1848 මාතලේ නිදහස් සටනට වසර 175 යි

476

කුඩාපොල හිමි, පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, ජාතිය වෙනුවෙන් දිවි දෙති

1948 පෙබරවාරි මස 04 වන දින නිදහස් ලබාගන්නා තෙක් කාලය තුළ ඔවුන්ගෙන් රට මුදාගැනීම සඳහා සන්නද්ධ නිදහස් අරගල 07 ක් අපේ මුතුන් මිත්තන් විසින් දියත් කර ඇත. ඒ 1818, 1820 ජනවාරි, 1820 ජුලි, 1823 මාතලේ, 1834, 1842 සහ 1848 මාතලේ වශයෙනි.

මෙම අරගල අතරින් සිංහල සේනාවන් ඉතා තිරස්චීන ලෙස වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වූ සහ එකම ඉංග්‍රීසි සෙබළකු හෝ මරණයට පත් නොවූ අරගලය වූයේ 1848 මාතලේ කෑරැල්ල වන අතර එහි නියමුවා වූ වීර පුරන්අප්පු දිවි පිදූ දින වන 08.08 වන අද දිනට වසර 175ක් සම්පූර්ණ වෙයි. මෙම කැරැල්ලට නායකත්වය දුන්නේ සාමාන්‍ය පවුල්වල මෙන්ම දකුණු ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

මීට පෙර පැවතී කැරලිවලදී උඩරට රදළ පවුල්වල සාමාජිකයන් බොහෝ පිරිසක් විනාශවීමත්, සිටින අය එවායින් හෙම්බත් වී සිටිම, ඇතැම් අය ඉංග්‍රීසි පාලනයේ තනතුරු වරප්‍රසාද ලබාතිබීමත් මෙම තත්ත්වයට බොහෝ දුරට හේතුවි තිබිණි. මෙම තත්ත්වය යටතේ මොරටුව ප්‍රදේශයෙන් පැමිණි ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු, දීනිස් කරෝඅප්පු, පැලියගොඩ ඩේවිඩ්, හඟුරන්කෙත ඩිංගිරාල ආදීන්ගේ නායකත්වයෙන් උඩරට ප්‍රදේශය තුළ ඉංග්‍රීසින්ට එරෙහිව කැරැල්ලක් සංවිධානය විය. මේ අනුව 1848 ජුලි 28 දින මාතලේ දිස්ත්‍රික්කයේ වත්තේගම ප්‍රදේශයේ වාරිපොළ ගමේ පිහිටි ඉංග්‍රීසීන්ට අයත් කෝපි වත්තකට ඔවුන්ගේ ප්‍රථම ප්‍රහාරය එල්ල විය. මෙම ප්‍රහාරය එල් වූ සැණින් වතුහිමියා වූ ‘වයිනර්’ ඇතුළු සුදු වතු හිමියන් මාතලේටත් මහනුවරටත් පලාගිය අතර, ප්‍රහාර මැඬලීම සඳහා ඉංග්‍රීසි පාලකයන් විසින් එම ප්‍රදේශවලට හමුදාව යෙදීමට කටයුතු යෙදීය. එවකට මාතලේ ‘මැක්ඩොවල්’ බලකොටුවේ ප්‍රධානියා වූ කපිතාන් ‘ලිලිට’ සහය පිණිස කපිතන් වොට්සන්ගේ නායකත්වයෙන් භටයින් 100 කගෙන් සමන්විත ‘සිලොන් රයිපල්’ බළකායද ලුතිතන් ‘ග්‍රීසන්’ ගේ නායකත්වයෙන් 15 වෙනි රෙජිමේන්තුවේ භටයින් 100ක් ද මේ සඳහා යෙදවිණි. සහායට ලුතිතන් ‘රුත්පොඩ්’ සහ කපිතන් ‘හෙන්ඩර්සන්’ ද යෙදවිණි.

මෙම සේනාංක වාරිපොල වත්තට හා ඒ අවට කැලෑවලට කඩා වැදී ඉතා අමානුෂික ලෙස කැරලිකරුවන් ඝාතනය කරන්නට විය. ‘ජෙමඩාර්’ නම් මැලේ පොලිස් බටයා යටත් වූ සහ තුවාල ලැබූ කැරලිකරුවන්ට කැත්තකින් කොටමින් හිස් කුඩු කරමින් ම්ලේච්ඡ ඝාතනයක් සිදු කළේය. අවසානයේ කපිතාන් හෙන්ඩර්සන් විසින් ජෙමඩර් අත තිබූ ලේ තැවරුණු, හිස්කෙස්, මස් වැදලි සහිත කැත්ත උදුරා වීසි කොට එවන් ක්‍රියාවන්හි නොයෙදෙන ලෙස අවවාද කළ බවද ලේඛනවල දැක්වේ. මෙම පරාජයෙන් පසුබට නොවූ පුරන් අප්පු ප්‍රමුඛ සිංහල සටන්කාමීහු, හුන්නස්ගිරිය, නාලන්ද, ලෙනදොර ප්‍රදේශවල සිට මාතලේ අල්ලාගැනීම සඳහා සටන් දියත් කළහ. බලකොටුවට පහරදීමට තරම් ආයුධ ශක්තියක් නොතිබූ හෙයින් ඔවුහු 29 දින පළමුව මාතලේ තානායම, රට බීම් ගබඩාවල බෙහෙත් ගබඩාව හා මහෙස්ත්‍රාත් අධිකරණයට පහර දී ඒවා විනාශ කළහ. රට බිම හළෙහි පරික්‍ෂාකරීව සිටි මාතලේ මහෙස්ත්‍රාත්, ‘ස්ටුවර්ට්’ ජීවිතාරක්‍ෂාව පතා පලා ගියාය.

ඉන් පසු සිංහල සටන්කාමීන් 1848 ජූලි 30 දින දඹුලු විහාරයට පැමිණ පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා, ‘ශ්‍රී වික්‍රම සර්ව සිද්ධී’ නමින් සිංහලේ රජු ලෙසටත්, හඟුරන්කෙත ඩිංගිරාල හෙවත් වීදිපැල්ලේ බණ්ඩාර යුවරජු හා දුම්බර හාරිස්පත්තුවේ ඈපානන් ලෙසටත්, පුරන් අප්පු මහසේනාපති ලෙස හා කරෝ අප්පු සහ දිනිස් සේනාපතින් ලෙසත් පත්කර ගත්හ. මෙම කටයුතු දඹුලු විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ කෝරාලවරු සහ අතු කෝරාළවරු සහ ආරච්චිවරු 25 ක් මීට සහභාගි වි ඇත.

මෙම කටයුතු අවසානයේ රජු පෙරටුකොටගත් පිරිස් දෙකොටසක් බෙදී රජු සහ පුරන් අප්පු ඇතුළු පිරිස්, නාලන්ද, ලෙනදොර හරහා මාතලේටත්, හඟුරන්කෙත ඩිංගිරාල යුව රජු දිනිස් කරෝ අප්පු ඇතුළු පිරිස් කුරුණෑගලටත් ගමන් කළහ. මාතලෙන් පසු මහනුවර අල්ලාගැනීම පුරන් අප්පුගේ සැළැස්ම විය.

අගොස්තු 01 දින කුරුණෑගලට ඇතුළු වූ හඟුරන්කෙත ඩිංගිරාල ඇතුළු පිරිසෙන් ‘දිනිස්ගේ’ කාණ්ඩායම හිරගෙදරට පහරදී එහි රඳවා සිටි සිංහල සිරකරුවන් නිදහස් කරගත් අතර කරෝඅප්පු කණ්ඩායම කච්චේරි හා උසාවිය පොලිසිය අල්ලා ගත්හ.

‘මාතලේ කැරැල්ල’ යනුවෙන් හැඳින්වෙන මෙම අරගලයේ ප්‍රථම පහරදීම 1848 ජූලි 28 දින වාරිය පොළ කොපිවත්තෙන් ඇරඹුණු පසු සිදු කරන ලද අවසාන ප්‍රහාරය අගෝස්තු 01 දින සිදු කරන ලද මෙම කුරුණෑගල ප්‍රහාරයයි. එනම් කැරැල්ල සජීවීව පැවතී ඇත්තේ දින 5ක් වැනි කෙටි කාලයක් පමණි.

හගුරන්කෙත ඩිංගිරාල – 1848 අගෝස්තු 05 මරණ දඬුවමට
මේ වන විට කුරුණැගල ඉංග්‍රීසි හමුදා නයකයා වූයේ කපිතාන් ජේ. එම්. මැක්ඩොනල්ඩ්ල්ය. ඔහු ප්‍රදේශයේ සිංහල ප්‍රභූවරුන් කැඳවා කැරලිකරුවන් මර්දනයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ‘දරටිවැවේ’ රටේ මහත්තයා. කුරුණෑගල සටන් මෙහෙයවන හඟුරන්කෙත ඩිංගිරාල අල්ලා දීමට කැමැත්ත පළ කළාය.

අත්අඩංගුවට ගත් ඩිංගිරාල ඇතුළු පිරිස දෑත්බැඳ ඉංග්‍රීසින් වෙත භාරදුන් පසු 1848 අගෝස්තු 05 දින උදේ 0800 පැයට යුද්ධාධිකරණය වෙත ඉදිරිපත් කළහ. මෙම යුද්ධාධිකරණය කපිතාන් ජේ. එම්. මැන්ඩොල්ඩ්, කපිතාන් හැමිල්ටන්, කපිතන් H.D. බර්ට් ලුතිතන් F.B. මැනහෝල් ලුතිතන් G.E. ලැම්බර්ට් යන

නිලධාරින්ගෙන් සමන්විත විය. චෝදනා සම්බන්ධව තමාට කීමට කිසිවක් නොමැති බව හඟුරන්කෙත ඩිංගිරාල පැවසීමෙන් පසු ඔහුට වෙඩිතබා මරාදැමීමත්, සියලු දෙනාට පාඩමක් ලෙස දින 4ක් යනතුරු මළ සිරුර නැගෙනහිර කඩවත් මායිමේ ගසක එල්ලා තැබීමටත් නඩු තීන්දුව ප්‍රකාශ කළාය. මරණීය දණ්ඩනය ඒ වෙලාවේම එලෙසම ක්‍රියාත්මක විය.

1848 අගෝස්තු 08 දින වීර පුරන් අප්පුට මරණ දඬුවම.

1848 අගෝස්තු 06 දින පුරන් අප්පු වාරිපොල ගල්ගුහාවක් තුළ පසුදින කළයුතු ප්‍රහාර සැලසුම් කරමින් සිටියදී ඔහුගේ සටන් සහයකයන් දෙදෙනකු වූ බැද්දගේ අල්විස් සහ හේවාහකුරුගේ තවත් පිරිසක් සමග පුරන් බැලීමට පැමිණියහ. කවුඩුපැලැල්ලේදී ඉංග්‍රීසින්ට එරෙහි සටහන්වලට එක්වූ මිතුරන් දෙදෙන හා පිරිස පුරන් විසින් ඉතා සතුටින් පිළිගන්නා ලදි. මිතුරන් වූයේ පුංචි අප්පු, ඇල්ලේපොල හොදිගේ, වීරනෙත්ති අප්පු කුට්ටි, ආරුමුගම්, සහ කාරියවසම් යන අයවලුන්ය. මෙම අය හට රාත්‍රි ආහාරද පිළිගැන් වූ පුරන් මධ්‍යම රාත්‍රිය තෙක් පිළිසඳරේ යෙදී නින්දට ගියේය. මිතුරන් දෙදෙනා ඇතුළු පිරිසද හොරට නිදා සිට මධ්‍යම රාත්‍රිය පසුවූ පසු එක්වරම කඩා පැන පුරන් අප්පු ලණුවලින් ගැටගැසුවෝය. ඉන් පසුව මාතලේ කඳවුරේ කපිතාන් වොට්සන් වෙත භාරදුන්හ. ඒ අගෝස්තු 07 වෙනිදාය.

පසුදිනම, එනම් අගෝස්තු 08 දිනම පුරන් ඇතුළු පිරිස යුද්ධාධිකරණයට ඉදිරිපත් කළහ. යුද්ධාධිකරණයෙන් සාමාජිකයන්යන් වූයේ මේජර් F ලුෂින්ටන්, කපිතාන් TH‍ වින්ෆිල්ඩ්, කපිතන් H‍ ග්‍රීසන්, කපිතන් HC බර්ඩ් සහ ලුතතන් J ස්මිත් සහ නිලධාරීන්ය.

මහරැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලී ගැසීම, කවුඩුපැලැල්ලේදී දොන් කොරනේලිස් නමැත්තා ඝාතනය ආදි චෝදනා යටතේ පුරන් අප්පුව වෙඩිතබා ඝාතනය කිරීමට තීන්දු විය. ඒ අනුව එදිනම එනම් 1848 අගෝස්තු 08 දින සවස 2.30 ට ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාව බේරාගැනීමට සටන් වැදුනු. ‘වීරසන්නද්ධ වීරබල ජයසූරිය තුරුඋතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ දොන් ප්‍රැන්සිස් ප්‍රනාන්දු හෙවත් වීර පුරන්අප්පු’ ඉංග්‍රීසි හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරවලින් ළය සිදුරුව අවසන් හුස්ම හෙළුවේය.

මාතලේදී මරණ දඬුවම් ලැබූ අය 1848 අගෝස්තු 22

අගෝස්තු 22 දින මාතලේ යුද්ධාධිකරණයේදී මරණීය දණ්ඩනයට නියමු වූ කැරලිකරුවන් 9 දෙනෙකි. ඔවුන් අතරින් මාඋස්සාගොල්ලේ ආරච්චි, මල්පිටියේ අප්පුහාමි, නිකුලේ පුංචිරාල, අලුත්ගම බණ්ඩා, අලුවැල්ලේගොඩ සියාතු, කිරිබණ්ඩා, උකුවැල්ලේ බන්ඩා, බබාඅරච්චි සහ පුන්චිරාල ආරච්චිය.

මෙම අයවලුන් අගෝස්තු 23 දින මාතලේ දිසාපති මැඳුර ඉදිරිපිට පිට්ටනියට රැගෙනවිත් එකවර හතර බැගින් බැරල් මත සිටුවා වෙඩිතබා මරා දමන ලදි.

1848 අගෝස්තු 26 දින කුඩාපොළ හිමිටත් මරණ දඬුවම අගෝස්තු 24 දින එම කාණ්ඩායම් සමග ‘කාහල්ල’ ගමේ ගල්ලෙනක් වටලා එහි වැඩ සිටි හිමි නමක් අත්අඩංගුවට ගත්හ. ඒ කුඩාපොළ හිමියන්ය. උන් වහන්සේද යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 දින උදේ 0600 පැයට වෙඩිතබා මාරා දැමීමට තීන්දු විය. මෙම තීන්දුවට ඉංග්‍රීසින්ගේ නීතිඥ ඉස්මිට්, අග්‍රවිනිශ්චයකාර ලේකම් ඔලිපන්ට් සහ JE දුනුවිල ආඳින් දැඩි ලෙස විරුද්ධ වුවත් තීන්දුව එලෙසම ක්‍රියාත්මක කොට කුඩාපොල හිමියන් සිවුර පිටින්ම වෙඩ් තබා ඝතනය කරන ලදි.

1849 ජනවාරි 06 දින ගොන්ගාලේගොඩ බණ්ඩාගේ ඉරණම කැරැල්ලේ රජු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා 1848 නොවැම්බර් මාස 14 දින ඇල්කාඩුවේ ගල්ලේනක සැඟවී සිටින විටදි සිංහල ඔත්තුකරුවන් වූ දොන් හෙන්රික් තිලකරත්න, දොන් ඩේවිඩ් විජේකෝන් සහ

ගම්මුලාදෑනියාගේ ආධාරයෙන් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු සියලු චෝදනාවන්ට වරද පිළිගත්තේය. දෙසැම්බර් 01 දින ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුවෙන් ඔහුව 1849 ජනවාරි මස 06 දින එල්ලා මරා දැමීමට තීන්දු විය. පසුව ඔහුගේ අභියාචනය අනුව මරණ දඬුවම ලිහිල් වී කස පහර 100ක් සමග ‘මලක්කාවට’ පිටුවහල් කරන ලදි.

මේ නිමිත්තෙන් අද (08) පෙරවරුවේ මාතලේ “48 නිදහස් සටනේ සමරු ස්ථම්භය” අසල ප්‍රතිස්ථාපනය කරන ලද වීර පුරන් අප්පු ප්‍රතිමාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අභිනවයෙන් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර ඇත.

විශ්‍රාමික මේජර්
කොඩිතුවක්කුකාර ගෙදර කුලරත්න
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment