“චීන පොහොර නැවට ව්‍යාපාරිකයොත් දේශපාලකයොත් දෙගොල්ලොම සම්බන්ධයි”… වෛද්‍ය නලින්ද ජයතිස්ස

308

චීන කාබනික පොහොර නෞකාව පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කළද තවමත් කාබනික පොහොර රැගෙන ලංකාවට පැමිණියා යැයි පැවසෙන චීන නෞකාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. තවමත් කිසිවෙකුට දැකගත නොහැකි වූ මේ නෞකාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘දිවයන’ට විශේෂ හෙළිදරව්වක් කළේය.

ප‍්‍රශ්නය:- මේ අවස්ථාවල අපේ රටේ අලූත්ම මාතෘකාව වන චීන කාබනික පොහොර නැව. ඇත්තටම මොකක්ද මේ චීන නැවේ කතාව…..?

පිළිතුර:- ඇත්තටම කියනවා නම් මේ කාබනික පොහොර ගෙන්වීමේ ගිවිසුම අවුල් ජාලාවක්. සාමාන්‍යයෙන් වෙන රටකින් අපේ රටට කාබනික පොහොර ගෙන්වීමේදී සාම්පල් පරීක්‍ෂා කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. නමුත් නිසි ක‍්‍රමවේදවලින් බැහැරව මේ පොහොර ලංකාවට ගෙන්වීමට තමයි අදාළ පාර්ශ්ව උත්සාහ කළේ. රසායනික පොහොර ගෙන්වනවාට වඩා කාබනික පොහොර ගෙන්වන එක බරපතළ කාරණාවක්. කාබනික පොහොරවල ක්‍ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය ඉහළ නිසා අනිවාර්යෙන්ම තත්ත්ව පරීක්‍ෂා කළ යුතුයි.

ප‍්‍රශ්නය:- කෘෂිකර්ම අමාත්‍යාංශයේ ශාක නිරෝධායන අංශය මේ පොහොර සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ලබා දුන්නා නේද?

පිිළිතුර: පළවෙනි වාර්තාවේදී ලැබුණු ප‍්‍රතිඵලය පිළිගන්න බෑ කියලා දෙවැනි වතාවටත් සාම්පල් පරීක්‍ෂා කළ යුතුයි කීවා. අපි හිතුවේ ප‍්‍රතිඵල ලබාදෙන්න කලින් ඒවා වෙනස් කිරීමට ලක් කරයි කියලා. නමුත් ඔවුන්ට අවශ්‍ය විදිහට වාර්තා වෙනස් කරන්න බැරි නිසා දෙවැනි වාර්තාවත් පිළිගන්න බෑ කියලා ප‍්‍රතික්ෂේප කළා.

කනගාටුවට කාරණය මේ රටේ කෘෂිකර්ම ඇමැතිවරයාම තමන්ගේ ආයතනයේ ප‍්‍රතිඵල සැක සහිතයි කියලා කියනවා. ඒකෙදී ඇතිවන ගැටලූ ගැන කාටවත් අවබෝධයක් නෑ. මේ රටෙන් වෙනත් රටවලට කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමේදී ඉදිරියේදී ගැටලූ ඇතිවෙන්න වැඩි ඉඩක් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ශාක නිරෝධායන අංශය ලබාදෙන තීරණය වැරදියි කියලා කියන බලධාරීන් වෙනත් උපක‍්‍රමවලින් මේ කරන්න යන්නේ ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගන්න එක නෙමෙයිද?

ප‍්‍රශ්නය:- ඔබතුමා අදහස් කරන්නේ මේ චීන පොහොර නැව සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන හා ව්‍යාපාරික බලවේගවල සම්බන්ධතාවයක් තියෙනවා කියලද?

පිළිතුර:- පැහැදිළිවම ඔව්. එහෙම යම් අරමුණක් නැත්නම් චීන තානාපති කාර්යාලය මහජන බැංකුව ‘ බැලැක් ලිස්ට්’ කරන්නේ ඇයි?

අනික් කාරණය මේ කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ චෙලීනා කැපිටල් සමාගම. මේ සමාගම අයිති ලෝලිත අබේසිංහට. ඔහු අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සමීපතම ඥාතියෙක්. 2015ට කලින් චීන ව්‍යාපෘති ගණනාවක උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ලෝලිතට විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා පවා තියනවා. ජාත්‍යන්තර සංඥා 21ක් අතුරුදන් වෙලා නමත් වෙනස් කරගෙන චීන නැව කටයුතු කරන්නේ අනිවාර්යෙන්ම අපේ රටේ එක් පිරිසකගේ අනුදැනුම ඇතිව කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා.

රාජ්‍ය ආයතන නොතකා හරිමින් කෘෂි විශේෂඥයන්ගේ අදහස් පවා නොසලකා හරිමින් සිදුකරන විනාශයට මේ රටේ නායකයන් වගකිවයුතුයි.

සාකච්ඡා කළා – නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment