සිව්වෙනි ආණ්ඩුවට “තර්ජනාංගුලිය”

66

ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන්නේ මාධ්‍ය නිදහස. එහි කිසිදු තර්කයක් නෑ.

සුපුරුදු පරිදි ආණ්ඩුව මාධ්‍ය මර්දනයටත් අරඅඳිමින් ඊට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා. විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඊට ආසන්නම උදාහරණය ලෙස හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා.

එවැනි පනතක් නැතුව තිබියදීත් මේ වන වනවිට මාධ්‍ය අරඹයා එල්ලවී ඇති තර්ජනය සුළුපටු නොවේ.

සෑම විටම අප විමසිය යුත්තේ නියාමනය කුමක් සඳහාද යන ප්‍රශ්නය යි. එය ආණ්ඩුවේ පැවැත්ම සහතික කර ගැනීම උදෙසා ගන්නාවූ ක්‍රියාමාර්ග ගන්නාවූ ක්‍රියාමාර්ගයක් බව මේ වන විට පැහැදිලි යි.

පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් එවැනි නියාමනකාරී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම සහ අයිතිය ඇත්තේ මාධ්‍යවේදීන් සතුව බව අපගේ විශ්වාසයයි.

විද්‍යුත් මාධ්‍ය හිමිකාරීත්වය යනු සමාජය විසින් සීමිත කොටසකට පිරිනමනු ලබන වරප්‍රසාදයක්. ඒ නිසාම එහි අන්තර්ගතයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මුළු මහත් සමාජයට ම වග විය යුතුයි.

ඒ වගේම ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී රටවල ගුවන් විදුලි, රූපවාහිනි විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට බලපත් ලබා දෙන්නේ මහජන යහපත පදනම් කරගත් කොන්දෙසි මත සේම නීතිය මගින් නියම කරන ලද නියාමන විධි ක්‍රමයකට යටත්ව බව සත්‍යය ක්.

සිව්වැනි ආණ්ඩුව ලෙස මාධ්‍යයට පැවරී ඇති සමාජ වගකීම මනා ලෙස වටහා ගැනීම අණපනත්වලින් කළ හැක්කක් නොවන බවත්, එය ස්වයංවාරණයක් තුළින් සහ හික්මීමක් මෙන්ම ස්වයං නියාමනයක් තුළින් ගොඩනඟාගත යුත්තක්.

වර්ගය, ජාතිය, ලිංගිකත් වය, ආගම ආදී කරුණු මත සමාජය බෙදා වෙන් කිරීමේ වගකීමෙන් මාධ්‍ය අත්මිදිය යුතුමයි.

ආණ්ඩුව විකාශන නියාමන අධිකාරි පනත් කෙටුම්පත ගෙනඑමින් උත්සාහ කරන්නේ කුමකටද?.

සරලවම කිව්වොත් එහි ඒකායන අරමුණ මාධ්‍ය මර්දනය කිරීමයි. එකී මර්දනය දරාගෙන සිටිනවා නම් ඒක සමාන වෙන්නේ “හිට්ලර් කෙනෙක් වෙලා හෝ රට පාලනය කරන්නයි” කළ ඉල්ලීමටයි.

1972 දී වාමාංශික පක්ෂවල සහාය ඇතිව සිරිමා බණ්ඩාරනායක විසින් ලේක්හවුසිය රජයට පවරා ගැනීම, ජේ. ආර්. ජයවර්ධන අයිටීඑන් ආයතනය රජයට පවරා ගත් දින පටන් සිදුවන මාධ්‍ය පාලනයේ ස්වරූපය දිනෙන් දින ඛේදවාචකයන් බවට පත්වුණා.

1997 වසරෙහි දී චන්ද්‍රිකා කුමාරතුංග මෙවැනිම පනතක් ගෙන ආ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මේ මොහොතේ සැලකිල්ලට ගැනීම අතිශයින් වැදගත්.

“ශ්‍රී ලංකා විකාශන අධිකාරී පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. එය මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් (නොපැමිණෙන අයද ඇතුළුව) සම්මත විය යුතු අතර, ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් අපි තීරණය කරමු.”

එදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ එවැනි තීන්දුවක්.

මෙදා මේ ආණ්ඩුව ගෙනෙන පනත් කෙටුම්පත මගින් එම අධිකාරය සඳහා පස් පුද්ගල කොමිසමක් යෝජනා කරන අතර ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් තිදෙනකු පත් කරනු ඇත. එයින්ද කොමිසමේ සභාපති පත් කරන්නේ ද ජනාධිපති. කොමිෂන් සභාවක ස්වාධීනත්වය රැකෙන්නේ එහි සාමාජික සාමාජිකාවන් පාලකයාගේ රූකඩ බවට පත් නොවන තාක් කල්. එහෙත් මේ පනත හරහා බිහිවන්නේ රූකඩ කල්ලියක්.

මෙම යෝජිත කෙටුම්පත නීතිගත කර මාස 6ක් ගිය පසු සියලුම මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි වන බවත්, නැවත ලබාගන්නා බලපත්‍ර අවුරුද්දක් පසා ලියාපදිංචි කළ යුතු බවත් කියවෙනවා.

මාධ්‍ය ආයතනවල ආයුෂ කාලය තීරණය වන්නේ ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන තාක්කල් පමණක් වීම වැළැක්විය නොහැකි තත්ත්වයක්.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තිය (Universal Declaration of Human Rights) පහත සඳහන් පරිදි වේ.

“තම මතය දැරීමේ හා ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියක් සෑම කෙනකුටම ඇත. බාධා කිරීම්වලින් තොරව මතිමතාන්තර දැරීමේත්, දේශ සීමා නොසලකා කවර හෝ මාධ්‍යයක් මගින් තොරතුරු හා අදහස් සෙවීමේ, ලබාගැනීමේ හා බෙදාහැරීමේ නිදහස මේ අයිතියට ඇතුළත්ය.”

නමුත් සැබවින්ම අපේ රට තුළ සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

අප විශ්වාස කරන එක් දෙයක් තිබෙනවා. මාධ්‍යයට වාරණ අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ස්වයං වාරණය යි. මාධ්‍යයට නියාමනයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මාධ්‍යවේදීන් විසින්ම නිර්මාණය විසින්ම නිර්මාණය කරගත් ස්වයං නියාමනයයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment