කුඩාඔයේ ගසාගෙන ගිය යතුරුපැදිකරුගේ මළසිරුර හමුවේ

396

බලහරුව අළුත්වෙල කුඩාඔය හරහා ඇති කොසුවෙන් (සපත්තු පාලම) යතුරුපැදියකින් එගොඩවීමට යෑමේදී සැඩපහරට ගසාගෙන ගිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩ පරීක්ෂකවරයාගේ මෘතදේහය සිද්ධියවූ ස්ථානයට මීටර් 500 පමණ ඈතින් ඉවුරේ රැඳී තිබියදී ඉකුත් (24) වෙනිදා සවස කොස්ලන්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ බදුල්ල පාර නගර සභා නිවාස සංකීර්ණයේ පදිංචි පී. නිහාල් පෙරේරා (51) නැමති තිදරු පියෙකි.

ඔහු යතුරුපැදියෙන් යමින් සිටියදී ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කුඩාඔයේ ජලමට්ටම ඉහළ ගොස් සැඩපහරට හසුව ඉකුත් 22 වෙනි දින ඔහු ගසාගෙන ගොස් තිබුණ අතර යතුරුපැදිය පමණක් පසුදින හමුවී තිබිණි.

මියගිය අයගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විජේසිංහ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක රොෂාන් පතිරණ මහතා විසින් පවත්වන ලදි.

මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තීරණ කර තිබිණි.

කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඩී.ඩී. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන්වරුන් වන 41961 රත්නායක, 19218 අජිත් යන නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීය.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment