ඇත්තටම අපි නිදහස් ද?

620

76 වැනි ජාතික නිදහස් දින සැමරුමට තව ඇත්තේ දිනක් පමණි. එය අභිමානවත් ලෙස සැමරීමට පෙරහුරු මේ දිනවල ගාලුමුවදොරදී දැකගත හැකිය. රටක් ජාතියක් ලෙස එකම කොඩියක සෙවණ ලබමින් අප රටේ නිදහස් උත්සවය ඉහළින් සැමරීම සතුටට කරුණකි. 1948 වර්ෂයේදී සුදු අධිරාජ්‍යයා අප රටට නිදහස ලබාදීමෙන් අනතුරුව මෙවර අප ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ තීරණාත්මක පසුබිමක් තුළය.

එක අතකින් රට පවතිනුයේ දැඩි අර්බුදයකය. එම අර්බුදයට හසුවී ඇති අප රටේ ජනතාවගේ සාක්කු හිස්ව තිබේ. මේ මොහොතේ අප රට වෙලාගෙන තිබෙන ආර්ථික අර්බුදය නිසාවෙන්ම ජනතාව පීඩාවෙන් පීඩාවට පත්ව ඇත. එනිසාම රටට නිදහස තිබුණ ද අප රටේ ජනතාවට අද ආර්ථික අතින් නිදහසක් ලැබී නොමැත. අද අපේ රට ජනතාව ආර්ථික අතින් බංකොලොත් වූ රාජ්‍යයක සිරකරුවන් බවට පත්ව තිබේ. මෙම සිරගෙය බිඳදමා සුළු පිරිසක් විදෙස්ගත වුවත් බහුතරය සිටිනුයේ දැඩි මානසික කම්පාවෙනි. එනිසාම අප මේ මොහොතේ රටක් ජාතියක් ලෙස එක්ව නැගී සිට රටට සැබෑ ලෙසම නිදහස ලබා දීමේ සටනට උරදීමට කාලය පැමිණ ඇත.

එම සටන දිනවීමට නම් අනිවාර්යයෙන්ම අප රට තුළ සිදුවන වංචා, දූෂණ අනිවාර්යයෙන්ම නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට පසුගිය දිනෙක මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළ ප්‍රකාශය වුවද ප්‍රමාණවත්ය. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් බැහැදුටු අවස්ථාවේදී නාහිමියෝ ප්‍රකාශ කළේ අප රටේ ආණ්ඩු බලය ලබාගන්නා අයගේ බලවත් උදවිය බලය ලබා ගැනීමෙන් පසුව වංචා දූෂණවල නිරතවන බවයි. නාහිමියන්ගේ මේ ප්‍රකාශය සියයට සියයක්ම සත්‍යයකි. අප රට සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 76ක් ඉක්ම යන මොහොතේදී මෙතරම්ම රට බංකොලොත් වූයේ රට පාලනය කළ උදවිය එය අවංක ලෙස නොකළ නිසාවෙනි. වංචාවට දූෂණයට අනුබල දෙන, වංචා දූෂණ සිද්ධීන්වලදී නෑසූකන්ව බලා සිටි පාලකයන් රට මේ තත්ත්වයට ඇදවැටීම ගැන වගකිව යුතුය. එනිසාම රටට ආර්ථික නිදහස ලබාදීමේ ප්‍රමුඛ පියවර විය යුත්තේ රට තුළ සිදුවන වංචා දූෂණ නතර කිරීමයි.

අප රටේ පිහිටීම අනුව ගත් විට එය ස්වභාවික සම්පත්වලින් පිරුණු රටකි. රට වටේ වටිනා මුහුදු සම්පතක් තිබේ. රට අභ්‍යන්තරය ගත් විට අපට ඉතා හොඳ දේශගුණික තත්ත්වයන් තිබේ. මුළු අවුරුද්දේම සූර්යාලෝකය හොඳින් ලැබේ. පවතින දේශගුණික සාධක හා සම්පත් සැලකිල්ලට ගත් විට අවංකව සහ කැපවීමෙන් පාලනය කළහොත් අවුරුදු කීපයක් තුළ මේ රට ගොඩගැනීමට හැකිය. නිෂ්පාදන ආර්ථිකයට මුල්තැන දෙන අතරේ අප රටේ පවතින දැනුම කුසලතා පිරි මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කරගතහොත් රට ගොඩ දැමීම අසීරු නැත. එහෙත් පසුගිය කාලයේදී අප රට තුළ දිගින් දිගටම සිදුවූයේ ණය කන්දකට මේ රට යට කිරීම පමණි. විදේශ රාජ්‍යවලින් ලබාගත් ණයවලින් සිදුකළ සංවර්ධනයට වඩා අතයට ගැසීම් නිසා සිදු වූ හානිය නිසා ගත් ණයවලින් අපේක්‍ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගත නොහැකි විය. එනිසා දැන්වත් මේ රටේ ආර්ථිකය නිසි පීල්ලට ගෙන රටේ පුරවැසියන් සංවර්ධනයේ අයිතිකරුවන් බවට පත් කිරීම තුළ පමණක් අප රටේ ජනතාවට සැබෑ නිදහස දිනා දීමට හැකි බව පාලකයන් තේරුම් ගත යුතුව තිබේ.

නිදහස පිළිබඳව කතා කිරීමේදී මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති මාතෘකාව වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි. අන්තර්ජාල වංචා, ළමා අපයෝජන, ලිංගික අඩන්තේට්ටම්, අපහාස සහ දත්ත සොරකම් නතර කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ගෙනආ බව රජය පවසයි. නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව විපක්‍ෂයේ සහ රටේ බහුතර ජනතාවගේ මතය වී ඇත්තේ මේ තුළ ජනතාවගේ භාෂණයට ඇති ඉඩකඩ ඇහිරෙන බවයි. මේ පිළිබඳ සිය මතය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ඇමරිකානු තානාපති ජුලි චංග් මහත්මිය පවසනුයේ මෙම පනත් කෙටුම්පත තුළින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ පවතින ඉඩ මේ හරහා ඇහිරෙන බවයි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්‍ෂය නගන තවත් චෝදනාවක් වන්නේ අදාළ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගෙනා සංශෝධන පවා ඊට නිසි ලෙස ඇතුළත් නොවූ බවයි. ජනතාව සහ විපක්‍ෂය මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නගන චෝදනා ගැන අවධානය යොමුකර කාටවත් අගතියක් නොවන අයුරින් මෙම පනත් කෙටුම්පත යළි සංශෝධනය කළ හැකි දැයි සොයා බැලීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. මේ තුළින් ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී ඇත. මෙම පනත මගින් ද භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට පවා ඉඩකඩ පවතින බවත් ජනමාධ්‍යවේදීන් සිය ප්‍රවෘත්ති සඳහා තොරතුරු එක්රැස් කිරීම පවා ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකා මෙම පනත යටතේ අත්අඩංගුවට ගත හැකි බවද ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නාය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ වැඩිදුරටත් විභාග කිරීමට නියමිත නිසා ඒ පිළිබඳව වැඩිදුර යමක් කීමට අපි අපේක්‍ෂා නොකරමු. එහෙත් එකක් කිව යුතුමය. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ඉක්මවා භාෂණයට සහ ප්‍රකාශනයට පවතින නිදහස අහිමි නොකළ යුතුය. එය මේ මොහොතේ යම් පාර්ශ්වයකට වාසිසහගත ලෙස පෙනුන ද පෙරළා යම් දිනයක එය ඔවුනට පාරාවළල්ලක් විය හැකි බව අමතක නොකළ යුතුය.


බාලදක්‍ෂ ව්‍යාපාරයට අපේ කනගාටුව

බාලදක්‍ෂ ව්‍යාපාරය තුළ ලිංගික හිංසන සිදුවන බව ඊයේ (01) දින අප පත්‍රයේ පළවූ කතුවැකියෙහි සාවද්‍ය කරුණු අන්තර්ගත වී ඇති බව තහවුරුවී තිබේ. එම ව්‍යාපාරයේ වෙළෙඳ සලක් තුළ ගැබිනි කාන්තාවකට හිංසනයක් වී ඇති බවට පළවූ කරුණ ද සත්‍යයෙන් තොරය. එම කරුණ පළවීමෙන් මෙරට කීර්තිමත් හා ඉපැරණිතම බාලදක්‍ෂ ව්‍යාපාරයට යම් කැළලක් වී නම් හෝ එම අසත්‍ය කරුණ පළවීම තුළ කිසියම් ගැබිනි කාන්තාවකට යම් අපහසුතාවක් වී නම් අපි අපගේ බලවත් කනගාටුව පළ කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment