ළඟදීම අතුරුදන් විය හැකි ‘එදාවේල මානවයා’

518

ඉපැරැණි සිංහලයා ඉස්සර තේ හෝ කෝපි බිව්වේ ම නැත. ඒ නිසා ඔහුට සීනි අවශ්‍ය වූයේ ද නැත. හේ පානය කළේ බෙලිමල් හෝ රණවරා තැම්බු වතුර හකුරු සමඟ ය. තේ බොන්නට පුරුදු වූ පසුව ද ඉපැරැණි සිංහලයා කවදාවත් කිරි තේ පානය කළේ නැත. හේ නිතරම ගැසුවේ ප්ලේන් ටී ය. ඒ ද කිතුල් හකුරු හෝ පොල් හකුරු කැබැල්ලක් සමඟ ය.

ලංකාවට සීනි පුරුදු කරන ලද්දේ එඞ්වර්ඞ් බාන්ස් නමැති ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා විසිනි. 1823 දී මෙරට පාලනය භාරගත් ඔහු 1824 දී ලංකාවේ උක් වවන්නට පටන් ගෙන එයින් සීනි නිපදවා එංගලන්තයට යවන්නට පටන් ගත්තේය. ඉන් ටික කලකට පසු සිංහලයාගේ දිවට සීනි රස හුරු විය. හකුරු පැත්තකට විසි කළ හෙතෙම අල්ලේ සීනි කමින් තේ පානය කරන්නට පටන් ගත්තේය. 1850 වන විට මේ රට සීනිවලින් ස්වයංපෝෂිත විය. 1860 වන විට බි‍්‍රතාන්‍ය පාලකයෝ ලංකාවේ උක් වගාව නතර කළහ. එහෙත් මිනිසුන්ගේ මනස තුළ සීනි රසය ඉතිරි විය. එබැවින් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එංගලන්තයෙන් සීනි ගෙන්වා රාත්තල සල්ලිය බැගින් වූ මිලකට විකුණන්නට පටන් ගත්තේ ය. අද වන විට ජලය සහ ඔක්සිජන් තරමට ම සීනි ද මේ රටේ ජනයාට අවශ්‍ය ය. එහෙත් රට තුළ නිපදවන්නේ ජාතික අවශ්‍යතාවයෙන් 5% ක් වූ සීනි ප‍්‍රමාණයක් පමණි. උදාහරණයක් වශයෙන් අද අවුරුද්දකට රට තුළ සීනි ටොන් 50000 ක් පමණ නිපදවනු ලැබේ. සීනි ටොන් පන්ලක්‍ෂයක් පමණ පිටරටින් ගෙන්වනු ලැබේ. 1970 දී මේ රටේ සීනි රාත්තලක් සත 72 කි. 1990 දී සීනි කිලෝවක් රුපියල් 5.50 කි. 2017 දී රුපියල් 50 කි. 2019 දී රුපියල් 51 කි. මීට දෙමසකට පෙර රුපියල් 100 කි. අද රුපියල් 225 කි. කිරිපිටිවල තත්ත්වයත් මෙයමයි. මෙයට මාස 2 කට පෙර කිරිපිටි කිලෝවක් රුපියල් 995 කි. අද එහෙත් මාකට් එකේ කිරිපිටි නැති අතර බ්ලැක් මාකට් එකේ කිරිපිටි කිලෝවක් රුපියල් 1500 කි. හාල් ගැන මෙහිදී කතා නොකරනු ලැබේ. පොල් මිල ගැන ද අපගේ ස්ථාවරය එයමය. සියලූ වසංගත තත්ත්වයන් ද, වැස්ස ද රටේ ආර්ථිකයට හරස් වී ඇත. ‘එදාවේල කන මිනිසා’ නමැති ස්ථරය මානව සමාජයෙන් වඳ වී යෑමේ තර්ජනයක් හට ගෙන තිබේ. වෙන රටවල එදාවේල සොයාගෙන කන ස්ථරය අතුරුදන් වන්නේ රටේ ඒකපුද්ගල ආදායම දියුණු වී රට වැසියාගේ ආදායම් ස්ථාවර වූ විට ය. ලංකාවේ සිදුවීමට යන්නේ එදාවේල කන මිනිහා කුසගින්නේ මියයෑම මගින් එම ස්ථරය වඳ වී යෑමය. ශිෂ්ටාචාර ගත වීම සඳහා මානව වර්ගයන් කිහිපයක් ඉදිරියට පැමිණියහ. තියැන්ඩර්නල් මානවයා ඉන් එක් වර්ගයකි. හෝමෝසේපියන් මානවයා තව වර්ගයකි. ශිෂ්ටාචාර ගමන් මගේ තිබූ විවිධ කඩුලූවලින් වානර වීමට බැරි වු තියැන්ඩර්නල් මානවයා වඳ වී ගියේ. දක්නට ඉතිරි වූයේ හෝමෝසේපියන්ස් මානවයා පමණි. මෙය ලියන සහ කියවන අප පැවත එන්නේ ඒ කියන මානව වර්ගයාගෙනි. ‘එදා වේල මානවයා’ ඉදිරිපිට ද වැට කඩොලූ බහුලව තිබේ. දැනට තිබෙන තත්ත්වය අනුව එම කඩුලූ පැනීමට ඔවුනට නොහැක.

මේ රටේ පාරිභෝගික අධිකාරියක් තිබේ. එහෙත් බඩු මිල පාලනය ඔවුන් වෙතින් ගිලිහී ගොස් ඇත. වැඩි මිලට බඩු විකුණන පල් හොරුන් අල්ලන්නට තිබෙන නීති පණ මදිය. එය මුළු රටේම පණ යෑමට හේතුවක් විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment