අද ඩනේඩින් හිදී දිනුවොත් 2 – 0 ක් වෙයි

130

ක්‍රිකට් ක්‍රීඩාවේ කුමන ආකාරයේ හෝ තරගාවලි ජයක් සොයමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ ඩනේඩින් හිදී සත්කාරක නවසීලන්තයට එරෙහිව අද (05 වැනිදා) දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගයට මුහුණදීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.6.30 ට තරගය ආරම්භ වීමට නියමිත අතර පළමු තරගය ජයග්‍රහණය කර සිටින ශ්‍රී ලංකාව අද මෙම තරගය ජය ගතහොත් නවසීලන්තයේ දී ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය බවට එය පත් වනු ඇත.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි තුනක සංචාරයක් සඳහා නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් සහ එක්දින තරගාවලි ද්විත්වය ම පරාජය වූ අතර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව මෙන්ම එක් දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට සෘජුව ම සම්බන්ධ වීමට තිබූ අවස්ථාවන් ද මෙම පරාජයන් හේතුවෙන් අහිමි වී ගියේය.

එවැනි අවාසනාවන්ත පරාජයන් හමුවේ ඕක්ලන්ඩ් හිදී පසුගිය 02 වැනිදා ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය මහත් ආශිර්වාදයක් විය.

තරගය ලකුණු සම වීමෙන් පසුව සුපිරි පන්දු වාරයේ දී ලද විශිෂ්ට ජයග්‍රහණයට එදා මග පෙන්වූ වමත් කසකරුවන් වන චරිත් අසලංක සහ කලකට පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ද ශ්‍රී ලංකාවට අද තරඟය සඳහා ද ඇති ප්‍රධාන බලාපොරොත්තු වේ.

එසේම සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ මෙන්ම පා දඟ පන්දු යවන වනිඳු හසරංග ද ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවති.

ආරම්භක පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, නායක දසුන් ශානක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න සහ සෙසු වේගපන්දු යවන්නෝ ද නවසීලන්තයට මෙම තරගය ජයගෙන තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමට ගෙන ඒමට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක ජයග්‍රහණය නවසීලන්තය සතු වන අතර ශ්‍රී ලංකාව පසුගිය 02 වැනිදා ලැබුවේ ඔවුන් ට එරෙහි 08 වැනි ජයග්‍රහණයයි. තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විස්සයි විස්ස තරගාවලියක දී මේ හමුවෙන්නේ වසර 4කට පසුව වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ දී අවසන් වරට තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියකට මුහුණ දුන් අතර එහි දී නවසීලන්තය 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වේ.

එබැවින් නවසීලන්තය එදා ශ්‍රී ලංකාවේ දී කළ දෙයට පිළිතුරු දීමට මේ ලැබී තිබෙන්නේ කදිම අවස්ථාවකි.

එසේම කණ්ඩායම් දෙක මීට පෙර නවසීලන්තයේ දී අවසන් වරට 2019 වසරේ දී විස්සයි විස්ස තරගයකින් පමණක් සමන්විත වූ තරගාවලියකට සහභාගි වී ඇති අතර එහි ජයග්‍රහණයද නවසීලන්තය සතු කරගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment