ලෝක කුසලාන සුදුසුකම් ලැබීමට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව 30 ක සංචිතයක්

572

කුසල් ජනිත් – මතීෂ පතිරණ -දුෂාන් හේමන්ත කැඳවයි

කුසල් ජනිත් පෙරේරා, මතීෂ පතිරණ, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත ඇතුළු ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා හා ලබන මස මුල ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති බව වාර්තා වේ.

දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත පසුගිය අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් සංචිතය සඳහා ද නම් කළ අතර ඔහුට එහිදී අවස්ථාවක් හිමි නොවුණි.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වමින් සිටී.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රථම සහ මෙතෙක් එකම ජාත්‍යන්තර තරග අත්දැකීම වේ.

උරහිසක සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව නිමා වූ නවසීලන්ත සංචාරයේදී යළි ජාත්‍යන්තර පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා එම තරග සංචාරයේ දී පන්දු වාර 20-20 තරගාවලිය සඳහා පමණක් ඔහු ක්‍රීඩා කළේය.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා එක් දින තරග සංචිතයක් සඳහා කැඳවා තිබෙන්නේ වසර දෙකකට පමණ කාලයකට පසුවය.

ඔස්ටේ්‍රලියාවේදී පසුගිය වසරේ පැවැති පන්දු වාර 20- 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයක් සඳහා කැඳවීම් ලැබ ඇත්තේ මාස 8 කට පමණ පසුවය.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති මෙම සංචිතය සඳහා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද සිය ස්ථානය යළි තහවුරු කරගෙන ඇත.

එසේම නවක ක්‍රීඩකයන් ලෙස නුවනිදු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර සංචිතයට කැඳවා ඇති අතර දඟ පන්දු යවන්නෙකු ලෙස ලක්ෂාන් සඳකැන් ද සංචිතයට කැඳවා තිබේ.

ඇෆ්ගනිස්තානය ට එරෙහි තරග තුනකින් යුත් එක් දින තරගාවලිය ලබන මස මුල ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේ දේශයේ දී ලබන මස මැද සිට ජූලි මස 09 වැනිදා දක්වා පැවැත්වේ.

නම් කර ඇතැයි පැවැසෙන එම සංචිතය මෙසේය.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නුවනිදු ප්‍රනාන්දු, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සධීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලෙ, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුසංඛ, කසුන් රාජිත, මිලාන් රත්නායක, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ශාන් සඳකැන්.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment