අරුන්දතී මං මනමාලයි පවුලේ නාට්‍යයක් – සුගත් ශාන්ත මොරගහකුඹුර

216

පුවත්පත් කලාවේදියකු, රංගන ශිල්පියකු මෙන්ම වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු වන සුගත් ශාන්ත මොරගහකුඹුරගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන ‘අරුන්දතී මං මනමාලයි’ වේදිකා නාට්‍ය හෙට (23 වැනිදා) ගම්මන්පිල සණස ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතය. මෙය සුගත්ගේ හයවැනි වේදිකා නාට්‍ය නිර්මාණයයි.

අරුන්දතී මං මනමාලයි පවුලේ නාට්‍යයක් - සුගත් ශාන්ත මොරගහකුඹුර

පෙ.ව. 10.30ට සහ 3.30ට වේදිකාගත වන මේ සඳහා රූපා ගෝමස්, කුලසිරි මල්ලිකාරච්චි, දිල්හාරා ජයසිංහ, රොෂාන් ජයසුන්දර සහ නිෂාන් සම්පත්ගේ රංගනයෙන් දායක වේ. සමීර සුබසිංහගේ සංගීතයට ශාලුක මදුශංක සහ රිශ්මිනා සමීන්ගේ පද රචනයෙන් අර්ථවත් වුණු ගීත 4ක් මේ සඳහා ඇතුළත් වේ. මෙහි නැටුම් නිර්මාණය ශානු දිසානායකගෙනි. විදුලි ආලෝකයෙන් ජිනදාස හේන්ගොඩ දායකත්වය සපයන අතර වේදිකා පසුතල නිර්මාණය එච්. ඒ. සුනිල්ගෙනි. ජීවනී මීගොඩ නිෂ්පාදන කළමනාකාරීත්වයෙන් දායක වන මෙහි පෙළ මතක් කිරීම චින්තක පතිරණ සහ තුෂාරි බණ්ඩාරනායකගෙනි.

අරුන්දතී මං මනමාලයි නම වගේම එහි කතාවත් අපූර්වයි. මෙහි අපූර්ව සංකලනයකින් යුතු සංක්‍රාන්ති සමය පසු කළ තරුණයකු හා සාමාන්‍ය තරුණයකු හා තරුණියක් අතර හට ගත් ආදර කතාවකි.

අද සමාජය තුළ දේශපාලනය තිත්ත වූ මාතෘකාවක්. දේශපාලනය විසින් මෙතෙක් කළ ක්‍රියාකාරකම් හමුවේ උස්පහත් භේදයක් නැතිව ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ පීඩාව මත නිර්මාණකරුවකු ලෙස තවත් බරක් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කරන්න මට අවශ්‍ය වුණේ නෑ. සරල වින්දනයකින් ඒ පීඩනයට පත් මුහුණුවලට යම් සිනහවක් ගෙන ඒමටයි මට වුවමනා වුණේ. එහි සාර්ථකත්වය පසුගිය දිනවල පැවැති දර්ශන වාරවලින් පැහැදිලියි. ප්‍රේක්ෂකයන්ට සිතන්නට දෙයක් දිය යුතුයි. නමුත් එය සහෘදයාට වෙහෙසකර එකක් නොවිය යුතුයි. එවිටයි නිර්මාණයකින් රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන්නේ.

අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍යයට නැටුම් ගැයුම් හරි අපූරුවට යොදා ගත්තා. අරුන්දතී මං මනමාලයි නාට්‍ය දර්ශන වාර සීමිත ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබුණත් එය කරලියේ පෙරළියක් ඇතිකරලා තියෙනවා. මෙය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි නාට්‍යයක් යැයි නිර්මාණකරු වන සුගත් ශාන්ත මොරගහකුඹුර ‘දිවයින සිනමා කලා’ වෙත පැවැසීය.

ඡායාරූප – අමල් රණවක

advertistmentadvertistment
advertistmentadvertistment