සීඅයිඩීයට බොරු කිව්ව බව ගානියා පිළිගනියි – ලක්‍ෂ විස්සක් රජයට ගෙවන්නත් නියම වෙයි

157

වන්දිය ඊයේම ගෙවා ගමන් බලපත මුදාගනියි

අධිකරණ නීතිමය කටයුත්තකදී භාවිත කිරීමේ අරමුණින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම හා බොරු සාක්‍ෂි සෑදීම යන චෝදනාවලට වරද පිළිගත් කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 5000 ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (14දා) නියෝග කළේය.

එම දඬුවම්වලට අමතරව අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ විත්තිකාරියට රුපියල් ලක්‍ෂ 20ක වන්දියක් රජයට ගෙවන ලෙසට ද නියෝග කළ විනිසුරුවරයා එකී වන්දිය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවම් ද දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. දඩ හා වන්දි ගෙවීමෙන් අනතුරුව අධිකරණය භාරයේ ඇති එම විත්තිකාරියගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට ද නියෝග කළ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා මින්මතු එවැනි වැරදි සිදුකළ බවට පැමිණිලි ලැබුණහොත් අත්හිටවූ සිරදඬුවම් ක්‍රියාත්මක කිරීමට නියෝග කරන බවට ද අවවාද කළේය. එම විත්තිකාරිය තමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවලට වරද පිළීගැනීමෙන් අනතුරුව අධිකරණය අමුතූ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විත්තිකාරිය එකි වරද චේතනාන්විතව කර ඇති බැවින් එවැනි වැරදි සිදු කරන සෙසු පිරිසටද පණිවිඩයක් ගත හැකි පරිදි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

එම විත්තිකාරියට පෙර වැරදි නොමැති බවද අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ අභිමතය පරිදි සුදුසු දඬුවමක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙරවැරදි හෝ පවතින නඩු කිසිවක් නොමැති සිය සේවාදායිකාවගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වයත් අධිකරණයේ කාලය තවදුරටත් විඩංගු නොකර වරද පිළිගැනීම කෙරෙහිත් සළකා විත්තිකාරියට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාද පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බව හඟවාගත් පිරිසක් 2019.11.25 වැනිදා වෑන් රථයකින් පැමිණ කුරුඳුවත්ත පොලිසි වසමේ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය අසලදී තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නමැත්තාට වීසා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකර පසුව අතරමග දමාගිය බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ඇයට එරෙහිව එම නඩුව පවරා තිබිණි. එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුල් මූලික විරෝධතාවය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබූ නමුත් දෙවන විරෝධතාවය පිළිගත් විනිසුරුවරයා අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට නීතිපතිවරයාට නියෝග කොට තිබිණි.

එකී නියෝගය අනුව පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විත්තිකාරිය වරද පිළිගත් සංශෝධිත චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍රයක් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කළේය.

මහාධිකරණ භාෂණ පරිවර්තකවරිය විසින් අධිකරණයේ නියෝගය පරිදි එකී සංශෝධිත චෝදනා විත්ති කූඩුවේ සිටි විත්තිකාරියට කියවා දුන්නාය. නීතිඥ රස්මිණි ඉන්ද්‍රතිස්ස මෙනවිය, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, රසානා සාලි, නිරංජන් ඊරියගොල්ල හා නීතිඥ වසිම් අක්‍රම් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

අධිකරණය විසින් නියම කළ වන්දි හා දඩ මුදල් විත්තිකාරිය ඊයේ (14 දා) ගෙවා ඇගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරගනු ලැබුවාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment