ඇමැති නිලධාරී නියෝගයකින් කැනඩා ජාවාරමේ පැමිණිලි භාර ගන්න එපා කියලා

755

කැනඩාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ සිද්ධියක පැමිණිලි භාර නොගන්නා ලෙසට ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු කළ නියෝගයක් නිසා ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ ඊයේ (01 වැනිදා) දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

මෙම විදේශ රැකියා ජාවාරමට හසු වූ තිස්දෙනකුගෙන් පිරිසක් කාර්යාංශයේ විමර්ශන අංශයේ පැමිණිල්ල සටහන් කිරීමට යෑමේදී කාර්යාංශයට අනුයුක්තව සිටින බව කියන අදාළ පුද්ගලයා නියෝග කර ඇත්තේ අදාළ පැමිණිලි භාර නොගන්නා ලෙස යැයි කාර්යාංශ නිලධාරියෙක් ‘දිවයිනට’ පැවසීය.

කැනඩා රැකියා ජාවාරමට හසුවූ පිරිස කාර්යාංශය පැමිණිලි භාර නොගැනීම නිසා දෙපාර්ශවය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇත.

කැනඩාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී එක් අයකුගෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් අයකර ගෙන ඇතැයි පැවසේ. එම ජාවාරමට හසු වූ පිරිස තිහකට වැඩි බවද කාර්යාංශ නිලධාරියා සඳහන් කළේය. කාර්යාංශ විමර්ශන ඒකකය මෙම පැමිණිලි භාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිසි යන බව පවසා පිරිස පිටව ගොස් ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment