මූල්‍ය විනය හදන්න අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගේනවා – මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

50

රට හැදෙන්න නම් ඊළඟ පාරත් ජනපති වෙන්න ඕන රනිල්

රටේ පවතින ආර්ථික තත්ත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාව මුණගැසණෙමු. පහතින් පෙළගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ නිසා දේශීය බැංකු පද්ධතියට සහ සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් විය හැකි බවට මත පළ වෙනව. මේ මතයට යම් පදනමක් තියෙනව ද?

පිළිතුර – දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට හෝ දේශීය බැංකු පද්ධතියට බලපෑමක් වෙන්නෙ නැති බව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්ව. ඇත්තටම දැන් තියෙන ප්‍රශ්නය ණය ප්‍රතිව්‍යුහගතකරණය නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශපාලනීකරණය කිරීම. ඒ නිසා ජාත්‍යන්තර අපට ලබාදෙන සහනයන් සහ ඒ විශ්වාසයන් ප්‍රතිව්‍යුහගතකරණය, දේශපාලනකරණය තුළ දියාරු කරන්න තමයි උත්සාහ කරන්නෙ. අපි තාම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීන්දුවක් අරගෙන නෑ. ඒ සම්බන්ධයෙන් අපි එකම එකම තීන්දුවයි අරගෙන තියෙන්නෙ. ඒ තමයි මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාර බැඳුම්කරවලට කරල තියෙන ආයෝජන පමණක් ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීම. එය අපි ප්‍රකාශයට පත්කරල තියෙනව. මේ වෙද්දි අපේ ණය හිමියෝ චීනය, ඉන්දියාව, ප්‍රංශයත් මූලික කරගෙන එම රටවල සම සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේදී සම සභාපතිවරු ඉල්ලීමක් කළා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉක්මන් එකඟතාවකට ඇවිල්ල අනෙක් සියලු ණය හිමියන්ට එහි කොටස්කරුවන් බවට පත්වෙන්න කියල. චීනය පවා ඊට සහයෝගය ලබාදීල තියෙනව.

ප්‍රශ්නය – සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගන්න කියල පසුගිය දිනක ජනාධිපතිතුමත් කියල තිබුණ. ඇත්තටම මොකක්ද සමෘද්ධි බැංකුව සම්බන්ධයෙත් ඇතිවෙලා තියෙන තත්ත්වය…?

පිළිතුර – සමෘද්ධි බැංකුව සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය සතුටුදායක එකක් නෙමෙයි. ඒක රජය විසින් නිකුත් කළ ප්‍රවෘත්තියක් නෙමෙයි. අපි මාධ්‍යයෙන් මේ වෙලාවෙ ඉල්ලන්නෙ රටේ මූල්‍ය පද්ධතිය සම්බන්ධයෙන් තහවුරු කරගන්න බැරි ප්‍රවෘත්ති පළ කිරීමෙන් වැළකී ඉන්න කියල. බොහෝ වෙලාවට මේ අවිනිශ්චිතභාවය නිර්මාණය කරන්නෙ ආයෝජන කරපු අය නෙමෙයි. ආයෝජන කඩාවැටුණට පස්සෙ සතුටුවෙන පිරිස. සමෘද්ධි බැංකුව සම්බන්ධයෙත් ඇතිවෙලා තියෙන තත්ත්වය තමයි ‘අස්වැසුම’ කියල සමාජ ප්‍රතිලාභ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනව. ඒක විනිවිදභාවයකින්, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකින්, තෝරාගන්නා ලද දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අධීක්ෂණය යටතේ සිදුවන කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොවන වැඩසටහනක්. ඒ ප්‍රතිලාභය ලබාදීමේදි සමෘද්ධි බැංකු පද්ධතිය එකිනෙකට බද්ධ වෙච්ච පරිගණක ජාලයක් නොමැතිවීම, එය මහ බැංකුවේ නියාමනයකට ලක්නොවීම සම්බන්ධයෙන් අපිට සෘජුව ඒ බැංකුවලට මුදල් ලබාදීමේ හැකියාවක් නෑ ප්‍රතිලාභ විදිහට. අපි ප්‍රතිලාභීන්ට කියල තියෙනව ඔවුන්ට කැමැති බැංකු ගිණුමක අංකයක් ඔවුන්ගේ සමාජ ප්‍රතිලාභ අපිට ලබාදෙන්න කියල. පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා කඩිනමින් එය නියාමනයට හා විනිවිදභාවයකින් නිවැරැදි විගණනයක් ඇතිකිරීමට අවශ්‍ය වැඩකටයුතු යොදන්න කියල. එහෙම වුණාම මේ බැංකුවලටත් මුදල් හුවමාරුවලට සම්බන්ධයෙන් පුළුවන්. අපි මූලිකම වැදගත්කම දීල තියෙන්නෙ විනිවිදභාවය සහ වගවීමට.

ප්‍රශ්නය – ‘අස්වැසුම’ ප්‍රතිලාභ වැඩසටහන කවදද ක්‍රියාත්මක වෙන්නේ…?

පිළිතුර – ජූලි මාසයේ ඉඳල. එතනදි ප්‍රතිලාභීන් තෝරගන්නෙ සමාජයේ අඩුම ආදායම් ලබන 40%. පුද්ගලයො වශයෙන් ලක්ෂ විස්සකට වැඩි පවුල් ප්‍රමාණයක් මේ ප්‍රතිලාභය ලබන්න සුදුසුකම් ලබයි කියල අපි උපකල්පනය කරනව. ඊට අමතරව අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්, ඊළඟට වැඩිහිටි දීමනාව ලබන මේ අයටත් මේ දීමනාව ලබාදෙන්න අපි කටයුතු කරනවා. එතන ඉන්නව ලක්ෂ පහකට වඩා වැඩි ප්‍රමාණයක් පුද්ගලයො වශයෙන්. සමෘද්ධි දීමනාව දැන් ලැබෙන්නෙ උපරිම රු. 4500යි. ‘අස්වැසුම’ යටතේ පවුලක දෙන්නෙක්ට අඩු නම් ඒ මුදල රු. 7500ක් වෙනව. දෙන්නෙක්ට වඩා වැඩි නම් ඒක රු. 15000යි. මාසිකව. මෙතනදි වෙන්නෙ සුදුසු අය තෝරගෙන ඒ අයට වැඩි සමාජ ප්‍රතිලාභ ලබාදෙන්න කටයුතු කිරීම.

අපි හිතමු මේ තෝරාගැනීම්වලදි මේ ප්‍රතිලාභය ලබාගන්න සුදුසු අයෙක් තේරිල නෑ කියල. ඒවගේම නුසුදුසු අයෙක් තෝරගෙන තියෙනව නම්, අපි තෝරාගත් අවසාන ලේඛනය ජූනි මාසයේ ප්‍රසිද්ධියට පත්කරනව. එතකොට කරන්න පුළුවන් අභියාචනයක් හෝ පැමිණිල්ලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න. එතනදි දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙ ප්‍රධානත්වයෙන් ඒවා පරීක්ෂා කරල, ඔවුන් කටයුතු කරයි නිවැරැදි අය ඇතුළත් කරගන්නත්, නුසුදුසු ඉවත් කරන්නත්. අවුරුද්දක් පාසා මේක යාවත්කාලීන කරනව. අපි අපේ රටේ දරිද්‍රතාව මනින්න අරන් තියෙන්නෙ 2019 සංඛ්‍යා ලේඛන. ඒ අනුව රු. 6966 තමයි දරිද්‍රතා ඉම විදිහට සඳහන් වෙන්නෙ. මෑතකදි එවැනි සංගණනයන් කරල නැති නිසා අපි උද්ධමනය ගැළපීමක් කරල තියෙනව 2022 සැප්තැම්බර් මාසයෙ. ඒ කියන්නෙ අපේ රටේ වැඩිම උද්ධමනයක් තිබුණු මාසය.

ප්‍රශ්නය – අයිඑම්එෆ් පළමුවැනි වාරිකය ලැබුණ. තාමත් වෘත්තිකයන් පනවල ඇති උපයන විට බද්දට විරෝධය දක්වනව. ඉදිරියේදි ඔවුන්ගෙ ඉල්ලීම්වලට සාධාරණයක් වෙයි ද?

පිළිතුර – අපේ රටේ බදු පරිපාලනය හැමට සාධාරණ විය යුතුයි. දැනට අපේ තියෙන ප්‍රශ්නය තමයි බදු ගෙවන අය එය වැඩි කළත් ගෙවනව. හැබැයි නොගෙවන අය, මගහරින අය සෑහෙන්න ඉන්නව. ඒකට මේවෙද්දි වැඩකටයුතුවෙමින් තියෙනව. අපි හිතනව ඒකට තියෙන එකම විසඳුම තමයි ඩිජිටල්කරණය. ඒකට අවශ්‍ය පියවර ඉදිරියේදි ගන්නව. අයිඑම්එෆ් පිරිසක් ලබන සතියෙ ලංකාවට එනව. හැබැයි ඒ රිවිච් මිෂන් එකකට නෙමෙයි. ඒ එන්නෙ ඔවුන්ගෙ නිරන්තර කරන මගපෙන්වීම්වලට සහ සාකච්ඡාවලට. සැප්තැම්බර් මාසයෙ වෙද්දි රිවිව් එකක් එනව. එතකොට ඔක්තෝබර් මාසය වෙද්දි දෙවැනි වාරික අපට ලැබෙයි කියල අපි විශ්වාස කරනව. ඇත්තටම අපේ බදු දැල පුළුල් වීම සහ බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙව්වොත්, අපිට පුළුවන් සංශෝධනවලට යෝජනා කරන්න. ඒ කිසිම දෙයක් සිදුනොවී අපිට යෝජනාවක්වත් කරන්න විදිහක් නෑ.

ප්‍රශ්නය – රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් දිගින් දිගට සාකච්ඡා වුණා. ඒ සම්බන්ධ අලුත්ම තත්ත්වය මොකක් ද?

පිළිතුර – එය මේ වැඩපිළිවෙළේ එක අංගයක්. ඒකට හේතුව තමයි අපි විශේෂයෙන්ම පිරිවැය මත පදනම් වුණු මිල ගණන්වලට යොමුකරල තියෙනව. ඒවගේම තමයි මහා භාණ්ඩාගාරයට හැකියාවක් නෑ තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වගෙන යන්න මුදල් වැය කරන්න. ඒ නිසා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරන ප්‍රතිසංස්කරණයක් මොනවද කියල නිශ්චිතව කියන්න තව සති දෙක තුනක් ගතවෙයි. ඒකට හේතුව අපි විශ්ලේෂණය කරමින් ඉන්නෙ මොකක්ද හොඳම ප්‍රතිව්‍යුහගතකරණය කියල. එතනදි සමහර ආයතන පුද්ගලික වෙයි. සමහර ආයතන පුද්ගලික සහ රජය අතර හවුල්කාරිත්වය මත ඉදිරියට යයි. සමහර ආයතන සම්පූර්ණයෙන්ම වහල දාල එතැනට ඒකාබද්ධ කිරීමක් සිදුවෙයි. වැදගත්ම දේ තමයි මේ ආයතනවල සේවය කරන සේවකයන්ට අවාසියක් නොවන්න අපි කටයුතු කරනව.

ප්‍රශ්නය – ඔය කියන දේවල් කරන්න වෘත්තීය සමිති ඉඩ දෙයි ද?

පිළිතුර – මම හිතන්නෙ වෙනදට වඩා වෘත්තීය සමිති නම්‍යශීලිත්වයක් දක්වයි. ඒකට හේතුව තමයි පසුගිය කාලයෙ අරගලයෙන් ඉල්ලපු එක ඉල්ලීමක් තමයි රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ වගවීම. එය දැන් සිදුව තියෙනවා.

ප්‍රශ්නය – ආයෝජකයන්ට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පසුගිය දිනවල ඇතිවුණු බවට වාර්තා වුණා. මෙය ස්ථායී ආර්ථිකයක් කරා යන ගමනට බාධාවක් නොවෙයි ද?

පිළිතුර – ඒකට රජය මැදිහත්වෙලා නිසි පරීක්ෂණයක් කරල, වරදකරුවෙක් ඉන්නව නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තියෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇති නොවිය යුතුයි. හැබැයි ආයෝජකයන්ට මෙහි ආයෝජන කරන්න සුදුසු වාතාවරණය හදන්න අපේ රටේ අලුත් ආයතනයක් එනව. ජනාධිපතිතුමාගේ අරමුණ තමයි ආයෝජනය සහ විදේශීය වෙළෙඳාම කියන කාරණා දෙකේදි ආයෝජකයන්ට පහසු පරිසරයක් හැදීම. අදටත් අපි දන්නවා අපේ රටේ ආයෝජනය කිරීමේදී ආයෝජකයාට යහපත් පරිසරයක් නෑ. ප්‍රශ්නය තමන්ගෙ නොවෙනකම් ඒකට කඩිනම් විසඳුමක් හොයන්නෙ නෑ. ඒ නිසා අලුත් ආයතනයක් ජනාධිපතිතුමා ආරම්භ කළා. ඒ ආයෝජනය මණ්ඩලය ඇතුළු තවත් ආයතන කිහිපයක් ඒකාබද්ධ වෙලා. ඉන් කරන්නෙ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ අනුමැතීන් ඇතුළු ක්‍රියාවලිය කරගෙන යෑමේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට. ඒක හොඳ ප්‍රවණතාවක්.

ප්‍රශ්නය – අපේ ජීඩීපී ආදායම 2028 ඇමරිකානු ඩොලර් බිලියන 89ක් කියල. එය 2018, 2019 සමයේ තිබුණු ඉලක්කමක්. එතනදි අපි තව අවුරුදු පහකින් යන්නෙ අවුරුදු දහයකට පෙර හිටපු තත්ත්වයට.

පිළිතුර – පවතින ආර්ථික අර්බුදය තුළ මේ පැහැදිලි කිරීම මම දකින්නෙ දේශපාලනිකයි කියල. අපට එක යුගයක ඩොලර් බිලියන 82ක ආර්ථිකයක් තිබුණ. හැබැයි ඉතිහාසයේ සිරකරුවෝ වෙලා අපිට වැඩකරන්න බැහැ. දැනට තියෙන -8% සංකෝචනය පුරෝකථනය කරල තියෙන්නෙ ඉදිරියෙදි -3%ක් වෙයි කියල. හැබැයි අපිට විශ්වාසයක් තියෙනව අපිට සෘණ තුනෙන් ඔබ්බට යන්න පුළුවන්. කෙනෙක්ට එළියෙ ඉඳන් විවේචනය කරන්න පුළුවන්. ඒ විවේචනය කරන කිසිම කෙනෙක් මේක කරන්න බාරගත්තෙ නෑ.

ප්‍රශ්නය- මේ වෙද්දි රටේ 28%ක් පමණ දුගීභාවයට පත්වෙලා. ඒ වගේම රැකියා ලක්ෂ 5ක් විතර අහිමිවෙලා. හැබැයි ආණ්ඩුව මේ වෙද්දි යම් ජයක් ලබා තියෙන බව කියනව. දුගීභාවය, රැකියා විරහිතභාවය ගත්තම, ඔබතුමන්ලගෙ ඒ කීමත් දේශපාලනිකයි නේ ද?

පිළිතුර – තාම හැම දෙයක්ම සම්පූර්ණ වෙල නෑ. මේ ගෙනියන වැඩසටහන තව අවුරුදු ගණනාවක් ඉදිරියට ගෙන ගියොත් විතරයි සම්පූර්ණ වෙන්නෙ. අපි ගමු ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි සේ බලපෑම් ඇතිකළ තත්ත්වයක්. හැබැයි අයිඑම්එෆ් වැඩසටහන යටතේ ඉදිරියේදි ඊට අදාළ සියලු ගෙවීම් කරනව. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො. ඔවුන් දැඩි බලපෑමකට ලක්වෙලා තියෙනව. අපි මේ වෙද්දි ආයතන කිහිපයක් එක්ක කතා කරමින් යනව කොහොමද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නෙ කියල.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනව 2048දි මේ රට සංවර්ධිත රටක් කරන බව. ඒ කියන්නෙ ඉන් මෙහා අපට ඒ ඉලක්කයට යන්න බැහැ කියන එකනෙ…

පිළිතුර – නෑ, අපි මේ යන විදිහටම සැලසුම්සහගතව ගියොත් ඒ ඉලක්කය ඊට පෙර ළඟා කරගන්න පුළුවන් වෙයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා කියන ලෙස රට සාර්ථකත්වයට ගෙන ගොස් ඇත්නම් එහි රහස මොකක් ද?

පිළිතුර – අපි ඉතිහාසයට ගිහින් අපේ අසාර්ථකත්වයන් මොනවද කියල කතා කළොත් අපිට අවුරුදු ගණන් කතා කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ අපේ අවධානය තියෙන්නෙ ඒ අසාර්ථකවීම නිසා ඇතිවුණු බලපෑම, පීඩනය මගහරවා ගැනීම ගැන. ඒ නිසා එකක් තමයි මම විශ්වාස කරන අපි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් තුළ කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම විනිවිදභාවය සහ සෘජු මාධ්‍ය හැසිරවීම නැත්නම් සන්නිවේදනය ඉතාම වැදගත්. ඒක අලුත් රජය අනුගමනය කළා. ඊළඟට රාජ්‍ය මුදල් කළමනාකරණය විනිවිද කරන්න වැඩපිළිවෙළක් හැදුව. ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින්. ඒක අපි ලබන අවුරුද්දෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව. දැනට එය කෙටුම්පත් කරමින් තියෙනව. මේ තුළ හොඳ මූල්‍ය විනයක් රටේ නිර්මාණය වෙනව. ඒ වගේම දූෂණ විරෝධී පනත. මහබැංකුවේ ස්වාධීනත්වය ඇතිකිරීමට කටයුතු කරමින් ඉන්නව. මේවගේ ලෝකය පිළිගත් නීතිරීති මාලාවක් අනුව රට ඉදිරියට යනව. ඒ නිසා තමයි ජාත්‍යන්තර සංවිධාන වෙනදට වඩා අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණය ගැන කතාබහක් නෑ. ඇත්තටම මොන මැතිවරණය ද ඉස්සරහට එන්නේ…

පිළිතුර – පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කීපයක් තියෙනව. 2024 ජනාධිපතිවරණයක් පැවැත්වෙනව. අපි බලමු. එකක් තියෙනව මේ යන වැඩපිළිවෙළ කවුරු ආවත් වෙනස් කරන්න බැහැ. ඒනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ එහෙමෙහෙ වෙනස් කරන්න කට්ටිය උත්සාහ කළොත් ඒක රටක් විදිහට හොඳ නෑ. පෝලිම් නැති නිසා, විදුලිය කප්පාදුවක් නැති නිසා, දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවෙන හින්දා, උද්ධමනය 72% ඉඳල 35% උද්ධනය අඩුවෙලා තියෙන නිසා, මේ අවුරුද්දෙ තනි ඉලක්කමකට උද්ධමනය ගේන්න කටයුතු කරන හින්දා, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ජාලය කැඩිල නැති නිසා ප්‍රශ්න ඉවරයි කියල මේ යන වැඩපිළිවෙළ වෙනස් කළොත් ප්‍රතිඵලය ඉතාම නරක වෙන්න පුළුවන්. මේක කළමනාකරණය කරන්න ඕන. තාම දැඩි පීඩනයක් සහිත පාලනයකින් තමයි මේක අරගෙන යන්නෙ.

ප්‍රශ්නය – 2024 ජනාධිපතිවරණයක් එනවනෙ. ඔබතුමා හිතන්නෙ මේ ජනාධිපතිතුමා ම ඒ ජනාධිපතිවරණයෙන් ජයගත යුතුයි කියල ද?

පිළිතුර – මම හිතන්නෙ මෙතුමාම සිටිය යුතුයි. ඒක මම පුරවැසියෙක් විදිහට දකින දේ.

ප්‍රශ්නය – 2024දී ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට ජයගන්න පුළුවන් වෙයි ද?

පිළිතුර – මම හිතන්නෙ අපේ රටේ මිනිස්සුනට එච්චරම ඉතිහාසය අමතක වෙන්න බැහැ. පසුගිය මාස 12 බලන්න. ගිය අවුරුද්ද පටන් ගැන්මෙ ඉඳලම හිතන්නකො. අඩුපාඩු තියෙනව. ඉතිහාසයේ මොකක් වුණත් අවශ්‍ය වෙලාවෙ වගකීම අරගෙන රට යම් තැනකට ගෙනත් තියෙනව. ඒ වගේම අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හැදුවනෙ. විරුද්ධවාදීන්ට පුළුවන් වුණා රට හින්දා එකට එකතුවෙලා වැඩකරන්න. විශේෂයෙන් පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය කියන්නෙ කවදාවත් එකතු නොවුණු කඳවුරු දෙකක්.

ප්‍රශ්නය – ඔබතුමා හිතනවද පොදුජන පෙරමුණු සහ එජාප දීගය ඉදිරියටත් එහෙම්ම තියෙයි කියල…

පිළිතුර – කාටද පුළුවන් තමන්ගෙ දේශපාලන අභිමතය නිසා රටක් අගාධයකට ඇදල දාන්න.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ මේ බැටන් එක වෙන කෙනෙක්ට ගියොත් තරගය පරාදයි කියල ද?

පිළිතුර- වෙන කෙනෙකුට දැන් කරන්න බෑනෙ. කරන්න පුළුවන් කියල කවුරුවත් බාරගත්තෙ නෑනෙ. සජිත් මහත්තමය බාරගෙන වැඩපෙන්නල තිබුණ නම් අපිට යම් විශ්වාසයක් ඔහු ගැන තියන්න තිබුණ. විකල්ප යෝජනාවලියක් නැති ලස්සන වචන විතරක් කියන, හිස් වචන විතරක් කියන දේශපාලන නායකයින්ගෙන් ඇති වැඩේ මොකක් ද? අවශ්‍ය වෙලාවෙදි වගකීම ගන්න නැති. එදා අනුර කුමාර වගකීම බාරගත්ත නම් පාර්ලිමේන්තුව බහුතරය ලැබෙන්නෙ ඔහුට. ජනාධිපතිතුමාගෙ විවෘතභාවයට අද වටිනාකමක් ලැබිල තියෙනව. මම ආයෙත් කියන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරගෙන යන වැඩපිළිවෙළකින් බැහැර වුණොත්, මේ අමාරු කාලය අපට උදව් කළ ජාත්‍යන්තරයෙ කිසිම රටක්වත්, කිසිම සංවිධානයක්වත් උදව් කරන්නෙ නැහැ. මේක අවසාන අවස්ථාව. මේ කරන ප්‍රතිසංස්කරණ තුළ, මේ කරන කළමනාකාරීත්වය තුළ අපිට අයෙත් අයිඑම්එෆ් එකේ වැඩසටහනට යන්න වෙන එකක් නෑ. ඒතරම් විශ්වාසයක් අපි ගැන ජාත්‍යන්තරයට තහවුරුවෙලා තියෙනව. අනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලහත්කාරයෙන් කිසිම දෙයක් අපේ පිට පැටෙව්වෙ නෑ, එහෙම කරන්නෙත් නෑ, ඔවුන් කරන්නෙ අපිට මගපෙන්වීමක්. අපි මේ 17 වැනි වැඩසටහන සම්පූර්ණ කළාට පස්සෙ අපේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම අපිටම කරන්න පුළුවන්.

සංවාදය – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment