800 අර්ජුන කිංග් රත්නම්ගේ ජීවිත කතාව කියයි

170

83 ජූලි කලබලයේ අපේ ගෙවල් ගිනි තිබ්බා අනාථ කඳවුරුවලයි ජීවත් වුණේ
මුරලිගෙ මල්ලියි මායි එකම පන්තියේ
සංගයි මායි එකම ඉස්කෝලේ

“කැප්ටන් කූල්” එහෙමත් නැතිනම් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග. මේ නම හින්දම තමයි මුත්තයියා මුරලිදරන්ගේ නම ලෝකයේ රැව් පිළිරැව් දෙන්නේ. මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වුණු 800 චිත්‍රපටය හින්දම මේ නම ආපහු මෙරට පමණක් නොවේ ලෝකයේම කතාබහට ලක්වෙන්න පටන් අරගෙන. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි 800 චිත්‍රපටයේ අර්ජුනගේ චරිතය කරන්න ඒ මූණටම සමාන චරිතයක් ලංකාවෙන් හොයාගැනීමත් එක්ක. එම්.එස්. ශ්‍රීපති කොහොමද මේ මුහුණ හොයාගත්තේ. 800 නරඹපු ඔයාල අර්ජුන වගේ රඟපාන මේ හාදයා කවුද කියලා හොයනවා ඇති. එයා තමයි කිංග් රත්නම්. ඇත්තටම කවුද මේ කිංග් රත්නම්.

800 අර්ජුන කිංග් රත්නම්ගේ ජීවිත කතාව කියයි

● කිංග් රත්නම් රංගනයෙන් දායක වුණු 800 චිත්‍රපටයේ අර්ජුනගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මගේ චරිතය ගැන ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේදී පවා කතාබහට ලක්වෙනවා. ඉන්දියාවේදීත් ගොඩක් මේ චරිතය ගැන කතාබහට ලක්වෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

● 800 චිත්‍රටයේ රඟපෑමට ආරාධනා ලැබුණේ කොහොමද?

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් මුලින්ම විජය සේතුපති තෝරාගත්තාට පස්සේ අර්ජුනගේ චරිතයට නළුවෙක් හොයමින් තමයි හිටියේ. ලංකාවෙන් හොයන්න පුළුවන්ද කියලා බලද්දී මගේ විස්තර ඔවුන්ට ගිහිල්ලා තිබුණා. ඒ මරත් කියන කාස්ටින් ඩිරෙක්ටර් හරහා. ඊට පස්සේ තමයි මට මේ අවස්ථාව උදාවුණේ.

800 අර්ජුන කිංග් රත්නම්ගේ ජීවිත කතාව කියයි

● ඔබ කොහොමද මේ චරිතයට සූදානම් වුණේ?

මුලින්ම පොඩි බයක් සමග සතුටක් තමයි තිබුණේ. මොකද සාමාන්‍ය චරිතයක් රඟපෑමයි සැබෑ චරිතයක චරිතයක් රඟපෑමයි කියන්නේ දෙකක්. සැබෑ ජීවිතයේ කෙනකුගේ චරිතය රඟපාන එක තමයි අමාරුම වැඩේ. චිත්‍රපටයට ආපු කලබල හින්දා මට අවුරුදු දෙකක් විතර අවස්ථාව ලැබුණා මේ චරිතයට ලෑස්ති වෙන්න. මේක කෙරෙයිද නැද්ද කියන මට්ටමකත් තිබුණා. නමුත් මම අතහරින්නේ නැතිව ලෑස්තිවීම කළා.

● අර්ජුන රණතුංගව හම්බ වුණාද?

මම අර්ජුන අයියව හම්බවෙන්න කතා කළා. නමුත් ඒ මොහොතේ එයා කාර්යබහුල වෙලයි හිටියේ. නමුත් මට හම්බවෙන්න බැරිවුණා. පසුව මම අන්තර්ජාලය හරහා ඔහු ගැන කියවලා තමයි සූදානම් වුණේ.

800 අර්ජුන කිංග් රත්නම්ගේ ජීවිත කතාව කියයි

● අර්ජුන රණතුංග ගැන මොකද හිතෙන්නේ?

පොඩි රටක් වෙනුවෙන් කොන්ද කෙළින් තියාගෙන කතා කරපු දැවැන්ත නායකයෙක්.

● චිත්‍රපටය නැරඹුවාට පසුව අර්ජුන ඔබට මොනවද කිව්වේ?

ඇත්තටම මම අර්ජුන අයියව හම්බවෙන්න උත්සාහ කළා. නමුත් ඒ වෙනකොටත් එයා චිත්‍රපටය නරඹලා ගිහිල්ලා. ඊට පස්සේ දුරකථන ඇමතුමකුත් දුන්නා. ඒත් සම්බන්ධ කරගන්න බැරිවුණා.

800 අර්ජුන කිංග් රත්නම්ගේ ජීවිත කතාව කියයි

● මුත්තයියා මුරලිදරන් මොනවද කිව්වේ?

මුරලි අයියා කිව්වේ ගොඩක් හොඳයි කියලා තමයි. ඔයා ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනවා කියලත් කිව්වා. ඔයා අර්ජුන අයියා වගේම ඉන්නවා කියලත් මුරලි අයියා කිව්වා.

● ඉස්කෝලේ යන කාලේ අර්ජුන අයියා සෙල්ලම් කරන මැච් නරඹලා තිබෙනවාද?

මම නුවර ත්‍රිත්ව විදුහලට ගියේ. එතකොට මම පුංචි කාලේ ඉදලා මුරලිව තමයි දන්නේ. මුරලිගේ මල්ලි මාත් එක්ක එකම ඉස්කෝලේ ඉගෙන ගත්තු හොඳම යාළුවෙක්. ප්‍රභූයි මායි එකට හැඳුණේ වැඩුණේ. අවුරුදු 15, 16 ඉදලා මම මුරලිව දන්නවා.

● එහෙනම් මුරලි සෙල්ලම් කරනවා දැකලා ඇති?

ඒ කාලේ මුරලි ඇන්තනීස් එක වෙනුවෙන් බෝල් කරද්දී එයාට ගහනවා කියන්නේ අපේ ඉස්කෝලෙට ලොකු සතුටක්. ඉස්කෝලේ යන කාලෙම මුරලිදරන් කියන පුද්ගලයා ලොකු නමක් හදාගෙන තිබුණේ.

● ඔබත් ක්‍රිකට් වලට ආසද?

මමත් පුංචි කාලෙ ඉදලා ක්‍රිකට් පිස්සෙක්. මම 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්වලට ගියා. එතකොට මට පුහුණුවීම් සිදුකළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක බර්ටි විජේසිංහ. නමුත් මට ඒක එක දිගට පවත්වාගෙන යන්න බැරි වුණා.

● ඇයි ඒ?

මොකද ක්‍රිකට් කියන්නේ පොහොසතුන්ගේ ක්‍රීඩාවක්. මම එහෙම පොහොසත් පවුලකින් නෙමෙයි එන්නේ. එතකොට මට එකදිගටම පවත්වාගෙන යන්න බැරිවුණා. හැබැයි මම ලන්ඩන් සහ නෝර්වේ අවුරුදු පහක් විතර ජීවත්වුණා. ඉතිං මම එහෙ ගිහිල්ලා පොඩි පොඩි ක්ලබ්වල වෘත්තීය ක්‍රීඩකයෙක් විදිහටත් ක්‍රීඩා කළා.

● කුමාර් සංගක්කාරත් ඔබේ පාසලේමයි?

සංගා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. සංගයි මායි එකම ඉස්කෝලේ.

● 800 චිත්‍රපටයේ රූගත කිරීම් වලදී මොනවගේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ?

800 රූගත කිරීම් ඉන්දියාව, ලංකාව සහ ලන්ඩන් වලදී තමයි සිදු කෙරුණේ. ඉතිං මට රූගත කිරීම් තිබුණේ ලංකාවේ සහ එංගලන්තයේ. ලංකාවේ අරගලය තිබුණ කාලේ තමයි මේකේ ෂූටින් සිදුකළේ. මේ ගැන මුරලි අයියගෙන් ඇහැව්වත් කියයි. පොඩි පොඩි චරිත රඟපෑ නළු නිළියන් හැටදෙනකු විතර ඉන්නවා. ඒ හැමදෙනාම ලොකු කැපකිරීමක් කරලා තමයි මේ චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ.

● විජය සේතුපති මේකෙන් අයින් වෙනකොට චිත්‍රපටය කෙරෙන එකක් නැහැ කියලත් හිතුවද?

ඔව් එහෙම හිතුණා. මේක කෙරෙන්නේ නැතිවෙන මට්ටමේ තමයි තිබුණේ. මම ඒ වෙනුවෙන් පෙනී සිටියා. මම හැමදාම අධ්‍යක්‍ෂවරයා වන ශ්‍රීපතිව දිරිමත් කළා. මේ හින්ද අන්තිමේ ඔහු මගේ හොඳ මිත්‍රයෙක් වුණා.

● මේ දවස්වල මොනවද කරන්නේ?

ඇත්තටම මේ වෙනකොට 800 චිත්‍රපටයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් ඉන්නේ. ලොකු වැඩක් තවම කළේ නැහැ. ලබන අවුරුද්දේ සිදුකෙරෙන වැඩ දෙකක් ගැන මේ වෙලාවේ කතාබහ වෙමින් යනවා. නළුවෙක් විදිහට මාව ලොකුවට ලංකාවේ දන්නේ නැහැ. 800 චිත්‍රපටය,

කොඩිගහයට වගේ හොඳ නිර්මාණ ටිකක් මේ අවුරුද්දේදී හම්බවුණා.

● කොඩිගහයට රාධවන් ගැනත් කතා කළොත්?

ආයුධ ගනුදෙනු සිදුකරන රාධවන්ගේ චරිතය තමයි මම රඟපෑවේ. මට තිබුණේ සීන් එකයි දෙකයි වගේ ප්‍රමාණයක්. තව ටිකක් දිගට යන්න තිබුණා නම් හොඳයි කියලත් හිතුණා.

● කෝමාලි කිංග් අධ්‍යක්‍ෂවරයා සමග අලුත් වැඩක් කරන්න අදහසක් නැතිද?

මම උත්සාහයක ඉන්නවා දිගටම. මගේ අදහස් ප්‍රකාශ කරමින් නිෂ්පාදකවරයෙක් සොයමින් තමයි ඉන්නේ. නමුත් ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ වුණාට මම ඒ උත්සාහයේ දිගටම ඉන්නවා.

● ඔබ අර්ජුනගේ හොඳ රසිකයෙක්ද?

ඔව් අනිවාර්යයෙන්ම. අර්ජුන, අරවින්ද, රොෂාන් මහානාම, කලූ අපිට දෙවිවරු වගේ තමයි පෙනුණේ. ලෝක කුසලානය දිනද්දී මට වයස 16 යි. මට මතකයි මම හොඳටම ඇඬුවා. මොකද ඒ කාලේ යුද්ධයෙන් කැඩුණු බිඳුණු රටකට බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ තිබුණේ ක්‍රිකට්වලින් විතරයි.

● මධුර් මිත්හාල් මොනවද කිව්වේ?

අපි දෙන්නා බොහොම ළඟින් වැඩ කළා. එයා බොලිවුඩ්වල මේ චිත්‍රපටයෙන් පස්සේ ලොකු කතාබහට ලක්වෙන නළුවෙක් බවට පත්වේවි.

● චිත්‍රපටය තිරගත වුණාට පස්සේ ඔහු කතා කළාද?

ඔව්. ඔව්. හම්බවුණා. එයා මට හැම තිස්සේම කියන්නේ ඔයා මට වැඩිය හොඳටම කරලයි තියෙන්නේ කියලා. මම කියනවා නෑ නෑ මම නෙමෙයි ඔයා කරලා තියෙන්නේ කියලා. මධුර මිත්හාල් හොඳ සිලෙක්ෂන් එකක්. මධුර් මිත්හාල් අනතුරක් වෙලා මුරලි වගේම එහෙම කෙළින් කරන්න බැරි බෙන්ඩ් එකක් තිබෙන අතක් එක්ක තමයි රඟපාන්නේ.

● ඇත්තටම මුරලිගේ වගේ මධුර්ගේ අතත් ඇදයි ද?

ඒක සුන්දර කතාවක්. මධුර්ට මාරාන්තික අනතුරක් සිදුවෙලා ශල්‍යකර්මයකින් පස්සේ ඔහුගේ අත නවන්න බැහැ. මුරලි වගේම එයාගේ අතත් බෙන්ඩ් වෙලා තිබෙන්නේ. ඒකයි බෝලින් ඇක්ෂන් එක අපිට ඉතාම ළඟ වගේ පෙනෙන්නේ. ඇත්තටම දෙවියෝ නළුවෙක් මැව්වා වගේ වැඩක් තමයි සිද්ධ වුණේ.

● ඔබත් සෑහෙන දුක්වින්ද චරිතයක්?

ඔව්. මම ඉතිං 79 ඉපදිලා නුගේගොඩ ජීවත වුණේ. 83 කෝලාහලයට පවා මුහුණ දෙනවා. අපේ ගෙවල් පවා ගිනි තිබ්බා. අනාථ කඳවුරු වල තමයි ඒකාලේ ජීවත් වුණේ. මඩකලපුවේ සහ ඉන්දියාවේ අනාථ කඳවුරුවල පවා ජීවත්වුණා. ඊට පස්සේ අහම්බෙන් තමයි නුවරට එන්නේ. ඒ ඇවිල්ලා නුවර ත්‍රිත්ව විදුහලට යනවා.

● 83 නේ ගෙවල් ගිනිගත්තාට පස්සේ කොහේටද ගියේ?

1983 ජූලි කලබල කාලෙ අපි පවුල් පිටින්ම අනාථ වෙලා නැගෙනහිර මඩකලපුවට යනවා. මඩකලපුවේ අවුරුදු හතරක් ජීවත්වෙලා ඉන්දියාවේ මදුරෙයිවල අවුරුදු දෙකක් ජීවත් වුණා.

● 83 කලබල කාලේ ඔබේ වයස කීයද?

මට ඒ වෙනකොට අවුරුදු හතරක් විතර වෙනවා. මට එහෙම ලොකු මතකයක් නැහැ. නමුත් පොඩි මතකයක් තියෙනවා.

● ඒ කාලේ අම්මා තාත්තා මොනවගේ තර්ජනවලටද මුහුණ දුන්නේ?

අපේ සීයාගේ ගෙවල් තිබුණේ නාවල පාසල පාරේ. 83 ජූලි කලබල වෙලාවේ ගේ සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙනවා. අන්තිමේ අපි සියලුම දෙනා මඩකලපුවට යනවා. එක රැයකින් අපේ ජීවිත වෙනස්වුණා.

● මඩකලපුවේ ගෙවුණු අත්දැකීම් මොන වගේද?

අනාථ කඳවුරුවල ඉදලා ත්‍රිපෝෂ කාලා තමයි ජීවත්වුණේ. මම එතකොට ගොඩක් පොඩියි. ඒ කාලේ මඩකලපුවෙත් යුද්ධය තිබුණා. අපේ පවුලටම පිරිමි ළමයි තුන්දෙනක් හිටියා. අන්තිමේ අපි ඉන්දියාවේ අවුරුදු දෙකක් විතර ජීවත්වෙලා අහම්බෙන් තමයි නුවරට එන්නේ. එහෙම නුවර ආවට පස්සේ නුවර ත්‍රිත්ව විදුහලේ ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මට අවුරුදු දහයයි. 99 වසරේ තමයි කොළඹට ආවේ. යාටිවී ආයතනයේ ප්‍රඩක්ෂන් ඇසිස්ටන් කෙනෙක් විදිහට වැඩ කරලා අන්තිමේ අශෝක හඳගම අයියා ඉන් අවන් චිත්‍රපටයේ අවස්ථාව ලබාදෙනවා. එහෙම තමයි මේ ගමන ආවේ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment