‘මට ගොඩක් පිනැන්ග්, බොර්නියෝ සහ ක්වාලාම්පූර්වල හමු වුණේ මස් සහ මාළුවලින් සමන්විත වීදි ආහාර. මම පුළුවන් දේවල් කෑවා. බත්, නූඩ්ල්ස් සහ එළවළු වර්ග හය හතක්. බිත්තර චුට්ටක් ගන්න සිද්ධ වුණා. (ටිකෙන් ටික මගේ අකැමැත්ත වැඩි වෙනවා.) වීදියේ ටෝෆු, බිම්මල් සහ සෝයි තිබුණා. ඒත් මස්වලට කැමති නැති නිසා මට කන්න අවුලක් ඇති වුණා. පෙනුමත් කැමත්තක් ඇති වෙන පෙනුමක් නෙවෙයි තිබුණේ. මම හිතුවා, කමක් නෑ ඉස්සර මම මස් කන්න කැමැත්තෙන් හිටපු කාලය සිහියට නඟාගෙන පොඩ්ඩක් කටේ තියා බලන්නම් කියලා. ඒත්, මගේ ශරීරය එපා කීවා. ඒක පුදුමයි, මොකද ඒ කාලේ මම මස්වලට හරි කැමතියි. හොට් බටර් කට්ල්ෆිෂ් කියන්නේ ඒ කාලේ මගේ ක්‍රිප්ටොනයිට්. දැන් මගේ ශරීරයම ඒක ප්‍රතික්ෂේප කරනවා. මම කෑම අපුලයි කියා කියන්න කැමති නෑ. මොකද, මස් වුණත් නැතත් ඕනෑ කෑමක් මිනිස්සුන්ව ජීවත් කරනවා. ඒත් මගේ ශරීරය අපුල දෙයක් වාගේ තමයි දැන් මස් ප්‍රතික්ෂේප කරන්නේ. මට හිතුණා ලාංකිකයන් විධියට අපි කොච්චර වාසනාවන්තද කියලා. මොකද, අපට එළවළු වර්ග ගොඩක් තියෙනවා. අපට බඩගින්නෙන් මිදෙන්නට මස්, මාළු මත යැපෙන්න සිද්ධ වෙන්නේ නෑ. අපට එළවළු වර්ගම 300ක් තියෙනවා. මට මැලේසියාවට යන්න සිද්ධ වුණා, ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද කියා තේරුම් ගන්න.‘ මේ නදීෂා පෝලිස් නම් තරුණිය සමාජ මාධ්‍යවල දමා තිබූ සටහනක්. ඇය සත්ව නිෂ්පාදන භාවිතය හැකි තරම් අඩු කළ කෙනෙක්. මස්මාංශ ආහාරයට ගැනීම හැකි තරම් අඩු කර තිබෙන කෙනෙක්. ඇතැම් විට පෝෂණ සහ අනෙකුත් ප්‍රායෝගික හේතු මත අවශ්‍යම වුවහොත් පමණක් මස්මාංශ හෝ බිත්තර කෑමට ගත්තත්, ඇය හැකි හැමවිටම උත්සාහ කරන්නේ මස්මාංශ නොකා ඉන්නයි.

‘ලංකාවේ අපට මස්මාංශ නොකා ඉන්නවා නම් එයට ඉඩකඩ තියෙනවා. මම නිතර උත්සාහ කරන්නේ කෑම පිඟානක ෆොටෝ එකක් දාලා හෝ මස්මාංශ වෙනුවට එළවළු ආදිය ආහාරයට ගැනීම ගැන අනෙක් අයට ප්‍රසාදයක් ඇති කරන්න. එක් පැත්තකින් මාංශ නිෂ්පාදන මහා පරිමාණයෙන් සිදු කිරීම පරිසරයට හානිකරයි. අනෙක් පැත්තෙන් සත්ව හිංසාවක් නැතිව සත්ව නිෂ්පාදන කරන්න බැහැ. කිරි ආදිය පවා අපේ ශරීරයට මහා යහපතක් කරන්නේ නැහැ.

ලංකාවේ ගොඩක් අයට සත්ව නිෂ්පාදන නැවැත්වීමේ ලොකු ඉඩක් තියෙනවා. මොකද, මගේ ආච්චි පවා උම්බලකඩවත් කෑමට දාපු නැති නිර්මාංශික කෙනෙක්. ඒ වෙනුවට එක් එක් ඍතුවට වැඩෙන එළවළු සහ අනෙක් කෑම ජාති ගොඩක් අපට තියෙනවා. මිනිස්සු ඒවා රසට උයන්නත් දන්නවා. ‘ඇය විශේෂයෙන් කියන්නේ බාහිර සමාජය සමග ගැටුමක් නොමැතිවම ලංකාව වගේ රටක සත්ව නිෂ්පාදනවලින් තොර වීම ප්‍රවර්ධනය කළ හැකි බව.’

නිර්මාංශික අනාගතයක්

‘ඔයා කවදා හරි මස් නොකා ඉන්න උත්සාහ කරලා තියෙනවාද?‘ අහම්බෙන් මිතුරකු ඇසූ ප්‍රශ්නයක්. ඇත්තට ම ලංකාවේ බොහෝ අය, ටික කාලෙකට හෝ නිර්මාංශික වීමට උත්සාහ කර තිබෙනවා. ලංකාවේ සමාජය තුළ නිර්මාංශික වීම සාමාන්‍ය දෙයක් ලෙසත් පිළිගැනෙනවා. එසේ නිර්මාංශික වූ කෙනකුට තෝරාගන්නට මාවත් බොහොමයක් පවා තියෙනවා.

නිර්මාංශික වීමටත් එහා ගිය ජීවන විලාසයක් තමයි වීගන් කෙනකු වීම කියන්නේ. සත්ව නිෂ්පාදනවලින් තොර ජීවන රටාවකට යොමු වීම කියන්නේ.

ලෝකයේ විශිෂ්ට ම විද්‍යා ප්‍රබන්ධ රචකයා කවුදැයි විමසුවොත්, විවිධ අය විවිධ පිළිතුරු ලබාදෙනු ඇත. ඒත්, ලාංකිකයන්ට නම් අංක එක ආතර් සී. ක්ලාක්ගේ නම මඟහැර යන්න බැහැ. ඇත්ත, ලෝක ජනප්‍රිය සංස්කෘතිය තුළ ජූල්ස් වර්න් හෝ ස්ටාර් වෝස් ලියූ ජෝජ් ලූකාස් හෝ තව බොහෝ අය අතිප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කතා ගොඩනැඟූ බව ඇත්ත. එහෙත්, ආතර් සී. ක්ලාක්ගේ තර්කානුකූල විද්‍යා ප්‍රබන්ධ සැබෑ ලෝකයේ යථාර්ථයක් වී ඇති තරම ගත්තා ම ඒ තරම් තාර්කික විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් නැති බව ලංකාවේ අපට ආඩම්බරෙන් තර්ක කරන්න පුළුවන්. ඒ තරම් දියුණු විද්‍යාත්මක අනාගත වක්තෘවරයෙක් අපේ රටේ සිටියා යැයි ආඩම්බර වෙන්න පුළුවන්.

ක්ලාක්ගේ අතිප්‍රකට ‘ස්පේස් ඔඩිසි’ කතා ගොන්නේ සිංහල පරිවර්තන ටික ලියුම්කරු කියෙව්වේ අවුරුදු 12 දී වගේ කාලෙක. අපේ මනස් ලෝකවල වෛවර්ණ හැඩතල මවන්නට ඒ කියැවීම් උදව් වුණා. ක්ලාක්ගේ 3001 පොත ලියැවුණේ 1997 දී. ඒ වෙද්දී ක්ලාක් හැට ගණන්වල ලියූ 2001, ඉන්පසු අසූ ගණන්වල 2010 සහ 2061 යන කෘතිවල කතා කරන ලෝකයට වඩා සහස්‍රයක් තරම් දුර අනාගතයකට අයිති 3001 කෘතියේ දී 2001 කතාවේදී හැල් නම් පරිගණකය විසින් මරා දැමූ ෆ්‍රෑන්ක් පූල්ගේ ගල්ගැසුණු ශරීරය කයිපර් වළල්ලේ දී සොයාගෙන නැවතත් පණ දෙනවා. සහස්‍රයකට පසු පෘථිවිය ගැන ඔහුට දකින්න ලැබෙන දේවල් බොහොමයකින් කතාව සමන්විතයි. එහෙත්, එහි තිබුණු රසවත් කරුණු බොහොමයකට වඩා ලියුම්කරුගේ හිත දිනාගත් ආකර්ෂණීයම දෙයක් තමයි ක්ලාක් දුටු අනාගතය නිර්මාංශික වීමයි. නිර්මාංශික වීම විතරක් නෙවෙයි, සතුන්ගේ මස් කෑම අපුල දනවන පුරුද්දක් ලෙස අනාගත ලෝකවාසීන් සැලකීමයි. කූපර් මස් ගැන කතා කරද්දී ඔහු හා සිටින අනෙක් අයගේ මුහුණ ඇඹුල් වෙන හැටි පොතේ කියැවෙනවා. නිර්මාංශික අනාගතයක් ගැන වගේම, මස් කෑම අපුල වීම අනාගත සත්‍යයක්ය යන හැඟීම පැළපදියම් වෙන්නට ආතර් සී. ක්ලාක්ගේ කතාව හේතු වුණා.

අපි මස් කන්න කැමතියි

ක්ලාක්ගේ එම අනාගතය තුළ මස්මාංශ පිළිකුල් වුව අද අපි හැමෝම මාංශයක් ආහාරයට මුහු කරගන්න හුරු වෙලා ඉන්නවා.

මස් කන්නට කැමති කෙනකුට වුව පාරේ ඇවිදින කුකුළෙකු දුටුවිට කටට කෙළ උනන්නේ නැහැ. අඩු තරමේ, අමු කුකුළු මස් දුටුවිට පවා අපට ආහාර රුචිය එන්නේ නැහැ. අප ආහාරයට ගන්නේ පිසූ කුකුළු මස්. ඒ වාගේම තමයි, අප මුවෙක්, ගෝනෙක්, ඌරෙක් හෝ වෙන ඕනෑ සතකු දුටුවිට ක්ෂණිකව ආහාරයක් ලෙස ඔවුන්ට සලකන්නට හුරු වී නැහැ. වසර මිලියන ගණනක් තිස්සේ අප එම පණ ඇති සතාව මරණයට පත් කොට, මස් බවට පත් කිරීමේ වගකීම අපේම ශිෂ්ටාචාරයන්හි සීමිත පිරිසකට භාර කර තිබෙනවා. ඒ අනුව ප්‍රාණියකුගේ ප්‍රාණය අහිමි කිරීම නම් කොටසට දායක නොවී මුත්, සත්ව මළ සිරුරු ආහාරයට ගන්නට අප හුරු වී ඉන්නවා. අපේ ජානවල එය තිබෙනවා. සත්ව මාංශ කෑමට අපි රුචියක් දැක්වීම අපේ ජානවලම තිබෙන්නේ හුදෙක් රසය විඳීමේ වුවමනාව නිසා නෙවෙයි. එය අහම්බයක් නෙවෙයි. අපි කන්නට කැමති සත්ව මාංශවල ප්‍රෝටීන් ඇතුළු මනුෂ්‍යයන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පවතිනවා. මාළුවල කැල්සියම් ඇතුළු පෝෂණයන් තියෙනවා. ඉතින්, සතුන් කෑම අපේ ජීවන ශෛලියේ කොටසක්. ඇතැම්විට එය ස්වභාව ධර්මයෙත් කොටසක් කියා කිව හැකියි. ස්වභාව ධර්මය අහිංසක නෑ. තවත් පැවැත්මක් විනාශ කරමින් පවතින්නටයි අපව හුරු කර තිබෙන්නේ.

එහෙත්, අපි මනුෂ්‍යයන්. අපි අනෙක් සතුන්ට වඩා වැඩි අවබෝධයකින් ජීවත් වන්නන්. හිතුවොත් යමක් කරන්නට ඉගෙන ගතහැකි ජීවීන් ඉතින්, දැන් මනුෂ්‍යයන්ට තමන්ගෙන් ප්‍රශ්නයක් විමසිය හැකියි, අපේ ජීවිතය වෙනුවෙන් අනුන්ගේ ජීවිත විනාශ කරන්නේ ඇයි ිද? කියන පැනය. ඒ ප්‍රශ්නය හා ඊට එහා ගිය දැක්මක් බහුතර ලාංකිකයන් ප්‍රාණසමව විශ්වාස කරන ආගමික දර්ශනය ලොවට ඉගැන්වූ බුදුන් වහන්සේ ලොවට ඉදිරිපත් කළේ ක්‍රි.පු. හයවන සියවස තරම් ඈතත අතීතයේයි.

වෙජිටේරියන් සහ වීගන්

වීගන් කියන්නේ මොනව ද? කාලා බලන්න

බොහෝ අයට වීගන් සහ වෙජිටේරියන් එක වාගේ දැනෙනු ඇත. ලංකාවේ නිර්මාංශිකයන් හෙවත් වෙජිටේරියන්ලා බොහොමයක් ඉන්නවා. ආගමික විශ්වාසයක් මත හෝ වෙන හේතු මත මස්මාංශ කෑමෙන් ඉවත් වූ අය ඕනෑ තරම්. එහෙත්, සෑහෙන නිර්මාංශිකයන් බිත්තර, කිරි නිෂ්පාදන ආදිය ආහාරයට ගන්නවා. ඒ අනුව බටර්, චීස් පමණක් නොව කේක් පවා ආහාරයට ගන්නවා.

වීගන් වීම කියන්නේ මස් මාළු කන්නේ නැතිව සිටීම පමණක් නෙවෙයි. විශේෂයෙන්ම වීගන් ජීවන රටාවක් අනුගමනය කරන බොහෝ අය පරිසර හිතකාමීනුත් වීම නිසා, සත්ව නිෂ්පාදන යොදා නොගැනීමට අමතරව පරිසර හිතකාමී නිෂ්පාදන පාවිච්චියටත් ඔවුන් ප්‍රමුඛත්වය දී තිබෙනවා.

වීගන් ජීවිත විලාසයකට යොමු වෙනවා නම්, සතුන් යොදා සිදු කරන නිෂ්පාදනවලින් සම්පූර්ණයෙන් ඈත් වීම දැක්මක් බවට පත් කරගැනීම මූලිකම දෙය. ලංකාවේ තිබෙන, වීගන් නිෂ්පාදනවලට දෙන සහතිකයක් ලෙස ‘වී-මාර්ක්’ නම් ආයතනය පවතිනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය කියන විධියට මස් නිෂ්පාදන, මාළු, බෙල්ලන් හා කෘමීන්, කිරි නිෂ්පාදන, බිත්තර සහ මී පැණි වැනි සත්ව ආහාරවලින් වැළකී සිටීම මෙන්ම සත්ව ප්‍රභවයන් භාවිත කිරීම වීගන් ජීවන විලාසයේ කොටසක්. සතුන් හා සතුන් විනෝදය සඳහා යොදා ගන්නා තැන්වලට නොයා සිටීමත් වීගන් ජීවන විලාසයකට වැදගත්.

අප ආහාර යැයි කීවිට, බැලූ බැල්මට සත්ව මස් පමණක් නෙවෙයි. ආහාර වර්ග බොහොමයක් ඒ අනුව වීගන් අයගේ ප්‍රතික්ෂේප වීමට ලක් වෙනවා. ඇතැම් ආහාර මතභේදාත්මකයි. උදාහරණයක් ලෙස මී පැණි ආහාරයට ගන්නා අය සහ නොගන්නා අය සිටිනවා.

ඒ කෙසේ වෙතත්, සම්වලින් සැකසූ ඇඳුම් භාවිතයෙන් වැළකීම වීගන් ජීවන රටාවක එක් ප්‍රධාන අංගයක්. බැටළුවාගේ ලොම් යොදාගැනීම, සත්ව සම්වලින් සැකසූ නිෂ්පාදන යොදා නොගැනීම එහි මූලිකම අංගයක්. කපු, ලිනන්, මුහුදු පැළෑටි හරහා නිෂ්පාදනය වෙන ඇඳුම් වර්ග ප්‍රවර්ධනය කරන්නේ වීගනුන් බොහෝ දෙනා පරිසර හිතකාමීනුත් වීම නිසයි. ඊට අමතරව සිවෙට්, කැස්ටෝරියම්, මැම්බර්, කස්තුරි ආදී සතුන්ගේ ශරීරාංගවලින් ලබාගත් අමුද්‍රව්‍ය සහිත සුවඳ විළවුන් පාවිච්චියත් වීගන් ජීවන රටාව අනුගමනය කරන්නකුට අත්හරින්න සිදු වෙනවා. බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට සතුන් යොදා ගන්නා නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. මීට අමතරව බොහෝ ඖෂධ වර්ගවලටත් සතුන්ගේ කොටස් යොදා ගැනෙනවා. ගෙදරක එදිනෙදා පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනයන් බොහොමයකට සත්ව කොටස් යොදා ගන්නවා. කැප්‍රික් අම්ලය, සතුන්ගේ ග්ලිසරෝල් සහ ස්ටියරික් අම්ලය වැනි සතුන්ගෙන් ව්‍යුත්පන්න අමුද්‍රව්‍ය ඒවාට පාවිච්චි කෙරෙනවා.

මේ සියල්ල සිදු වන්නේ සතුන්ගේ අයිතීන් පිළිබඳ විශ්වාසය මතයි. බය දැනෙන, ආදරය දැනෙන, ජීවත් වෙන්නට කැමති, ඒ නිසාම ජීවත් වෙන්නට ශුද්ධ වූ අයිතියකුත් ඇති පිරිසක් ලෙස වීගනුන් සතුන්ට ගරු කරනවා. ඒ ගෞරවය මත ඔවුන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට පමණක් නොව, ඇතැම්විට තමන්ගේ ජීවිතයේ පොඩි අතිරේක වින්දනයක් ලබන්නට සතුන්ව දුකට පත් කිරීම ප්‍රතික්ෂේප කරනවා.

වීගන් නිෂ්පාදන ගොන්නට ගෘහභාණ්ඩ පවා අයත් වෙනවා. ගෘහභාණ්ඩ වල කොටස් සඳහා සත්ව සම් සහ සතුන්ගේ ශරීර කොටස් යොදා ගැනෙන නිසා, ගෘහ භාණ්ඩ පවා ඊට විකල්ප වශයෙන් පතොක් කොළ ආදිය යොදා සම් නිෂ්පාදනවලට විකල්ප යොදා ගැනෙනවා. ලංකාවේ මේ වෙද්දී වීගන් ආහාර සහ අනෙකුත් නිෂ්පාදන මිලට ගන්නා උදවියට එවැනි කෑම සපයන අවන්හල් පවා තියෙනවා.

වීගන් විහිළු

ලංකාවේ මේ කතාව වැදගත් වන්නේ, ලෝකයේ අත්දැකීම මීට වඩා වෙනස් නිසායි. වීගන් ජීවන විලාසයක් ලෙස පසුගිය දශක කිහිපයක් තිස්සේ ප්‍රවර්ධනය බටහිර ලෝකයේ මේ වෙද්දී ප්‍රවර්ධනය වෙන්නට පටන් අරන්. එහෙත්, එය විශාල සංස්කෘතික සංවාදවලට හේතු වූ දෙයක්. ඇමෙරිකාවේ, එංගලන්තයේ, ඔස්ටේ්‍රලියාවේ හාස්‍ය ශිල්පීන්ගේ වගේම සංස්කෘතික සංවාදවලත් වීගන් සම්ප්‍රදාය ලොකු ඉලක්කයක් වී තිබෙනවා.

ජෝ රෝගන් ලෝක ප්‍රසිද්ධ ස්ටෑන්ඩ් අප් කොමඩි ශිල්පියෙක්. ඔහුගේ අතිප්‍රසිද්ධ විහිළුවක ඉලක්කය වීගනුන්. ඔහු මූලිකව කියන්නේ, තමන් මස් කෑමට කැමතියි. මස් කෑමට විරුද්ධ වීගන්ලා අවුස්සන අන්දමේ සමාජ මාධ්‍ය පෝස්ට් එකක් දැමූ නිසා ඔහුට ලොකු විවේචන එල්ල වුණා. ඒ විවේචන ඉතා වෛර සහගතයි. වීගන් වීමේ මූලිකම හරය වූ කරුණාවන්ත කමට එම විවේචකයන්ගේ වෛරය ගැළපෙන්නේ නැහැ කියන අදහස.

‘මම ඉන්ස්ටග්‍රෑම් එකේ මුවමස් ෆොටෝ එකක් දැම්මා. මම ඒකත් එක්ක දැම්මා, මේ මස් දරුවන්ට පයින් ගහපු අයිසිස් එකට බැඳෙන්න ඉඳපු මුවෙකුගේ මස් කියලා කැප්ෂන් එකක්. මට ඒ පෝස්ට් එක හොඳයි කියලා දැනුණා. ඒත්, මම පොඩ්ඩක් ආඩම්බර වුණා. මම දැම්මා හෑෂ්ටැග් වීගන් කියලා. ඒක එච්චර හොඳ වුණේ නෑ.

වෛරය, කේන්තිය එක්ක ප්‍රතිචාර ආවේ. ජීවිතේට මම එච්චර අනුකම්පා විරහිත, දරුණු විදියේ කරුණාවන්ත, හැඟීම්බර මිනිස්සු කොට්ඨාසයක් මුණගැහිලා නෑ.

වීගන්ලා වීගන් වෙලා තියෙන්නේ හොඳ හේතුවක් නිසා මිත්‍රවරුනි. ඒත්, වීගන්ලාගේ ප්‍රශ්නය වෙන ඕනෑ මිනිස්සු කොට්ඨාසයක තියෙන ප්‍රශ්නයක් වගේම තමයි. මිනිස්සු අතර ඉන්නවා මෝඩ මිනිස්සු. ඒ සමහර අය වීගන්ලා ආදී වශයෙන් ඔහු වීගන්ලා ගැන විවේචන එල්ල කරනවා.

‘ශාක පාදක කල්ලියක්’ විධියට වීගන්ලාව ඔහු හඳුන්වනවා. ඇත්තටම බටහිර ලෝකයේ බොහෝවිට වීගන් ජීවන රටාව අනුගමනය කරන්නන්ට බාහිර සමාජය එක්ක නිතර ගැටෙන්න සිද්ධ වෙනවා.

දරුණු වීගනුන්

වීගන් කියන්නේ මොනව ද? කාලා බලන්න

ටෑෂ් පීටර්සන් තමන්ව හඳුන්වා ගන්නේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක් ලෙස ඇය, ඉතාම දරුණු සහ ප්‍රහාරාත්මක ලෙස සත්ව අයිතීන් වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කෙනෙක්. ඇය සත්ව නිෂ්පාදන පාවිච්චි නොකරනවා විතරක් නෙවෙයි, ඒවා පාවිච්චි කරන අය ඉලක්ක කරමින් විරෝධතා පවත්වනවා. මාංශ සහිත අවන්හල්වලට කඩාවැදී සටන්පාඨ ඔසවාගෙන හඬ නඟනවා. මරණාසන්න සතුන්ගේ හඬපට වාදනය කරමින් ආහාරයට ගන්නන්ගේ හිත් තුළ වරදකාරී හැඟීම් අවුස්සන්නට කටයුතු කරනවා.

ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයේ තිබෙන ‘ෆයර්‘ නම් මස් අවන්හලේ ප්‍රධාන 2023 ජූලි මාසයේදී වීගන් ක්‍රියාකාරිනී ටෑෂ් පීටර්සන්ට පහර දී ඇය අත තිබූ ස්පීකරය පැහැර ගන්නට උත්සාහ කර තිබුණේ, විශාල ආන්දෝලනයකට ලක් වෙමිනි. එම කෝකියාට කේන්ති ගොස් තිබුණේ මස් මාංශ පිසීම ජීවිකාව කරගත් තමන්ගේ අවන්හල ඉදිරි පිටට වරින් වර පැමිණ ඇය විරෝධතා කිරීම තමන්ට බාධාවක් කියා සිතූ නිසාය. ඔහුට අනුව තමන්ගේ අහිංසක ජීවිකාවට ඇය පහර ගැසූ නිසා.

එහෙත්, ටෑෂ් පීටර්සන්ට අනුව හුදෙක් සත්ව නිෂ්පාදනවලින් වැළකී සිටීමෙන් පමණක් ඇගේ අරමුණ ඉටු වන්නේ නැහැ. එතැනින් එහා ගොස් සමාජය සමග ගැටෙමින් වුව තමන්ගේ පණිවිඩයට අවධානය දිනා ගතයුතුයි. සතුන්ට සිදුවන හිංසාවන් ගැන දැනුවත් කළ යුතුයි. සතුන් බේරාගන්නට නම් එය විරෝධතා සටනක් ලෙස කළ යුතුයි.

‘මගේ ක්‍රියාකාරීත්වය සත්ව හිංසාව ගැන අවධානය ලබාගැනීම වෙනුවෙන්. සතුන් දූෂණය, වධහිංසාව සහ වහල්භාවය සහ ඝාතනය සඳහා පාදක වෙනවා. මෙය සමූල ඝාතනයක්. ටි්‍රලියන 3ක් වාර්ෂිකව පුද්ගලයන්ගේ පාවිච්චිය වෙනුවෙන් සතුන් ඝාතනයට ලක් වෙනවා. කුකුළෙකුගේ ජීවිත කාලය අවුරුදු 12ක් පමණි. ඒත්, බිත්තර දමන කිකිළියක් මාස 18ක් තුළ මරා දමනවා. සතුන්ව වාහනවල දමාගෙන ප්‍රවාහනය කරන්නේත් වධහිංසාවට ලක් කරමින්.

ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තිබෙන්නේ විවිධාකාර පුද්ගලයන් එක්ක ගැටෙන වීඩියෝය.

‘මම පොඩි කාලයේ සිට කිරිවලට ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ. සතුන්ගේ මස් කෑම පවා පොඩි කාලයේ සිට ලොකු ආසාවක් තිබුණු දෙයක් නෙවෙයි. ඒත්, මගේ මාපියන් මගේ පෝෂණයට අවශ්‍ය බව කියමින් මස් වර්ග මට කන්න දුන්නා. මම පසුව ඉගෙන ගත්තා ශාක පාදක කරගත් ආහාර ජීවිතයේ ඕනෑම වයස් සීමාවකට සෞඛ්‍ය සම්පන්න වියහැකි බව. විශේෂයෙන් මේ ආහාර මත ජීවත් විය හැකියි වගේම, තවදුරටත් සතුන්ට හිංසා කරන්නට ඕනෑ නැති විත්තිය.

මෙවැනි හේතු සමග වීගන්ලා එක්ක විශාල ගැටුමක් පෙර කී ආකාරයට බටහිර රටවල අනෙකුත් බාහිර සමාජයට තිබෙනවා. ඒ රටවල කෑමවල මූලිකම අංගය මාංශ. අප බත් වේලකට මස් කෑල්ලක් එකතු කළාට ඔවුන්ගේ කෑම හැදී තිබෙන්නේ මස් මූලික කරගෙනයි. ඔවුන් ඇඳුම් නිෂ්පාදනයේදීත් එදා සිට බැටළු ලොම්වල සිට බොහෝ දේ පාවිච්චි කරන්නේ සතුන්ගෙනුයි. කපු කටින කාන්තාවක ඉන්න ජනප්‍රවාදමය අතීතයකින් පැවත එන ලාංකිකයන්ට නුහුරු මුත්, ඔවුන්ගේ ශිෂ්ටාචාරවල පාදම්වල සිට ගොඩනැඟී ඇත්තේ සත්ව නිෂ්පාදන මතිනි. ඉතින්, සත්ව හිංසනය එපා කියන්නන් සහ සත්ව නිෂ්පාදන පරිභෝජනය කරන්නන් අතර ගැටුම ඒ රටවල දරුණුයි.

කිසිම පෝෂණයක් නැතිද?

සත්ව ආහාර නොගෙන සිටීමෙන් සියලු පෝෂ්‍ය පදාර්ථ ඉබේම ලැබෙන්නේ නැහැ. එය සිහිතබාගත යුතු තත්ත්වයක්. බත් හෝ ඇතැම් එළවළු වර්ග පමණක් ගතහොත්, පෝෂණයේ වැදගත් කොටස් අහිමි විය හැකියි. සත්ව ආහාර නොගෙන ඉන්නවා නම්, ඔවුන්ට සිදු වෙනවා ප්‍රෝටීන්, විටමින් වර්ග සහ කැල්සියම් වෙනුවෙන් විකල්ප ආහාර හිතාමතාම පාවිච්චි කරන්නට. ඒ අනුව තමන්ට සුදුසු ආකාරයට පෝෂණ විශේෂඥයකු සමග ගනුදෙනු කරන්නටත් ඇතැම්විට අන්තර් ජාලය තුළ හෝ වැඩි වැඩියෙන් පෝෂණය ගැන අධ්‍යයනය කරන්නටත් වීගනුන්ට සිදු වෙනවා.

රස නැතිද?

ඊළඟ වැදගත්ම ප්‍රශ්නයක් තමයි වීගන් කෑමවලට යොමු වෙනවා කියා අප මාංශ ආහාරයට ගැනීම නැවැත්වුවොත් එය අපේ ජීවිතේ විඳින්නට ඇති ප්‍රණීත කෑම රසයක් අහිමි කරගැනීමක් ද කියන එක. එහෙත්, අප සොයා බැලීම්වලදී දැක්කේ ලංකාවේ තිබෙන වීගන් අවන්හල්වල තිබෙන ආහාරවල මෙන්ම ගෙදර දී පිස ගැනීමෙනුත් අපට මාංශවලට රසවත් විකල්ප සොයාගත හැකි විත්තිය.

කෝසල ලියනගේ වීගන් උයන්නෙක්. ඔහු තමන්ව ‘වීගන්‘ කෙනකු ලෙස හඳුනාගැනීමට ලොකු කැමැත්තක් නෑ. ඔහුත් අපේ සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් නිසා. වීගන් හෝ වෙන ඕනෑ ලේබලයකින් තමන්ව සමාජයෙන් ඈත් කරනවා. යම්කිසි ‘කල්ට්‘ එකකට ඇතුළත් කරනවා. ඒක හිසරදයක්, බරක්. ඒත්, ඔහු වඩාත් කැමතියි සත්ව නිෂ්පාදනවලින් තොරව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට. ඇත්තට ම බටහිර ලෝකයට වඩා ලෙහෙසියෙන් ‘කල්ට්‘ වෙත යොමු නොවීම අපට වීගනුන් විය හැකියි.

‘මස් ටිකක් පොඩ්ඩක් පුච්චලා ගත්තත්, කටට රස විධියට කන්න පුළුවන්. ඒත්, එළවළු ආදිය උයන එක වැඩක්. මස්මාංශ නොකා හිටියොත් ඒක අපට ආහාර රස වින්දනයන් සඳහා බාධාවක් වෙන්නේ හරියට උයන්නට බැරි නම් තමයි. අපේ අම්මලා එහෙම හොඳට තුනපහ දාලා කෑම උයනවා. ඒක වෙනම වැඩක්.

කෝසල උයන්නට කැමති කෙනෙක්. ඔහු විවිධාකාරයෙන් සත්ව කොටස් නොමැති ආහාර නිෂ්පාදනය කරගන්නවා. පොළොස් ප්‍රණීතයි, බිම්මල් ප්‍රණීතයි, කරවිල තෙල් දැමීමෙනුත්, දඹල තෙල් දැමීමෙනුත් අපට වෙනම හැඩයන් කෑම වේලට එකතු කරගත හැකියි. කොල්ලු සුපිරිම කෑමක්. නිකම්ම සුපිරි කෑමක් නොවෙයි, එහි පෝෂණය නිසාම එය ‘සුපර් ෆුඩ්’ එකක් ලෙස ලේබල් කර තිබෙනවා. මෑත කාලීනව පබිලිස් සිල්වා වැනි අංක එකේ කෝකියන් එළවළු වර්ග පිසීම ගැන දියුණු හඳුන්වාදීම් කර තියෙනවා.

නදීෂා පෝලිස් සමාජ මාධ්‍යවල ලියා තිබුණු කතාවක සිංහල පරිවර්තනය තුළින් මේ වීගනුන් ගැන යමක් කරයන්න ඕනෑ. ‘ජීවිතය සුන්දරයි, ජීවිතය සැහැල්ලුයි, ඔබට ඔබ හා විනෝද වීම උදෙසා තව කෙනෙක්ව මරන්න ඕනෑ නෑ.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment