වැටුපෙන් බදු අයකිරීමේ තීරණයට සංශෝධනයක් පෙබරවාරි වැටුපට පෙර ඉල්ලයි

273

මාසික වැටුප මත (ඉපැයීම් මත) බදු අයකිරීමට රජය ගෙන ඇති තීරණයේ යම් සංශෝධනයක් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

මෙම සංශෝධනය පෙබරවාරි වැටුප ලැබීමට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කළ සාකච්ඡාවේදී දැනුම්දුන් බව එම සංගමයේ සභාපති පදුල රෝහණ මහතා ‘දිවයින’ට පැවසීය

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තුළ ප්‍රාදේශිය ලේකම්ගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා තනතුරු දරන 2300 ක් පමණ සාමාජිකයෝ සිටිති. මාසික වැටුප මත බදු අයකිරීමට ගෙන තිබෙන තීරණය අනුව ජනවාරි වැටුප ලැබෙන තෙක් කුමන ප්‍රමාණයකින් බදු අයකර තිබේද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත්, නව බදු ක්‍රමය යම් සංශෝධනයකට ලක්විය යුතු බවට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද මතයක් දරන බවත් රෝහණ මහතා කීය.

ජනවාරි මාසයේ බදු අයකර ගැනීම සිදුව ඇති නිසා නව සංශෝධනය පෙබරවාරි මස වැටුපට පෙර දන්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන්පසු සංගමයක් ලෙස ගතයුතු පියවර සම්බන්ධයෙන් තීරණය රටට දැනුම්දෙන බවත් ඒ මහතා පැවසීය. ඉහළ වැටුප් ලබන පිරිස ද බැංකු ණය ගෙවා ගනිමින් ජීවිකාව ගෙනයන අතරේ තවත් විශාල මුදලක් බදු වශයෙන් අයකිරීමට කටයුතු කළහොත් ඔවුන්ට ද ජීවත් විය නොහැකි තත්ත්වයක් උදාවන බව ද රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment