රසා මට අලුත් චරිතයක් – අම්මාගේ බලකිරීමටයි රඟපෑමට එන්නේ

220

“නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයේ “පොඩ්ඩිගේ” චරිතය තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසි, මේ දිනවල සිරස ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන “සර්කස්කාරයෝ” හි “රසාදරීගේ” චරිතයෙන් ද ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන “සික්ස් පැක්” ටෙලි නිර්මාණයේ “මේනකා” ලෙසින්ද, පුංචි තිරය ඔස්සේ ඔබේ ඇස්මානයට එන කටකාර, දඟකාර, සුන්දර තරුණියක් වන නිම්මි මනෝහාරී සමගින් මෙවර “මීවිත” සුහද කතාබහක යෙදුණා.

නිම්මි කොහොමද ජීවිතේ, මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. තව වේදිකා නාට්‍යයකත් පුහුණුවීම් කරගෙන යනවා. ඒත් එක්ක අධ්‍යාපන කටයුතු කරන ගමන් සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන යනවා. එහෙම විශේෂ දෙයක් නැහැ ඉතිං පුද්ගලික වැඩත්, කලා කටයුතුත් ඔක්කොම සමබරව කරගෙන යනවා.

රසා මට අලුත් චරිතයක් - අම්මාගේ බලකිරීමටයි රඟපෑමට එන්නේ

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ‘පොඩ්ඩිගෙ’ චරිතය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා නේද?

ඇත්තටම ඔව්. නාඩගම්කාරයෝ කියන්නේ මගේ වාසනාවට හරි, පිනකට හරි ලැබුණ දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. නාඩගම්කාරයෝ නාට්‍යය ලැබීමත් එක්ක ජීවිතයේ ඇත්තටම ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒ චරිතය මගේ ජීවිතේ, පළමුවැනි ටෙලි නාට්‍ය අත්දැකීම. ඒකෙන් තමයි මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ සඳහා මට ආරාධනා කරපු රංගන ද සිල්වා, සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරුන් දෙපළටත්, මාව විශ්වාස කරලා නාට්‍යයට සම්බන්ධ කරගත් සද්ධාමංගල සූරියබණ්ඩාර, සිවගුරුනාදන් සහ චාමර සමරවික්‍රම යන මහත්වරුන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට සහය දුන් අනෙකුත් රංගන ශිල්පීන්, ශිල්පිනියන්ටත් මේ වෙලාවේ මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

රසා මට අලුත් චරිතයක් - අම්මාගේ බලකිරීමටයි රඟපෑමට එන්නේ

“සර්කස්කාරයෝ” හි රසාදරීගේ චරිතය ඔබේ ජීවිතයට මොනවගේ අත්දැකීමක් වුණා ද?

රසා කියන්නේ, මට අලුත් චරිතයක්. ඒක වෙනස් දෙයක්. ඒ කියන්නේ, විවාහක තරුණියකගේ චරිතය තමයි කරන්න තියෙන්නේ. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු උපාධිධාරිණියක්. විවාහ වෙලා ඉන්නේ, ත්‍රිරෝද රථ රියැදුරෙක් සමඟ. ඉතින් ආදරය, විශ්වාසය මත තමයි ජීවිතය ගලාගෙන යන්නෙ. අපි බලමු ඉස්සරහට රසා මොනවගේ වෙයිද, මොන විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙයිද කියලා.

“සික්ස් පැක්”කියන්නෙත් මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය නිර්මාණයක්. එහි “මේනකා”ගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

සික්ස් පැක් එකට මට කතා කරන්නේ එහි සහය අධ්‍යක්ෂ නාමල් අයියා. ඒ චරිතය ගැන කතා කළොත්, ඇයත් විශ්වවිද්‍යාල තරුණියක්. ඇය වෙන පරමාර්ථයකින් තමයි වැඩ කරන්නේ. ඉක්මනින් දියුණු වෙන්නේ කොහොමද කියන එක ගැන හිතලා, විවාහයකට ගිහිල්ලා, ඒකත් තාවකාලිකව කරගෙන, දේපළ තමන් සතු කරගෙන, දික්කසාදයකට යන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ චරිතෙ හරිම අමුතු චරිතයක්. සාමාන්‍යයෙන් උඩින් මිනිස්සු දැක්කොත් හිතන්නේ හරි අහිංසක චරිතයක් කියලා. නමුත් ඇතුළෙ තියෙන්නෙ වෙනමම එකක්. ඒක රඟදක්වා පෙන්වීම බොහෝදුරට මට අපහසු කාර්යයක් වුණත්, පුළුවන් උපරිමයෙන් කරන්න මම උත්සාහ කරනවා.

වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබුණද ?

දැනට නම් වෙනත් නිර්මාණවලින් ආරාධනා ලැබිලා නැහැ. සර්කස්කාරයෝ, සික්ස් පැක් සහ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු තමා දැනට කරගෙන යන්නේ.

ඉදිරියේදී මොන වගේ චරිතයකට ආරාධනා ලැබෙනවාටද ඔබ කැමති?

ඒක මෙහෙමයි, රංගන ශිල්පිනියක්, ශිල්පියෙක් වුණාම ඕනම චරිතයක් කරන්න, තමාගේ හැකියාව තියෙන්න ඕන. ඒක රාමු කරන්න, කොටු කරන්න බැහැ. තමාගේ හැකියාව, දක්ෂතාව සහ උනන්දුව මත තමයි තීරණය වෙන්නේ. ඉතින් ලැබෙන ඕනෑම චරිතයක් කරන්න හැකියාව තියෙනවා කියන්නේ, සාර්ථක රංගන ශිල්පියෙක් වෙනවා. මගේ ජීවිතේ තුළ මම කියන්නේ නැහැ මට එහෙම අසීමාන්තික ලෙස සමහර චරිත කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ සීමාව තුළ මම හිතනවා මට ලැබෙන හැම චරිතයක්ම වගේ සාර්ථකව කරන්න උත්සාහයක් ගනීවි කියලා. විවිධ චරිත මට ලැබෙනවා නම් මම හරි කැමතියි.

ආදරණීය රසිකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඇත්තටම සර්කස්කාරයෝ එකේ රසාදරීට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට කතා කරලා කියනවා, මුණගැහුණාම කියනවා රසාගේ චරිතය මරු, අපි ඒ වෙනසට ආසයි කියලා. ඒ ලැබෙන ප්‍රතිචාරවලට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඉසුරුටත්, චේතනී මිස්ටත්, සද්ධාමංගල සූරියබණ්ඩාර, ශිවගුරුනාදන් යන මහත්වරුන් දෙපළට වගේම අපේ IMPAS production එකට. මොකද ඒ අය මාව විශ්වාස කරලා මේ චරිතය ලබා දුන්න නිසා තමයි අද මම මෙහෙම ප්‍රේකෂයන්ගේ ආදරය ලබන්නේ.

දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්න ද බලාපොරොත්තුව?

පුළුවන් කාලයක් ඉඳීවි, මම මුලින්ම ක්ෂේත්‍රයට එනකොට දිගටම ඉන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මම කවදාවත් හිතුවේ නෑ මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙන්නවත් පුළුවන් වෙයි කියලා. නමුත් දැන් මම මේ ක්ෂේත්‍රයට කැමතියි, ආසයි, පෙරේතයි කිව්වොත් මම නිවැරදියි. ඒ තරම් ගොඩක් ආදරේ කරනවා. ඉතින් ඒත් එක්ක රංගනය ගැනත් අධ්‍යයනයේ යෙදෙමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

නිම්මි රංගන ක්ෂේත්‍රය තෝරා ගනිද්දී ඒ තීරණයට දෙමවුපියන් කැමැති වුණාද?

ඔව්. ඇත්තටම අම්මගේ බල කිරීමට තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. මම හිතෙනවා, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවට වරදක් කරන්නේ නැහැ සහ ඒ කරන කියන දේවල් හරි යනවා අපේ ජීවිතවල. ඉතිං මම හිතනවා මට හොඳ තීරණයක් ගන්න අම්මා, තාත්තා දෙන්නම ශක්තියක් වුණා කියලා. ගෙදරින් එහෙම කිසිම අකැමැත්තක් නැහැ.

නිම්මි ආදරය කරන්න මොනවගේ ගති පැවතුම් තියෙන පිරිමි ළමයෙක්ව ද සොයන්නේ?

එහෙම විශේෂ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මට ආදරේ වැඩිපුර තියෙන, මාව පරිස්සම් කරන, අවංකව ආදරය කරන්න පුළුවන්, මට මං විදිහට ඉන්න පුළුවන්, මාව හිර කරන්නේ නැති කෙනෙක්ට මම කැමැතියි. නිදහස කියන දේට මම ගොඩක් ආදරේ කරන නිසා, නිදහස ඒ විදියටම ලබා දෙන කෙනෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ.
පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment