බිලියන 11.5ක් පාඩු කරගෙන ගල්අඟුරු ගන්න හදනවා

161

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් – සංජීව ධම්මික

ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් එකසිය අනූනවයකට ගැනීමට පුළුවන්කම තිබිය දී ආණ්ඩුව ඩොලර් 240 බැගින් ගැනීමට සූදානම් වන්නේ යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මෙම මිල ගණන් යටතේ මෙටි්‍රක් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ අනුව සිදුවන පාඩුව රුපියල් බිලියන 11.5ක් බවත් ඒ මහතා සඳහන් කළේය. එම පාඩුව මැතිවරණයට යන වියදම වන බිලියන දහයටත් වඩා වැඩි යැයි ද හෙතෙම කීවේය. මෙම මිල ගණන් යටතේ වසරක් ගල්අඟුරු ගතහොත් රුපියල් බිලියන 26 ක් පාඩු වන බවද ඔහු කීවේය.

ලෝක වෙළෙඳ පොළේ සාමාන්‍යයෙන් ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් එකසිය හැටක් බවද කී ධම්මික මහතා නමුත් ලංකාවේ ටෙන්ඩර් හා මිල ගණන් කැඳවීමේ දී ඇති අවම මිල ඩොලර් 199 බව ද කීවේය.

ධම්මික මහතා මෙසේ ද සඳහන් කළේය.

ගල්අඟුරු ටෙන්ඩරයට සමාගම් හතරක් ඉදිරිපත් වුණා. ඒත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ සමාගම් දෙකක මිල ගණන් පමණයි. මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 199 බැගින් දිය හැකි බව කියූ සමාගමේ නම කැබිනට් එකට ඉදිරිපත් නොකර ඩොලර් 230 ට සහ 240 ට සපයනවා කියූ සමාගම්වල නම් පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා. දැන් මේ සමාගම් දෙකට කැබිනට් අනුමැතිය දෙන්න හදනවා. මෙටි්‍රක් ටොන් එකක් 199ට ලබා ගැනීමේ හැකියාව තිබියදී මෙවැනි වැඩි මිල ගණන් යටතේ ගන්නේ ඇයි කියලයි අපි ප්‍රශ්න කරන්නෙ. ඩොලර් 199 බැගින් දෙන්න පුළුවන් කියන සමාගම ලංකා කෝල් සමාගමේ (ආණ්ඩුව වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගන්නා සමාගම) සභාපතිවරයාට ද මෙම මිල ගණන් යටතේ ගල්අඟුරු සැපයිය හැකි බව ලිඛිතව දන්වා තිබෙනවා.

නමුත් ගන්න හදන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 230 හා 240 බැගින්. මේ ගණන් යටතේ ගත්තාම අපිට අවුරුද්දකට රුපියල් බිලියන 26 ක් අහිමි වෙනවා. මේ සල්ලි කාගෙහරි සාක්කුවට එනවද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.

අඩු මිලට නොදී වැඩි මිලට ටෙන්ඩරය දෙන්න හදන්නේ ඇයි කියලා කංචන ඇමැතිවරයා රටට හෙළි කළ යුතුයි. මොකද මේ පාඩුවලට වන්දි ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන් වන අපටයි. මේ ගන්න හදන මිල ගණන් විදුලිබල පනත අනුව සාධාරණයි කියලා කියන්න අපිට බෑ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment