කහවත්තේ පාසලක 10 වසරේ සිසුවකුට 11 වසර සිසුන් තිදෙනකුගෙන් ප්‍රහාරයක්

176

සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයේ

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දහවන වසරේ 15 හැවිරිදි සිසුවෙකුට එම පාසලේම 11වැනි වසරේ සිසුන් තිදෙනකු විසින් එල්ල කළ ප්‍රහාරයක් නිසා එම සිසුවා බරපතළ තත්ත්වයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීම ගැන පොලිසිය සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගරයේදී පෙරේදා (06දා) උද්ඝෝෂණයක නිරත වූහ. ඊයේ පස්වරුවේ කොළඹ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය කහවත්ත ඔරලෝසු කණුව අසළින් වසා ප්‍රදේශවාසීන් පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්වීම නිසා විනාඩි හතළිහකට වැඩි කාලයක් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම නතරවී තිබුණි. මේ වන විට රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෙනාල් සත්සර නම් සිසුවාගේ තත්ත්වය බරපතළ වුවත් ප්‍රහාරය සිදු කළ සිසුන් දින හතරක් ගතවී ඇතත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් පොලිසිය සාධාරණය ඉටු නොකරන බව ප්‍රහාරයට ලක්වූ සිසුවාගේ ගමේ අය පවසති. පාර වසා විනාඩි හතළිහක් ගිය පසු පොලිසිය පැමිණ උද්ඝෝෂකයින් මාර්ගය මැදින් ඉවත් කරන ලදි. උද්ඝෝෂණය ආරම්භයේදී කහවත්ත රථවාහන පොලිස් නිලධාරින් පැමිණ උද්ඝෝෂකයින් ඉවත් කිරීමට උත්සහා කළද එය අසාර්ථක විය.

එහිදී එම ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය . මෙම සිද්ධිය ගැන විනය පරීක්ෂණ පවත්වා පහරදීමට සම්බන්ධ සිසුන්ට විනය පියවර ගන්නා බව කහවත්ත විද්‍යාලයේ බලධාරියෙකු පැවසීය. කහවත්ත පොලිසිය සඳහන් කරන්නේ මෙම සිද්ධිය ගැන පරීක්ෂණ සිදු කෙරෙන බවත් සැකකාර සිසුන් ඊයේ 07 වැනිදා පොලිසියට කැඳවා ඇති බවත් ය.

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට එම පාසලේම තවත් සිසුන් තිදෙනකු විසින් එල්ල කළ ප්‍රහාරයේදී සිසුවාගේ හිසට ගල් පහරක් වැදී ඇතැයි ද පරීක්ෂණ වලදී හෙළවී තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment