ගංගාරාමයේ පොඩ් හාමුදුරුවෝ

479

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ අධිකරණ සංඝනායක පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ 78වන ජන්ම දිනය 2021-12-14 වන දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි

උන්වහන්සේ පිළිබඳ හැඳින්වීම පිණිස ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ යන හැඳින්වීම පමණක් වුවද ප‍්‍රමාණවත්ය. දුගී පැල්පතේ සිට රජ ගෙදර දක්වා එම හැඳින්වීම සමාජගතවී අවසන්ය. පොඩි හාමුදුරුවන් තුළින් විද්‍යාමාන වන මහා පෞරුෂය එතරම් ප‍්‍රභාවත්ය. හෘදයාංගම බවින් යුක්තය. උන්වන්සේ තුළ දකින්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්‍ෂණයක් බවට පත් වන්නේ නායකත්වයේ ගුණාංගයන්ය.

1943 දෙසැම්බර් 14 වැනි දින දකුණු සිරිලක මාතර ගලබොඩ උපන් අප නායක හිමිපාණන් පැවිදි දිවියට පිවිසෙන්නේ 1954 නොවැම්බර් මස 08 වැනි දිනය. ගලබොඩ සුනන්දාරාමයේ නායකත්වය හෙබවූ පූජ්‍ය අපරැක්කේ දේවානන්ද නාහිමියන්ගේ මඟපෙන්වීම යටතේ පැවිදි දිවියට ඇතුළත් වන උන්වහන්සේ එතැන් සිට හඳුන්වනු ලබන්නේ ගලබොඩ ඥානිස්සර හිමියන් ලෙසය. එතැන් සිට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ නාහිමියන්ගේ සඟ පරපුරේ වේහැල්ල පාරම්පරාව නියෝජනය කරන ගලබොඩ ඥානිස්සර හිමිපාණන් උතුම් සංඝ පීතෘන්වහන්සේ නමක් බවට පත්වන්නේ කුඩා කල පටන් බුදුන් අනුදත් මග යමින් සිදුකළ ආගමික, ශාසනික මෙහෙවර හේතුකොටගෙනය.

ගංගාරාමයේ පොඩ් හාමුදුරුවෝ

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ශාසනික දිවියට ඇතුළත් වනවිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය යනු ආගමික, ශාසනික මෙහෙවර පිණිස පමණක් කැපවූ තවත් එක් විහාරස්ථානයක් පමණය. එම වකවානුව වන විටත් විහාරස්ථ නායක හිමිවරුන් තරමක වයෝවෘද්ධ තත්්ත්වයේ පසුවී ඇත. වයස අවුරුදු 16 ට පිවිසීමත් සමඟ විහාරස්ථානයේ පරිපාලන කටයුතු ගංගරාමයේ පොඩි හාමුදුරුවන් මත පැවරී ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. එතැන් සිට විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස උන්වහන්සේ විසින් සිදු කරන ලද සේවය අතිමහත්ය. ඒ අතරට ශාසනික උන්නතිය පිණිස සිදු කරන ලද මෙහෙවර මෙන්ම සමාජයීය මෙහෙවර ආදිය ද ඇතුළත්ය. එම සියලූ කටයුතු පිටුපස පවතින සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ ප‍්‍රසිද්ධිය පිණිස උන්වහන්සේ තුළ පැවැති අකැමැත්තය. ශ‍්‍රී ඥානිස්සර පිරිවෙන ආරම්භවීම පිටුපස පිහිටි යෝධ සෙවණැල්ල උන්වහන්සේය. එම ස්ථානයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලැබූ හිමිවරුන් විශාල පිරිසක් මේ වනවිට මෙරට සම්භාවනීය වෙහෙර විහාරස්ථාන ආදියෙහි නායක හිමිවරුන් බවට පත්ව ඇත. ත‍්‍රිපිටකය, ඉංග‍්‍රිසි භාෂා දැනුම ආදියෙන් පොහොසත් උන්වහන්සේලා මෙරට මෙන්ම විදෙස් රටවල පවා උගත් යතිවරයන් වහන්සේලා ලෙස අප‍්‍රමාණ ගෞරවයට පාත‍්‍රව ඇත. එපමණක් නොව මෙරටට පාරිසරික තාක්‍ෂණය හඳුන්වාදීමත් සමඟ පරිඝනක තාක්‍ෂණය සමාජගත කිරීම උදෙසා උන්වහන්සේ විසින් විශාල කාර්යභාරයක් සිදුකොට ඇත. ප‍්‍රාචීණ විභාග පිණිස ශිෂ්‍යත්ව හඳුන්වා දෙමින් දුර්ලභ පොතපත නැවත නැවත මුද්‍රණය කරමින් මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය පිණිස උන්වහන්සේ තරම් දැවැන්ත මෙහෙවරක් කරන ලද හිමිනමක් මෑත කාලිනව බිහිනොවූ තරම්ය. සෑම සමාජතලයක්ම ආවරණය කරමින් උන්වහන්සේ විසින් සිදුකරන ලද සමාජයීය මෙහෙවරයන්ද සුළුපටු නැත. 88/89 භිෂණ සමය තුළ උන්වහ්නසේගේ මැදිහත්වීම මත තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් ආරක්‍ෂා විය. එපමණක් නොව තරුණ පරම්පරාවේ රැකියා ගැටලූවලට විසඳුම් සෙවීම පිණිස උන්වහ්නසේ විසින් ක‍්‍රියාවට නඟන ලද වැඩපිළිවෙළ හේතුවෙන් දස දහස් ගණනක් වූ තරුණ තරුණියන් සාඩම්බර පුරවැසියන් ලෙස මෙරට ශ‍්‍රම බළකායට එක්වන්නේ උන්වහන්සේගේ සෘජු මැදිහත්වීම මතය. උන්වහන්සේ විසින් මෙතෙක් කලක් සිදු කරන ලද ආගමික, ශාසනික සහ සමාජයීය මෙහෙවර මෙවැනි කෙටි ලිපියකට ලඝු කළ නොහැකිය. ලක් පොළොව මත බොහෝ දේ යථාර්ථයක් බවට පත්කළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසින් කරන ලද සුවිශේෂී යෝජනාවක් ලෙස එකල මෙරට ජනාධිපති වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ක‍්‍රියාත්මක කළ ‘ජනසවිය’ හැදින්විය හැක. එය මුළු මහත් සමාජයම ආවරණය වන පරිදි දුප්පත්කම තුරන්කිරීම පිණිස ක‍්‍රියාත්මක කළ ජාතික ව්‍යාපෘතිය බව බොහෝදෙනකු හොඳින්ම දන්නා කරුණක්ය.

ගංගාරාමයේ පොඩ් හාමුදුරුවෝ

වරක් උන්වහන්සේ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ ‘අපට අවශ්‍ය දේ කරවා ගැනීමේ හැකියාවක් අපට නෑ. අපට ඕන දෙය වෙනත් කිසිවකු විසින් සිද්ධකර දෙන්නෙත් නෑ. එබැවින් කළ යුතු දෙයක් පවතී නම් අපි විසින් එය කළ යුතුයි. එය තමයි හික්කඩුවේ නායක හිමියන්ගේ වචනය.’

එම ප‍්‍රකාශය තුළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ අදීනත්වය රැඳී ඇත. රජ, මැති ඇමැතිවරු අබියස පවා උන්වහයන්සේ නොබියව සිය අදහස් ප‍්‍රකාශ කරන්නෙක්ය. විහාරස්ථානයේ දොරටු ඕනෑම මොහොතක ලොකු කුඩා සැමට විවරය. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන් සසුනඹර සුදිලි මිණි පහනක් වන්නේත් එහි දීප්තිමත් ආලෝකය විසින් සමාජයේ අඳුරු අහුමුලූ එළිය කරනු ලබන්නනේ එහෙයිනි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප‍්‍රාර්ථනා කර සිටින්නෙමු.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment