දළපූට්ටුවා සහ සියඹලන්ගමුවේ ඇතා  ගල්ගමුවේ යළි ඉපදෙති

259

වසර කිහිපයකට පෙර ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් වුණ දළ පූට්ටුවා හස්තියා සහ  ගල්ගමුවේ සිට උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ප්‍රවාහනය කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස අනතුරට පත්ව මියගිය දකුණු ආසියාවේ දිගම දළ දෙක සතු වූ සියඹලන්ගමුව හස්තියාගේ ජීවමාන පිළිරූ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අවිහිංසා ස්මාරකය සහිත පරිශ්‍රය ගල්ගමුව සෙනරත්ගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි. මෙම මහඟු කර්තව්‍යය සිදු කර තිබුණේ අවිහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානය හා ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ එකමුතුවෙන්ය.

දළපූට්ටුවා සහ සියඹලන්ගමුවේ ඇතා  ගල්ගමුවේ යළි ඉපදෙති

රු ලක්ෂ 50 කට අධික පිරිවැයක් දරමින් වසර 04 කට වැඩි කාලයක් මෙම ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ගත වී තිබේ. ස්මාරකයේ නිර්මාණ කාර්ය සිදු කළ නිර්මාණකරුවා හස්තිරාජයන් දෙපලගේ වාසභූමි වූ ගල්ගමුව ප්‍රදේශයේම පුද්ගලයෙකු වීම ද විශේෂත්වයකි. ජේ. රත්නායක නම් වූ මොහු වෘත්තීය මූර්ති ශිල්පියෙකු සේම පාසල් ගුරුවරයකු ද වෙයි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ කොතලාවල වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ මහතා විසිනි. ප්‍රධාන ආරාධිතයා ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා සහභාගි වූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද එම මහතාය.

කුමාර රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment