අයිස් – කුඩු ගැහුව බස් සේවකයෝ 8ක් අත්අඩංගුවට

31

මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු තවත් මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික බස් රථ ධාවනය කරමින් මගී ජීවිත අවදානමේ හෙළන බස් රියදුරන් ඇතුළු සේවකයන් 8 දෙනෙකු ද ඔවුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු ද පෙරේදා (16 දා) අත්අඩංගුවට ගත් බව වේල්ලවීදිය පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියකුගෙන් ලද තොරතුරකට අනුව අදාළ බස් රථ සේවකයන් පිටකොටුව, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බස් නැවතුම්පළවලදී “යුක්තිය” විශේෂ මෙහෙයුමට සමගාමීව සිදු කළ මෙහෙයුමකදී කොටුකරගෙන තිබේ.

මොවුන් අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන කුරුණෑගල, මිනුවන්ගොඩ, ගම්පහ යන ප්‍රදේශවල පංදිචිකරුවන් බව ද පොලිසිය කියයි.

මොවුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු 35 හැවිරිදි කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි අයකු බව ද පොලිසිය පවසයි.

බස් රථ සේවකයන් සියලු දෙනා කොළඹ අධිකරණ වෛi නිලධාරි කාර්යාලය වෙත ඉදිරිපත් කර සිදු කළ පරීක්‍ෂාවේදී ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බව තහවුරු වී තිබේ.

මොවුන් දිනකට රුපියල් 1000 සිට රුපියල් 2500 දක්වා මුදල් වැයකර මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කර ඇතැයි හෙළිවූ බව ද පොලිසිය කියයි.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් පේදුරුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment