බලධාරීන්ගේ අනුදැනුමෙන් කරන කුරුන්දි ඉඩම් මංකොල්ලය අනුමත කරමුද?

622

ව්‍යවස්ථාවේ 33(ඊ) වගන්තිය අනුව යම් ලිඛිත නීතියකට පටහැනි නොවන්නාවූ ක්‍රියා කිරීමට පමණක් ජනපතිට බලය තිබේ. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණ බලය මැනවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබියදී විධායකයේ ඇතැමෙකු හැසිරෙන්නේ ඩෝසර ක්‍රියාකරුවකු ලෙසිනි. ඔහු සියලුම නීති චාරිත්‍ර සම්ප්‍රදායන් ඩෝසර කරමින් හිතුවක්කාර ලෙසට අනීතිකව වැඩ කරන්නෙකු බවට පත්ව තිබේ. කුරන්දි විහාර ගැටලුවේ දී ඔහු දෙමළ ජාතික සන්ධානයට සහ ඉන්දියාවේ භූ දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව හැසිරෙන අයුරක් දිස්වේ. අන්තවාදීන්ට මෙම ආගමික සංහාරයන් කිරීමට ද නීතියෙන් රැකවරණ ලැබීමට ද හැකියාව ලැබී තිබෙන්නේ මේ නිසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරුප්පු වසමේ පිහිටා තිබෙන ඓතිහාසික කුරුන්දි විහාරය සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ මනත්‍රීවරු සමග පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා කළ ප්‍රකාශය මෙරට ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කරන්නකි. කුරන්දි අවට පිහිටා තිබෙන නාගචෝල වන රක්ෂිතය 1932 දී දැඩි වන රක්ෂිතයක් ලෙසට ගැසට් කර ඇත. එහි වපසරිය හෙක්ටයාර් 6825 කි. මෙම වන රක්ෂිතය තුළ අක්කර 78 ක ඉඩම් ප්‍රමාණයක කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතය පැතිරී පවතී. 2019- 2020 කාල වකවානුවේ දී වවුනියා පුරාවිද්‍යා කාර්යාලය විසින් කරන ලද ගවේෂණයකින් පසුව අක්කර 229 ක ප්‍රදේශයක් පුරා පුරාවිද්‍යා නටබුන් තිබෙන බවට හඳුනා ගන්නට යෙදුණි. 1905 දී එච්.සී.පී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් කරන ලද සොයා බැලීම්වල දැක්වෙන්නේ මෙම වපසරිය තුළ පිහිටා තිබෙන්නේ කුරුන්දි නගරය බවයි. ආරාම සංකීර්ණය පමණක් නොව පොකුණු මාළිගා පධාන ඝර ගල් පාලම් ආදී වැදගත් පුරාවස්තු මෙම ප්‍රදේශය පුරාවටම පැතිරී තිබේ.

1940 පුරාවස්තු ආඥා පනත අනුව පුරාවිද්‍යා රක්ෂිත නිල වශයෙන් ගැසට් කිරීමේ බලතල අයිති වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ සීමාව ට යටත්වයි. ශාස්ත්‍රීය ගවේෂණ නිගමන මත පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙයි. මෙම බලය කිසිවෙකුට අභියෝග කළ නොහැකිය. නමුත් 2023 ජනවාරි 11 මෙම බලයට අභියෝග කරමින් ජනපති කාර්යාලයෙන් ලිපියක් නිකුත් කර තිබේ. පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමේ දි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව එම ලිපියේ දැක්වෙයි. ඊට අමතරව 2023 මැයි 10 දින ජනපති ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් පිළිබඳ රැස්වීමේ දී ජනපතිවරයා දක්වන්නේ 1985 ඉඩම් පරිහරණ සැලැස්මට අනුව කටයුතු කළ යුතු බවයි. 1983 දී ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවාලීමෙන් පසුව ඉඩම් පරිහරණය පිළිබඳ කටයුතු කිරීමට ආයතනයක් පිහිටුවනු ලැබිණ. 1985 සිට එම ඉඩම් පරිහරණය පිළිබඳ කටයුතු කරන්නේ එම ආයතනයයි. නමුත් 2007 වර්ෂයේ දී මෙම ඉඩම් පරිහරණ කටයුතු තවත් නවීකරණය වෙමින් අක්ෂාංශ හා දේශාංශ අනුව ඉඩම් හඳුනා ගැනීම ද පරිගණකගත කිරීම ද සිදු වෙමින් පවතී. දැන් ජනපතිවරයාගේ ප්‍රකාශය රැගෙන බලමු. ඔහු පවසන්නේ 1985 ට ආපසු යා යුතු බවයි. එය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක ක්‍රියාවලියකි. නමුත් එහි යථාර්ථය නම් 1985 ට පෙර උතුර සහ නැගෙනහිර පළාත්වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන නම් කොට තිබුණේ 276 ක් පමණක් වීමයි. නමුත් වර්තමානය වන විට එය 1700 දක්වා පුළුල් වී තිබේ. තවමත් කිලිනොච්චි දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැත.

ජනපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවේ දී ඉස්මතු වූ ඉඩම් ගැටලුව ඇත්තේ මෙතැනයි. කුරුන්දි විහාරයට මෙතරම් ඉඩම් කුමටදැයි ඔහු ප්‍රශ්න කරයි. මෙතනදී 1905 බෙල් වාර්තාවේ සඳහන් කුරුඳු නගරය ගැන ජනපතිවරයාට මතක් කිරීමට අනුර මනතුංග මහතාට හැකි වූයේ නැත. කුරන්දි විහාරය අසල අක්කර පහක් වන රක්ෂිතය ගැන කතා කිරීමේ දී ද ඒවා 2019 වසරෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ සෂි කුමාර් නම් ප්‍රාදේශීය දේශපාලනඥයා විසින් කපා දමන ලද නාගචෝල රක්ෂිතයේ කොටසක් බව කියන්නට අනුර මනතුංග මහතාට දැනුම තිබුණේ නැත. සෂි කුමාර් නමැත්තා ඒ වන විටත් අක්කර 100 ක පමණ ප්‍රමාණයක් රක්ෂිත ඉඩම් කපා දමා කුඹුරු කරන්නෙකි. සාමාන්‍ය දෙමළ ජනතාවට මෙහි ඉඩම් තිබෙන්නේ ඉතාමත් සීමිතවයි.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග ලබා දෙන්නේ මායිම් කණු ගලවා ඉඩම් නිදහස් කරන ලෙසටයි. නමුත් මෙය නාග චෝල රක්ෂිතය බවද වන සංරක්ෂණ ආඥා පනත අනුව එය කළ නොහැකි බවද පැහැදිලි ලෙසට ප්‍රකාශ වූයේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ අනුර මනතුංග මහතාට තවදුරටත් සිය ධුරයේ කටයුතු කළ නොහැකිය. මීට ප්‍රථම හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට ද රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කර තිබේ. කලුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිතයේ ගල්ලෙනක් හෝටලයකට ලබා දිය යුතු බවට එහිදී ඔහු නියෝග ලබා දී තිබුණි. එය නොසලකා හැරි බැවින් සෙනරත් දිසානායක මහතා ධුරයෙන් ඉවත් කරනු ලැබිණ. පසුව පැවැති විනය පරීක්ෂණයෙන් පසු ඔහු නිදොස් කොට නැවත සේවයේ පිහිටුවනු ලැබිණ.

ව්‍යවස්ථාවේ 33(ඊ) වගන්තිය අනුව යම් ලිඛිත නීතියකට පටහැනි නොවන්නාවූ ක්‍රියා කිරීමට පමණක් ජනපතිට බලය තිබේ. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණ බලය මැනවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබියදී විධායකයේ ඇතැමෙකු හැසිරෙන්නේ ඩෝසර ක්‍රියාකරුවකු ලෙසිනි. ඔහු සියලුම නීති චාරිත්‍ර සම්ප්‍රදායන් ඩෝසර කරමින් හිතුවක්කාර ලෙසට අනීතිකව වැඩ කරන්නෙකු බවට පත්ව තිබේ. කුරන්දි විහාර ගැටලුවේ දී ඔහු දෙමළ ජාතික සන්ධානයට සහ ඉන්දියාවේ භූ දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව හැසිරෙන අයුරක් දිස්වේ. අන්තවාදීන්ට මෙම ආගමික සංහාරයන් කිරීමට ද නීතියෙන් රැකවරණ ලැබීමට ද හැකියාව ලැබී තිබෙන්නේ මේ නිසයි. උතුරු පළාතේ බෞද්ධ ස්මාරකයන් උඩ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ශිව ලිංග තැන්පත් කොට බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට මේ ආණ්ඩුව ඉඩදී තිබේ. ඒ පිළිබඳ පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට පොලිසියට බල කර තිබේ. එංගලන්ත සභාවේ බලවත් අනුගාමිකයන් 1819 සිටම ලංකාව උතුර සහ දකුණ වශයෙන් බෙදා දක්වමින් දෙමළ රට සහ සිංහල රට වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේ යම් සේද එහි වර්තමාන අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනපතිවරයා ආකාශ චෛත්‍යයට ලයිට් හවුසියක් යැයි කීම පුදුමයක් වන්නේ නැත. ඔහු සිය පූර්වගාමීන් අනුව යමින් උතුරේ දෙමළ රට සහ දකුණේ සිංහල රට වශයෙන් බෙදා දක්වමින් බරපතල දේශපාලනික සූදුවක නිරත වී සිටින්නේදැයි අපි බලා සිටින්නෙමු.

● මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment