය කළ හැකිය.

එසේම රාජ්‍ය නොවන සංවිධාන සතු දේපළ නිසි අධිකරණ බලයකින් තොරව තහනම් කිරීමට ද රජයට අවසරය ලැබේ.

රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකා රාජ්‍යය, ජාතික ජනපති, එක්සත් ජාතීන්ගේ යන වචන භාවිතා කළ නොහැකිය.

මෙයට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක නාමයකින් විදේශීය භාෂාවක් භාවිතා කළ නොහැකිය. එසේම රුපියල් මිලියනයකට වඩා මුදල් ලබා ගැනීමට නම් රාජ්‍ය නොවන සංවිධාන රජයේ අවසරය ලබාගත යුතුය.

මෙවර රජය, රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට උපදේශක සභාවක් ද පත්කර තිබේ.

එම උපදේශක සභාව මෙසේය.

  1. ආරක්ෂක ලේකම්
  2. පොලිස්පති
  3. මහ බැංකු මූල්‍ය ප්‍රධානියා
  4. සමාජ සේවා අධ්‍යක්ෂ
  5. ලේකම් ස්වදේශ කටයුතු
  6. විදේශ ලේකම්
  7. ආගමන විගමන පාලක
  8. දේශීය ආදායම් කොමසාරිස්

මෙම නව පනත කෙටුම්පත් කිරීමට මුල්වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන දූෂණය හා ආණ්ඩු පෙරළීමේ ක්‍රියාමාර්ග ගැන මනා අවබෝධයක් ඇති ආචාර්ය ප්‍රසන්න ගුණතිලකයි.

සටන් විරාම සමයේ නෝර්වේ හි නෝරාඩ් සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධාන රැසකට, දේශපාලකයන්ට, මාධ්‍ය සහ වෙනත් ආයතනවලට නෝර්වේ ක්‍රෝන් මිලියන ගණනක් සැපයූ අයුරු හෙතෙම දනී.

මේ පසුබිම මත මින් මතු මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට විදේශිකයන්ගේ සේවය ලබාගත හැක්කේ එම විදේශිකයන් සේවය කරන රටවල පොලිස් වාර්තා මතය. මෙයට පෙර මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ නිර්දේශ විදේශිකයන්ට මෙරටට පැමිණ ආණ්ඩු පෙරලළීමේ රහස් මෙහෙයුම්වලට පවා සම්බන්ධ වීමට හැකි විය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ඇමරිකානු හිටපු හමුදා නිලධාරීන් පවා රාජ්‍ය නොවන සංවිධානවල නිර්දේශ මත මෙරටට සම්ප්‍රාප්ත විය. මේ තොරතුරු රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රධානි නීතිඥ රාජා ගුණරත්න, රජයට හා බුද්ධි අංශවලට දැනුම්දී තිබිණි. එහෙත් රජය වෙනස්වීම නිසා ඔහුට ධුරයෙන් ඉවත්වීමට සිදු විය.

එසේ වුවත් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ නව ප්‍රධානියා, රනිල් වික්‍රමසිංහ රජය නව එන්. ජී. ඕ. පනත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොළඹ එන්. ජි. ඕ. ජාලයට දැනුම්දීම නිසා ඔවූහු කලබලයට පත් වී ඇත.

රජය මෙම තීරණය ගනු ලැබුවේ අරගලය වැනි සංවිධාන දැක්වූ පෙරළීමේ මෙහෙයුම්වල යෙදීමත් ඔවුන්ට අරමුදල් ලැබී ඇති බවට රජයට වාර්තා වීමත් සමගය.

මේ අනුව මින් මතු විදේශ රටවල් විසින් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සපයන්නේ නම් එම ගිණුම් රජයේ බැංකුවක විදේශ අරමුදල් ගිණුම් ලෙස ගිණුම් ආරම්භ කළ යුතුය. එම ගිණුමේ මුදල් වෙන කිසිදු ගිණුමකට මාරු කළ නොහැක. දේශපාලන පක්ෂවලට ලබාදීමට ද නොහැකිය. මෙම නව නීති රීති නිසා මෙතෙක් අබිරහස් මෙහෙයුම්, ආණ්ඩු විරෝධී මෙහෙයුම් සඳහා භාවිතා කළ විදේශ මුදල් මින් මතු අයථා කටයුතුවලට යෙදීම නතර වේ. මෙවන් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටී. ඔහු නව පනත තුළින් කම්පනයට පත්ව සිටී. එසේම නව පනත යටතේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ වත්කම් ද පරීක්ෂාවට ලක්කෙරෙනු ඇත.

එම වත්කම් අයථා ක්‍රියාවලට යොදවා ඇත්නම් එම වත්කම් රාජසාන්තක කෙරේ. ආරංචි මාර්ග දක්වන අන්දමට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහු සුපිරි ජීවිත ගතකරති. ඔවූහු ඉහළම නිවාසවල වාසය කරති. විදේශ අරමුදල්වලින් දකුණු පළාතේ සුපිරි හෝටල්වල වැඩමුළු පවත්වති.

කොළඹ රාජගිරියේ කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක වේ. මේ සංවිධානයට ජර්මානු ආධාර ලැබේ. එහෙත් එම සංවිධානය මානව හිමිකම් ගැන ද ජර්මානු රජයට වාර්තා සපයයි. ඊට අදාළ තොරතුරු අප සතුව ඇත. මේ අයුරින් විදේශ අරමුදල් භාවිතා කිරීමට ඉන්දීය රජය අවසර දෙන්නේ නැත.

ඉන්දීය රජය අයථා ක්‍රියාවල යෙදුණු රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් තහනම් කර ඇත. එහෙත් මෙරට එවන් තහනමක් ක්‍රියාත්මක නොවුණි. මේ පසුබිම මැද වසර ගණනකට පසු එන්. ජී. ඕ. වලට වැට බැඳීම හෙවත් ආණ්ඩු පෙරළීමට සැලසුම් කිරීමේ මෙහෙයුම් නතර වනු ඇත. මේ වනවිට මෙරට දේශීය සංවිධාන 1400 ක් ද විදේශ සංවිධාන 200 ක් ද ක්‍රියාත්මක වේ.

උතුරේ සහ නැඟෙනහිර පළාතේ ද රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඇතත් ඒවා ලියාපදිංචි වී නැත. පාස්කු ප්‍රහාරයට පවා එවන් සංවිධාන සම්බන්ධ බව තහවුරු වී තිබේ. උතුරේ අඩයාලම් නමින් සංවිධානයක් ද ක්‍රියාත්මක වන අතර ඊට අරමුදල් සපයන්නේ ඇමරිකාවෙනි. නව රාජ්‍ය නොවන සංවිධාන කෙටුම්පත නිසා බියට පත්වී ඇත්තේ ඒවා මෙහෙයවන ප්‍රධානීන්ය.

මොවුන් සුපිරි මන්දිරවල ජීවත්වන අතර කිසිදිනෙක රැකියාවක් නොකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment