සෞඛ්‍ය ක‍්‍රම අනුව දුම්රිය දුවන්න… නැත්නම් හේතු කියන්න

105

නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේදවලට අනුව නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙසත්, එසේ දුම්රිය ධාවනය යළි ආරම්භ නොකරන්නේ නම් ඊට බලපා ඇති කරුණු මොනවා දැයි කියා හෙළි කරන ලෙසත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ප‍්‍රවාහන ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ලිපියක් යොමුකරමින් මේ බව විමසා සිටියි. එම ලිපියේ මෙසේ ද සඳහන් කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වය නිසා මාස දෙකකට අධික කාලයක් දුම්රිය ධාවන කටයුතු නතර කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා එසේ කිරීම සම්බන්ධයෙන් අප ද එකඟ වෙමු. මේ වනවිට රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල සේවකයන් සේවයේ යොදවා ඇත. පාසල් ආරම්භ කර ඇත. කඩ සාප්පු සියල්ලම විවෘත කර ඇත. බස් රථ ධාවනය ආරම්භ කර ඇත. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද, ඒ පිළිබඳව නිසි අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. මේ ආකාරයෙන් රටේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇති අතර, දුම්රිය සේවකයන් බොහෝ දෙනකු රාජකාරිවල නිරත කර ඇත.

එසේ වුවද, දුම්රිය ධාවනය නොකිරීම නිසා, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට මෙන්ම ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය භාවිතා කළ සියලූ මගීන්්ට දැඩි දුෂ්කරතාවනට මුහුණ දීමට සිදුවී ඇත. ඔක්තෝබර් මස 01, 14, 21 වශයෙන් අවස්ථා කිහිපයකදීම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබුණද, එය සිදුනොවූ බව පෙන්වා දෙන අතර, නැවත දන්වන තුරු දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා ඇති බව දුම්රිය බලධාරීන් මේ වන විට නිවේදනය කොට ඇත. මෙය දුම්රිය සේවයේ අවසානය සනිටුහන් කිරීමක් ද යන්න සැක සහිතය.

අනිකුත් සියලූ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතළ ප‍්‍රශ්නයකි. දුම්රිය ධාවනය නොකිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දෙන අතර, නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක‍්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේ නම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් අප සන්ධානය දැනුවත් කරන ලෙසද, ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment