කොවිඩ් වර්ධක මාත‍්‍රාවෙන් සංකූලතා එන කතාව බොරුවක්

107
  • වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මෙරට ජනයා එන්නත් කිරීම ආරම්භ කර දැන් වසරක් සපිරින්නේය. කොවිඞ් මර්දන වැඩපිළිවෙළේ දී මුලින්ම සෞඛ්‍ය අංශවල සේවයේ නියුතු පුද්ගලයන් එන්නත් කිරීමෙන් ආරම්භ වී පසුව මේ වනවිට පාසල් දරුවන් පවා එන්නත් කිරීම සිදුව ඇත. ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 16ට වැඩි ජනගහනය දළ වශයෙන් මිලියන 16.4ක් පමණ වන්නේය. මෙම සංඛ්‍යාවන් ද සියයට අනූඅටකට පමණ පළමු එන්නත් මාත‍්‍රාව ලබාදීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේය. කොවිඞ් වසංගතයට එරෙහි සටන එවැනි තත්ත්වයක තිබිය දී තෙවන මාත‍්‍රාවක් ලබා දීමට ද රජය යුහුසුළු වුණේය. බූස්ටර් මාත‍්‍රාව නමින් ජනයා අතර ව්‍යවහාර මේ එන්නත්කරණය ඉලක්කගත කර තිබෙන්නේ වයස අවුරුදු 20ට වැඩි ජනතාවට ලබා දීමටය. ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මිලියන 14කට වඩා වැඩිය මේ සංඛ්‍යාවෙන් මිලියන 4.8ක සංඛ්‍යාවකට ඉකුත් 20 වැනිදා සිට බූස්ටර් හෙවත් වර්ධක මාත‍්‍රාව ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශවලට හැකි විය. එන්නත්කරණය එවැනි සාධනීය තත්ත්වයකට ළඟා වී ඇති මොහොතක ගෙවුණු දීර්ඝ නිවාඩු සමයත් සමග යළි කොවිඞ් රෝගීන් වැඩි වීමේ ප‍්‍රවණතාවක් පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිව ඇත. එක් අතකින් කොවිඞ් රෝගය ව්‍යාප්ත වීම අඩපණ කිරීම සඳහා ලෝකය දැනට භාවිත කරන එන්නත්කරණය මෙරට සාර්ථකව කි‍්‍රයාත්මකව තිබිය දී වසංගතය යළි අවදානම් ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් තිබේද? එන්නත්කරණයෙන් කොවිඞ් අවදානම නිට්ඨාවටම වළක්වා ගතහැකි වේද? මේ ප‍්‍රශ්නවලට වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප‍්‍රධානී වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පිළිතුරු බඳින්නේ මෙසේය.

ජනගහනයෙන් සියයට 70කට වඩා එන්නත්කරණය සිදුවෙලා නම් එයින් කියවෙන්නේ කොවිඞ් වසංගතයේ අවදානමක් දැන් ‘‘නැහැ’’ කියන එක ද?

පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕන මොනම එන්නතක් ලබා ගත්තත් ඒකෙ මූලිකම පරමාර්ථය තමයි මරණ සහ සංකූලතා අවම කරගන්න එක. එන්නත පූර්ණ වශයෙන් ගත්ත කෙනකුට රෝගය වැළදෙන්න තියෙන අවදානම අඩු වෙනවා. නමුත් රෝගය වැළදෙන්න තියන ඉඩ සියයට සියක් අඩු වෙන්නෙ නෑ. අපි එන්නත පරිපූර්ණ ලෙස ගත්තා වුණත්. හැබැයි රෝගය වැළඳුනා වුණත් සංකූලතා ඇතිවීම, මරණයට පත්වීමේ අවධානය ඉතාම අඩු වෙනවා. එන්නත්කරණයෙන් බලාපොරොත්තු වෙන්නෙත් කොවිඞ් නිසා ඇතිවන සංකූලතා, රෝහල්ගත වීම සහ මරණත් සාපේක්ෂ වශයෙන් අඩු කර ගැනීම. දැනට අපේ මේ වාර්තා වෙන මරණවලත් රෝගීන් වාර්තා වීමත් එන්නත්කරණය නිසා විශාල වශයෙන් අඩු වෙලා තියනවා. මේකට හේතුව ඉලක්කගත කණ්ඩායම්වල එන්නත්කරණය.

එන්නත් කිරීමෙන් සිදුකරන ප‍්‍රතිශක්තිකරණය හැමදාම පුද්ගලයකුගේ ශරීරයේ පවතිනව ද?

නැහැ. ජනතාව තේරුම් ගන්න ඕන දෙයක් තමයි පළමුවෙනි මාත‍්‍රාව, දෙවැනි මාත‍්‍රාව ලබා ගත්තත් කොවිඞ්වලට සටන් කරන්න පුළුවන් ප‍්‍රතිශක්තිකරණය හැමදාම ශරීරයේ පවතින්නෙ නෑ. අපි දන්නවා මුල් කාලේ දෛනික මරණ සංඛ්‍යාව දෙසීය පැනලා වාර්තා වුණා. නමුත් දැන් ඒක 20කට අඩු වෙලා තියෙනවා. මේක හැමදාම මේ විදියට පවත්ව ගන්න නම් අපි කළ යුතු දෙයක් තියනවා. කොවිඞ් එන්නතකින් ලැබෙන ප‍්‍රතිශක්තිය ලෝකය පුරා පැහැදිලිව පිළිගන්න දෙයක් තමයි, කාලයත් එක්ක ඕනෑම කෙනෙක්ගේ ප‍්‍රතිශක්තිය ක‍්‍රමානුකූලව අඩු වෙනවා. විශේෂයෙන් මාස තුනකට පස්සෙ ප‍්‍රතිශක්තිය ක‍්‍රමානුකූලව අඩු වීමක් සිදු වෙනවා. මේක තමයි ඔළුවට ගන්න ඕන දේ. කාලයයද්දී එන්නත් දෙකම ගත් අයත් යම් ප‍්‍රමාණයකට අවදානමකට ලක් වෙනවා.

ඒ කියන්නෙ කොවිඞ් වෛරසය ලෝකයේ තියෙන තාක් කාලයෙන් කාලයට අපිට හැමදාම එන්නත් ගන්න සිදුවෙනව ද?

ඒක තාම අපිට කියන්න බෑ. තාම කොවිඞ් රෝගය ගැන පරීක්ෂණ සිදු වෙනවා. රෝගය හඳුනාගෙනත් තාම වසර දෙකකි. එන්නත ඇවිල්ලත් තාම වසරයිනෙ. ඒ නිසා ඒක අධ්‍යයනය කරමින් තියෙන සාක්ෂි මතනෙ පිහිටන්නෙ. දැනට තියෙන සාක්ෂි මත පැහැදිලිව තියනවා එන්නත් මාත‍්‍රා දෙකක් ගත්තම මාස තුනකින් ප‍්‍රතිශක්තිකරණය ක‍්‍රමානුකූලව අඩු වෙනවා කියලා. ඒකයි අපි මාස තුනකට පස්සෙ වර්ධක මාත‍්‍රාවක් ගන්න ඕන කියලා නිර්දේශ කරන්නෙ. බූස්ටර් මාත‍්‍රාව ලබාගත්තාම නැවතත් ප‍්‍රතිශක්තිය ප‍්‍රශස්ත මට්ටමට ගිහින් ටිකක් වැඩි කළත් සාපේක්ෂව පවතින බව පැහැදිලිව කියනවා. ඒක කොච්චර කාලයක් පවතිනවද කියලා තමයි ඉදිරි පරීක්ෂවලින් සනාථ කර ගන්න ඕන.

වර්ධක මාත‍්‍රා ලබා ගැනීම සිදුකරන්නෙ කොවිඞ් රෝගයට විතර ද?

නෑ. සමහර ළමා එන්නත් ගත්තත් මාස දෙකෙන් දෙකට හතරෙන් හයෙන් දෙන එන්නත් තියනවා. ඒ සංසිද්ධියට තමයි මෙතැන සිදුවෙන්නෙ. මේක අලූත් දෙයක් නෙමෙයි.

හැබැයි මේ සංසිද්ධිය නිධන්ගත රෝග කියන අය ගත්තොත් ඔවුන්ගෙ ප‍්‍රතිපත්තිකරණය නිරෝගී අයගෙ වගේ උපරිම තැනක නෑ. රෝගී තත්ත්වයත් නිසා යම් ප‍්‍රමාණයකට ඔවුන්ගෙ ප‍්‍රතිශක්තිකරණය දුර්වලයි. ඒ නිසා නිරෝගී අය මාත‍්‍රා දෙකක් ගත්තම නිදන්ගත රෝග තියෙන අයගෙ ප‍්‍රතිශක්තිකරණය මාත‍්‍රා දෙකකින් ප‍්‍රශස්ත මට්ටම ඒමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා වයස අවුරුදු 60ට වැඩි අය ඉක්මනටම වර්ධක මාත‍්‍රාව ලබා ගැනීම වැදගත්. ඒ වගේම ඔයාලගේ ප‍්‍රතිශක්තිය අඩු වීමේ ප‍්‍රවණතාවක් නිරෝගී කෙනකුට වඩා ඉක්මනින්ම සිදුවෙන්න පුළුවන්. අද සිදුවන මරණවලින් සියයට 70ක් විතර වයස අවුරුදු 60ට වැඩි අය වාර්තා වන්නේ ඒකයි. ඒ නිසා ඔවුන් තමයි ඉක්මනින්ම ඇවිත් මේ වර්ධක මාත‍්‍රාව ලබාගන්න ඕන.

වර්ධක මාත‍්‍රාව ලබා ගැනීම ප‍්‍රමාද වුණොත්?

මේක ප‍්‍රමාද වෙලා හරියන්නෙ නෑ. වෛරස ප‍්‍රභේද හදාගෙන එක එක විදියට වැඩිපුර ප‍්‍රචලිත වෙන්න බලනවා. එතැන දී අපි එයාට වඩා ඉක්මනින් ඒකට ප‍්‍රතිචාරයක් දක්වන්න ඕන. මෙතැන වේගය පිළිබඳවත් වැදගත්. ඕනම බෝවෙන රෝගයක තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒක යම් මට්ටමක පැතිරුණොත් ඒක පාලනය කරන්න විශාල වශයෙන් අසීරුයි. එතකොට එන්නත්කරණය කරලා විශාල වශයෙන් මේක පාලනය කරගන්න බෑ. මේ සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. ලෝකයේ හැමතැනම ඔමික්‍රොන් හින්දා රෝගය වැඩි වෙනවා. අසල්වැසි ඉන්දියාවේ දෛනිකව එක්ලක්ෂයකට වඩා රෝගීන් දැන් වාර්තා වෙනවා. ඒ එන එක වළක්වා ගන්න අපට තියෙන්නෙ සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින එක. අනවශ්‍ය පරිදි ජනතාව ගැවසෙන තැන්වලින් අපි ඉවත් වෙන්න ඕන. ඉතා වගකීමෙන් හැසිරෙන්න ඕන කාලයක් මේක. එන්නත් ලබා නොගත්ත කෙනෙක් ඉන්නවා නම් හැකි ඉක්මනට එන්නත ලබා ගැනීම කළ යුතුමයි.

ඔමික්‍රොන්වල ශරීරයට හානි කරන්න පුළුවන් හැකියාව අඩුයි කියන මතය ඇත්තක් ද?

ඒ විදියට හිතන එක වැරදියි. ඔමික්‍රොන් ශීඝ‍්‍රයෙන් පැතිරෙනවා. යම් ප‍්‍රතිශතයකට සංකූලතා ආවොත් වැඩි ප‍්‍රතිශතයක් සංඛ්‍යාත්මකව සංකූලතා එන්න පුළුවන්. ඒක රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්ත්තවයක් ඇතිවන්න පුළුවන්. ඇතැම් රටවල්වලට ඒක වෙලා තියෙනවා. ඒ අවදානම ගන්න එපා. ඒ වගේමයි එන්නත්කරණය නිසා ඇතමෙක්ට රෝග ලක්ෂණ පහළ නොවෙන්න පුළුවන්. ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සමාජයේ හැසිරුණොත් ඒ තැනැත්තාගෙන් රෝගය පැතිරෙන්න පුළුවන්. බූස්ටර් මාත‍්‍රාව ලබාගත්ත කෙනෙක් බාගෙට සංකූලතා එක්ක ගෙදරට ඇවිත් තමන්ගෙ මහලූ අම්මා තාත්තාට රෝගය බෝ කිරීමේ හැකියාව තියනවා.

වර්ධක මාත‍්‍රාව නිසා සංකූලතා ඇතිිවෙන බව මතයක් පැතිරිලා තියනවා?

තෙවන මාත‍්‍රාව නිසා වැඩිපුර සංකූලතා ඇති වෙනවා කියලා ලෝකෙ කොහෙවත් දත්තවල සඳහන් නෑ. ලෙඬේට තිබුණ බය නිසා පළමු මාත‍්‍රාව ගන්න ලොකු තරගයක් තිබ්බා. දැන් වෙනකොට ඇති වෙන්න රට තුළට එන්නත් ගෙනත් තියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන්නෙ ඔමික්‍රොන්වලට මුහුණ දීමට කළ යුත්තේ එන්නත්කරණය සකී‍්‍රය කිරීම කියලයි. හුඟක් රටවලට එන්නත් කිරීම සකී‍්‍රය කිරීමට තියන බාධකය තමයි එන්නත් ලබා ගැනීමට තියන නොහැකියාව. සල්ලි නිසා නොවෙයි. වෙලාවට කලින්ම අපි තීරණය කරලා තිබ්බා වර්ධක මාත‍්‍රාවක් ලබා දෙනවා කියලා. දැන් ජනතාවගේ වගකීම තමයි හැකි ඉක්මනින් මේ එනන්ත් ලබාගන්න එක. සංකූලතා කියන්නෙ එන්නත නොගැනීමට හේතුවක් නොවෙයි. එන්නත ගත්තම උණ හැදෙන්න, ගහපු තැන පොඞ්ඩක් ඉදිමෙන්න මේ එන්නත ශරීරයේ තුළ කි‍්‍රයාත්මක වෙලා ප‍්‍රතිශක්තිකරණය නිෂ්පාදනය වෙන නිසා. ඒක හේතුවක් කරගෙන එන්නත නොගන්නවා කියන්නෙ රෝගයට ගොදුරු වෙලා දැඩි සත්කාර ඒකකයට යන තරම් අමාරු වෙනව වෙන්න පුළුවන්. ඒ අවදානම ගන්න එපා.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment