සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ යතිවරයාණෝ

208

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසු ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 80 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුව සිය ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමට වෙහෙස දරන අතරම රට ජාතිය ආගම සුරක්ෂිත කර ගැනීම උදෙසා ද පෙරමුණ ගෙන කටයුතු කළ බවට ඉතිහාසයෙහි සාධක හමුවේ. එම ශ්‍රේෂ්ඨ සඟ පරපුරෙන් පැවත ආ ඓතිහාසික වගකීම මැනවින් අවබෝධ කොට ගෙන ඒ සඳහා අප්‍රමාණ කැපකිරීමක් කළ ශ්‍රේෂ්ඨ යතිවරයෙකු ලෙස අපවත් වී වදාළ අපේ මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වාදිය හැකිය. 1942 මැයි මස 29 වන දින කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි හා පතිරගේ දොන් පීරිස් අප්පුහාමි යන දෙමාපියන්ට පුත්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක මාදුළුවාව ග්‍රාමයේදී උපත ලද උන්වහන්සේ මාදුළුවාව ග්‍රාමය මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ප්‍රචලිත කිරීමට තරම් භාග්‍යවන්ත වුහ.

.බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරාර්ථචර්යාව සිය ජීවන දර්ශනය කර ගත් උන්වහන්සේ පොදු ජන හිත සුව පිණිස මුළු දිවියම කැප කළහ. උන්වහන්සේ එනිසාම විවිධ තර්ජන ,දෝෂාරෝපණ ආදියට ද නිරන්තරයෙන්ම ලක් වුහ. ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම, සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය ඒවාට ලබා ගනිමින් ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිලය. කිසිදාක වරප්‍රසාද වෙනුවෙන් තමන් වහන්සේගේ ප්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් ප්‍රිය කළහ. කිව යුතු දෙය කිව යුත්තාට නොපැකිළව කීමත්, අව්‍යාජ නායකත්වයත්, වරප්‍රසාද වෙනුවෙන් අතරමගින් සටන් අත් නොහැරීමත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත්, සුවිශේෂී පෞරුෂත්වයත්, කුමන අවස්ථාවකදී වුව ද ශ්‍රමණ සාරුප්‍යයට හානි නොවන ලෙස ක්‍රියා කිරීමත් ඉහත කී ප්‍රසාදයට හේතු වුහ. ශාසනික වශයෙන් පිරිනැමෙන නායක පදවි කිසිවක් ලබා ගැනීමට අකැමති වූ උන්වහන්සේ කෙරෙහි රටේ පැවතියේ මහානායක මාහිමියන් වහන්සේ නමකටත් වඩා ගෞරවනීය හැඟීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ආණ්ඩු කරවන පාලකයන්ට නිසි මග පෙන්වාදීමත්, වැරදි මග යන පාලකයන්ට නිසි මග පෙන්වා තව දුරටත් වැරදි මගම යන්නේ නම් ඔවුන් පාලනයෙන් ඉවත් කොට නව පාලකයන් පත් කිරීමට මහජනතාවට නායකත්වය දීමත්, එම පාලකයන් ද වැරදි මග යන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමටත් පසුගිය දශක කිහිපය තුළ උන්වහන්සේට හැකි වුවේ කිසිදු පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට අමුතු හිතවත්කමක් හෝ පක්ෂපාතී බවක් නොවූ බැවිනි. උන්වහන්සේ හැමදාමත් සිටියේ පාලකයාගේ හෝ ආණ්ඩුවේ පැත්තේ නොව මහජනයාගේ පැත්තේය. එබැවින් සමහරු උන්වහන්සේව ප්‍රිය කළහ. තවත් සමහරු උන්වහන්සේ අප්‍රිය කළහ. කලක් රාජ්‍ය මාධ්‍ය උන්වහන්සේට තහනම් විය. මේ කිසිවක් උන්වහන්සේගේ ප්‍රතිපත්ති හෝ සාධාරණ විවේචන නැවැත්වීමට අසමත් වුහ. අනෙක් විශේෂත්වය නම් උන්වහන්සේ ප්‍රමුඛතාව දුන්නේ චරිතවලට නොව ප්‍රතිපත්තිවලටය.

දුගී දුප්පත් අසරණ ජනතාවට නිතර පිහිට වූ උන්වහන්සේ යුද සමයේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මෙන්ම සුනාමි අවස්ථාවෙහිදී එම අසරණ වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කිරීම ආදී පහසුකම් සපයා දීමෙන් ද ඉමහත් මෙහෙවරක් ඉටු කළහ. සිංහල ජාතියත්, බුදු දහමත් වෙනුවෙන් ඉටු විය යුතු සේවාවන් අකුරටම ඉටු කළ උන්වහන්සේ සියලු රටවාසීන්ගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු තැන්හි ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව නිර්භයව පෙනී සිටියහ.

ධර්ම දේශකයෙකු වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු උන්වහන්සේ තරම් මෑත යුගයෙහි ධර්මදේශනා කළ වෙනත් ධර්ම දේශකයෙකු නැති තරම්ය. උන්වහන්සේ සතු වූ ධර්මඥානයත්, ආරෝහ පරිනාහ දේහ විලාශයත්, වෙනත් කිසිවෙකුට හිමි නොවූ අපුරු කටහඬත්, සුමිහිරි භාෂා විලාශයත් ප්‍රකට ධර්ම දේශකයෙකු වීමට උන්වහන්සේට ශක්තියක් වුහ. තුන් නිකායටම අයත් මහා සංඝයා වහන්සේ තමන්ගේ උත්සවයකට, දානෙට, බණට, පිරිතට උන්වහන්සේ වැඩමවා ගැනීමට මහත් කැමැත්තක් දැක්වූහ. එවන් අවස්ථාවලදී දහස් නමක් වැඩ සිටියත් උන්වහන්සේටම අනුශාසනාවක් පැවැත්වීමට ආරාධනා ලැබුණේ තුන් නිකායේම හැම භික්ෂුවක්ම උන්වහන්සේගේ දේශනා කෞශල්‍යය කෙරෙහි පැවති කැමැත්ත නිසාමය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථ චර්යාව සිය ජීවිතයේ ප්‍රමුඛතම වගකීම හා යුතුකම කර ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වන දින අපවත් වීමෙන් අප රටට, සසුනට ඇති වූ අඩුව තවත් දශක කිහිපයකටවත් සම්පුර්ණ වේදෝයි සිතිය නොහැකිය. උන්වහන්සේගේ අසූවන ජන්ම දිනය යෙදෙන මෙම අවස්ථාවේ උන්වහන්සේ නිරතුරුව බලාපොරොත්තු වූ යුක්තිය සාධාරණය සැමට උරුම වන දේශයක් නිර්මාණය කිරීමට අප කැප වන්නෙමු නම් එය උන්වහන්සේට දක්වන උසස්ම ගෞරවය වනු ඇත. ඒ වෙනුවෙන් ගිහි පැවිදි අප කවුරුත් එකාවන්ව කැප වෙමු. අපේ මාදුළුවාවේ සෝභිත මාහිමියෝ නිවනින් සැනසෙත්වා.

අප නාහිමිපාණන් වහන්සේගේ 80 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමේ උත්සව සභාවක් 2022.05.29 වන දින සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ජස්මින් ශාලාවේදී පැවැත්වීමට මාදුළුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ පදනම විසින් සංවිධානය කොට ඇත. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ මුලාසනයෙන් හා ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාවෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවී ජයවර්ධන පිළිගැනීමේ කතාව කරන අතර පුර්විකාව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මහියංගණයේ පඤ්ඤානන්ද හිමි විසින් පවත්වනු ලබයි. කෙටි දෙසුම් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් හා හිටපු කතානායක කරු ජයසුරිය විසින් සිදු කිරීමට නියමිතය.

මහියංගණයේ පඤ්ඤානන්ද හිමි
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති හා කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment