පවුල් දහසකට බලපාන ව්‍යාපෘතියකට එරෙහිව ජනතා සත්‍යග්‍රහයක්

‘අත්හැර දමන ලද ජනශූන්‍ය ප්‍රදේශයක් වේ.’ එම වචන කිහිපය යළි යළිත් මනස තුළ නින්නාද දෙන මොහොතක, අප සිටියේ කිළිනොච්චියේ පොන්නාවෙලි ගම්මානයේය. මේ නොවැම්බර් 10 වැනිදාය. මේ ගම්මානයේ මිනිසුන්ගේ ඉරණම තීන්දු කරන චාරිකාවක සියවැනි දිනයයි. ගම්වාසීන් 500කට වැඩි පිරිසක් පා ගමනින් යන්නේ, සටන් පාඨ ගයමිනි.

මේ පාගමන ගැනත්, එයට පදනම් වූ විරෝධය ගැනත් පොන්නාවෙලි ප්‍රදේශයේ ගොවි නායකයකු වන මහේන්ද්‍රරාසා මහතා ගැටලුව විස්තර කළේ මෙලෙසය.

‘පොන්නාවෙලි ප්‍රදේශයේ හුණු කැණීමට පටන් අරන් තියෙනවා. ගොවි ජනතාවට විදියට අපට එහි බලපෑම් එල්ලවෙලා තියෙනවා. ජනතාව හරිහැටි දැනුවත් නොකර, දේශපාලනඥයන්ගේ වුවමනාවටයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. අපි එයට එරෙහිව මේ වෙද්දී සත්‍යග්‍රහයක් ආරම්භ කරලා තියෙනවා.’

ගොවීන්, ධීවරයන් සහ සත්ව පාලනයේ යෙදෙන සාමාන්‍ය පවුල් රැසකට මෙලෙස බලපෑම් එල්ල කර ඇත්තේ ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනයෙන් සියයට 30ක් වෙනුවෙන් මූලික අමුද්‍රව්‍ය සැපයීමේ අරමුණින් ආරම්භ කිරීමට නියමිත හුණුගල් කැණීමේ ව්‍යාපෘතියකි. බැලූ බැල්මට මෙවැනි ව්‍යාපෘතියකට එරෙහිව ජනතාව විරෝධයේ යෙදෙන්නේ නම්, එය සලකන්නේ ‘සංවර්ධනයට එරෙහි වීමක්’ ලෙසය. එහෙත් මේ කතාවේ සමස්තය දැනගන්නට නම්, අප සම්පූර්ණ කතාවට ඇහුම්කන් දිය යුතුය.

උතුරේ පොදුජන අරගල

පොන්නාවෙලි ජනතාවගේ අරගලය වාගේම උතුරේ ගොවීන් මුහුණදෙන ධීවර ගැටලු, ගොවි ගැටලු, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු රාශියකි. එහෙත්, උතුරේ දේශපාලනය බොහෝවිට මූලිකම අවධානය යොමු කරන්නේ ජනවාර්ගික ගැටලුව වෙතය. ඔවුන්ට තමන්ගේ ආරෙන් තමන්ගේ දේශපාලනය කිරීමට ඇති අයිතිය පූර්ණ ලෙස පිළිගන්නා අතරම, දකුණේ ජනතාව වැඩි වැඩියෙන් කළ යුතු දෙයක් වන්නේ උතුරේ ජනතාව මුහුණදෙන මෙවැනි ගැටලු දෙසත් සංවේදීව බැලීමය.

අප මේ සටහන ලියන මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින්නේ උතුරේ සංචාරයකය. ඒ මොහොතේ පොන්නාවෙලි ගම්වාසීන් පිරිසක් කොළඹට පැමිණ සිටියේ, තමන්ගේ ගැටලු රැගෙනය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකවද එම ගමනේදී ගම්වාසීන් හමුවී තිබුණි.

දෙසැම්බර් 10 වැනිදා ඔවුන් කොළඹ ජාතික පුස්තකාලයට ඇවිත් තිබුණේ වෙනස්ම ආකාරයේ මානව හිමිකම් දින සමරුමකටය. ඒ මානව හිමිකම් දින සමරුව කොළඹ මධ්‍යම පාන්තිකයන්ගේ තෝතැන්නක් වූ මානව හිමිකම් විෂය මෙරට විවිධාකාර ව්‍යාපෘති හේතුවෙන් අයිතිවාසිකම් කප්පාදු වූවන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමේ උත්සාහයක් විය. එම සමරුවට පැමිණි විවිධ ගැටලුවලට මුහුණ දුන් කණ්ඩායම් අතර පොන්නාවෙලි ගම්වාසීන්ද විය. එහිදී ගම්වාසීන් නියෝජනය කරමින් තරුණයකු වූ චාල්ස් අදහස් දැක්වීමක්ද කළේය.

දැන් ඔවුන් මුහුණ දී ඇති ගැටලුව වන්නේ, තමන්ගේ ගොවිතැනට ව්‍යාපෘතියෙන් වෙන හානියයි. උක්ත ව්‍යාපෘතියේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පමණක් කැපූ අඩි 40 පමණ ගැඹුරු වළවල් නිසා ගොවිබිම්වලට ලුණු වතුර ගැලීමත්, එමගින් අස්වනු විනාශ වීමත් සිදුව ඇත. පර්යේෂණවලින් පමණක් එම බලපෑම සිදු වන්නේ නම්, ව්‍යාපෘතිය ආරම්භ වූ පසු කුමක් සිදුවන්නේ දැයි ඔවුන් ඉන්නේ සැකයෙනි.

උතුරට ගිය ජනාධිපතිවරයා අප කලින් සඳහන් කළ සත්‍යග්‍රහය ගැන කරුණු නොදන්නවා විය නොහැක.

පොන්නාවෙලි ග්‍රාමයේ ඇති පුංචි මංසන්ධියක මේ සත්‍යග්‍රහය සිදු කෙරෙමින් පවතී. මේ ගමට යන පාර හරිහැටි පිළිසකර නොකළ, දුෂ්කර මාර්ගයකි. බස්රථ කිහිපයක් ගමට ආවත් ගියත්, මේ ගම්මානය තිබෙන්නේ තරමක් ජනාවාසවලින් ඈත්වය. එහෙත් ගම්වාසීන්ට එය එතරම්ම ගැටලුවක් නොවේ. තමන්ගේ නිදහසේ ජීවත් වෙන්නට ඔවුන් කැමැත්තක් දක්වයි.

පෙර කී සත්‍යග්‍රහයට දින සියය පසු වුණේ පසුගිය නොවැම්බර් 10 වැනිදාය. අප එහි ගියේ එදාය. අද වන විට දින 150 ඉක්මවා සත්‍යග්‍රහය ක්‍රියාත්මක වේ. ඔය කියන දින 100 පිරුණු දිනයේ ගම්මාන පහක 500කට වැඩි ගම්වාසීන් පා ගමනකට සහභාගි වුණේ, තමන්ගේ මූලිකම අයිතීන් රැකගැනීමේ අපේක්ෂාවෙනි. තරුණ තරුණියන්, දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු බොහෝ දෙනකු හඬ නඟමින් පා ගමනින් ගියේ, පොන්නාවෙලිය රැකගන්නටය.

මේ කතාව කීමේ පහසුවට අප පොන්නාවෙලි ගම්මානයට මුල් තැන දුන්නත්, මෙම ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වෙන ග්‍රාමයන් පහකි. පොන්නාවෙලි, වේරාවිල්, වලාප්පාඩු, කිරාන්චි සහ පාලාවි යන ගම්මාන පහම එහි බලපෑමට ලක්වෙන අතර, ඒ ගම්මාන පහේම ජනතාව පාරට බැසීමට සූදානමින් සිටී. මෙය අයත් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටය. යාපනය අර්ධද්වීපය ලංකා සිතියමේ හිස ලෙස සැලකුවොත්, පූනගරි ඇත්තේ දකුණු උරහිසේය.

මේ ගම්මාන පහේ 1600කට වැඩි පවුල් සංඛ්‍යාවක් සිටී. අති බහුතරයකගේ ජීවනාලිය වන්නේ ගොවිතැන, සත්ව පාලනය හෝ ධීවර කර්මාන්තයයි. වී මෙන්ම පොල් වගාව පවා මෙම ප්‍රදේශයේ පවතී. මේ කර්මාන්තවලට උක්ත හුණුගල් කැණීම බලපෑමට නියමිතය. දැනටමත් බලපා ඇත.

ව්‍යාපෘතියේ පසුබිම

අපි මේ ව්‍යාපෘතියට අදාළව සකස් කර ඇති ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කළෙමු. මේ ව්‍යාපෘතිය සිදු කරන්නන්ගේ පැත්තය.

දැනටමත් මෙම සමාගම සතුව වර්ග කිලෝමීටර් 12ක වපසරියක හුණුගල් කැණීම සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවසර ලැබී තිබේ. සිමෙන්ති නිෂ්පාදනයේදී සියයට 80ක් අවශ්‍ය වන්නේ හුණුගල්ය.

ඔවුන්ට හෙක්ටෙයාර් 1200ක් හෙවත් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාපෘතිය සඳහා ඉඩම් අවශ්‍ය වේ. එහිදී සිමෙන්ති කර්මාන්තශාලාවට හෙක්ටෙයාර් 200ක්, කැණීම් කටයුතු වෙනුවෙන් හෙක්ටෙයාර 600ක් සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් හෙක්ටෙයාර් 400ක් ලෙස එය සමන්විත වේ.

මෙම ව්‍යාපෘති වාර්තාව අනුව අදියර දෙකකින් යුතු සංවර්ධන වැඩසටහනක් තිබේ. පළමු අදියර වසර තුනකි. ඒ සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරනු ලබයි. එහිදී මූලිකව හුණුගල් කැණීම සඳහා අවශ්‍ය ඉදිකිරීම් සිදු කෙරේ. රැකියා 900ක් එයින් උත්පාදනය කරන බව ඔවුන් සිය ව්‍යාපෘති යෝජනාවල සඳහන් කර තිබේ.

ඉන් පසු එය ‘ක්ලින්කර්’ හෙවත් කීලඟුරු දක්වා නිස්සාරණය කරගැනීම සඳහාද යන්ත්‍රාගාර පහසුකම් වසර 4.6 කාලසීමාවක් ඇතුළත ඉදිකිරීමට උක්ත ව්‍යාපෘති වාර්තාව අනුව දෙවැනි අදියර ලෙස සැලසුම් කර තිබේ. එම දෙවැනි අදියර ඩොලර් මිලියන 400ක ව්‍යාපෘතියකි. සිමෙන්ති නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ මේ ක්ලින්කර්ය. ව්‍යාපෘතියට ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරන අතර, ජාතික සිමෙන්ති අවශ්‍යතාවෙන් සියයට 30ක් දක්වා ක්ලින්කර් සැපයීම ව්‍යාපෘතියේ අරමුණයි. දෙවැනි අදියරෙන් රැකියා 3100ක් උත්පාදනය කරන බව ඔවුන් කියයි. ඒ අනුව රැකියා අවස්ථා 4000ක පොරොන්දුව ඔවුන් ලබා දෙයි.

ඊට අමතරව වාර්ෂිකව ඩොලර් මිලියන 80 විදේශ විනිමය ඉතිරි කිරීමක් ගැන පොරොන්දුවක් ඔවුන් ලබා දෙන්නේ ආනයන වියදම අඩු කිරීමෙන් සිදු වන ඉතිරිය ලෙසය. එහෙත් ඒ ගණනය කිරීම පොන්නාවෙලි කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හා සත්ව කර්මාන්තය කඩාවැටුණහොත්, ජන ජීවිතය කඩා වැටුණහොත් සිදුවන අතුරු බලපෑම තක්සේරු නොකරය.

අප සඳහන් කළ හෙක්ටෙයාර් 400ක තුන්වැනි ඉඩම් කොටස සමන්විත වන බව කියන්නේ රෝහලක්, පාසලක්, නිවාස සංකීර්ණයක්, ජල පහසුකම්, ක්‍රීඩා පහසුකම් සහ ප්‍රජා ශාලාවලින්ය. දැවැන්ත සිමෙන්ති ගොඩනැඟිලිවලින් පිරි ‘සංවර්ධනයක්’ පතන අයට මෙය ‘සුභ පුවතක්’ වනු ඇත.

අප මේ සටහන ආරම්භයේදී කී, අප හිසට වධ දුන් බිහිසුණු වාක්‍යය මෙම ව්‍යාපෘති වාර්තාවේ හයවැනි පිටුවේ ඇත්තේය.

‘හඳුනාගත් ව්‍යාපෘති ප්‍රදේශය පොදුවේ අත්හැර දමන ලද ජනශූන්‍ය ප්‍රදේශයක් වේ.’ මෙය හුදු වාක්‍යයක් නොවේ. ව්‍යාපෘතිය සැලසුම් කරන්නන්ගේ දෘෂ්ඨිය එහි ගැබ් වී ඇත. ඔවුන් මේ ඉඩම් දෙස බලන්නේ, එහි සිටින මිනිසුන් ගැන තඹේකට නොතකමින් බව එම වාක්‍යය කියා පායි.

කෙසේ වෙතත් ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තාවෙන් පොරොන්දු වන්නේ ‘හරිත’ සිමෙන්ති නිෂ්පාදනයක් සිදු කරන බවය. අපද්‍රව්‍ය බැහැර කිරීමක් නොමැති බවත්, දූවිලි සහ අනෙකුත් අතුරු බලපෑම් අවම වන ආකාරයට කටයුතු කරන බවත් ඔවුන් පොරොන්දු වී සිටී. නමුත්, ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි හුණුගල් කැණීම් සහ සිමෙන්ති නිෂ්පාදන කටයුතු සිදුකරන ප්‍රදේශවල අප දකින්නේ දූවිල්ල සහ පරිසර සංහාරයයි. අනෙක ව්‍යාපෘතිය ආරම්භ වෙන්නටත් පෙර වගාබිම්වලට බලපෑම් එල්ල වී තිබේ.

හැංගි හැංගි වෙස් බැඳීම

පොන්නාවෙලියේ අපි ජීවත් වෙනවා

එහෙත්, අපට මෙම ව්‍යාපෘතියේ පෙනෙන්නට ඇති තදබල ගැටලුව, ව්‍යාපෘතිය ජනතාවගෙන් වහන් කරමින් සිදු කළ ආකාරයයි. සිමෙන්ති නිෂ්පාදන සමාගමේ වාර්තාවම කියන ආකාරයට 2012 සිට මේ ගම්මානයේ සිමෙන්ති නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, ජල සම්පත් මණ්ඩලය ඇතුළු ආයතන මෙම ඉදිකිරීම සඳහා පර්යේෂණ කටයුතු කිරීමට සිමෙන්ති සමාගමට දායක වී ඇත. එහෙත් ගම්වාසීන් හිතන්නේ කුමක්දැයි නිකමටවත් විමසා නැත.

භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් වර්ග කිලෝමීටර් 12ක කැණීම් සහතිකයක් 2021 ජුලි මාසයේදී ලබා දී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරියේ අවසර ලබාගැනීමටත් කටයුතු කර ඇත.

අපට කීවේ නැහැ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු මෙයට අනුබද්ධ රාජ්‍ය ආයතන වෙත මෙම ගම්වාසීන් දැඩි චෝදනා එල්ල කරයි.

‘2016 දී තමයි අපි මුලින්ම මෙම ව්‍යාපෘතිය ගැන දැනගත්තේ. පොන්නාවෙලියට සහ කිරාන්චිවලට පිරිසක් ඇවිල්ලා මොනවහරි මනිනවා අපි දැක්කා. එතකොට රජයේ ඉඩම් වගේම මිනිස්සුන්ට අයිති ඉඩම්වල පවා මැනීම් කළා. අපි ගිහින් ඇහුවා මොනවාද ඔය කරන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට එතැනින් ඉවත් වෙලා ගියා, විස්තර නොකියාම. ඊට පස්සේ ඇවිත් අපේ තුන්දෙනෙක්ව පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගැනීමට අපි කරපු වරද, අපේ ගමේ ඇවිල්ලා මොනවාද කරන්නේ කියලා ප්‍රශ්න කරපු එකයි. ඒ විදියට තමයි මේ ගමට ව්‍යාපෘතිය මුලින්ම ආවේ. හැබැයි එදා වුණත් අපට හුණුගල් කණින, සිමෙන්ති හදන කර්මාන්තශාලාවක් ගැන කිසිම දැනුම්දීමක් කළේ නැහැ. මුලින්ම මේ ගම්මානවල ජනතාව එක් තැනකට කැඳවලා
රැස්වීමක් තියලා මෙහෙම ව්‍යාපෘතියක් කරනවා කියලා හෝ අධ්‍යයනයක් යනවා කියලා කිසිම දැනුම්දීමක් කළේ නැහැ.’ ව්‍යාපෘතිය ගමට ඇවිත් තිබුණේ ඒ ආකාරයටය.

2012 සිට ශක්‍යතා අධ්‍යයන සිදුකොට, 2021 දී අවසරපත් ලබාගෙන සියල්ල අවසන් වූ පසු 2023 සැප්තැම්බර් 26 වැනිදා ඔවුන්ට ව්‍යාපෘතියේ විස්තර දැනුම් දී තිබුණි. ඒ වෙද්දී වෙනත් ආකාරවලින් මෙවැනි ව්‍යාපෘතියක් ගැන ගම්වාසීන්ට දැනගන්නට ලැබී තිබුණත්, නිල වශයෙන් දැනුම්දීම කරන මොහොත වෙද්දී ගම්වාසීන්ට තමන්ගේ ගම් ප්‍රදේශවල ඉරණම ගැන කිසිදු තීන්දුවක් ගැනීමට අයිතියක් තිබුණේ නැත. සියල්ල තීන්දු කර හමාරය.

‘සිමෙන්ති සමාගමේ අයත්, ඇමැතිවරයාත් නිලධාරීනුත් ඒ රැස්වීමේදී තමයි මුල් වතාවට මෙහෙම ව්‍යාපෘතියක් ගැන කීවේ. අපි ඒකට විරුද්ධවෙලා නැගිටලා ආවා. ඒත්, තවමත් අපේ විරෝධය නොතකා ව්‍යාපෘතිය ඉදිරියට යනවා.’

පසුගිය කාලසීමාව තිස්සේ, මෙම ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ කරුණු මතුකිරීම්, දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම්වල කරුණු මතුකිරීම් මෙන්ම ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාද පැවැත්වීය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මේ පිළිබඳ ප්‍රශ්න කර තිබුණි.

අප සමග අදහස් දැක්වූ එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ තිබුණු දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී අමාත්‍ය දේවානන්දා හැර මෙම උතුරේ සියලු දේශපාලන පක්ෂ මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කළ බවයි. එහෙත්, ව්‍යාපෘතිය නොනවත්වා ඉදිරියට කරගෙන යන බව අමාත්‍යවරයා ඒකමතිකව කියා තිබුණි.

ගම්වාසීන් චෝදනා කරන්නේ 2023 දී මාර්ගය පිළිසකර කිරීම ආරම්භ කර තිබුණත්, තමන්ගේ විරෝධතා ආරම්භ කළ පසු එම ව්‍යාපෘතියත් නැවැත්වූ බවය. එය පළිගැනීමක් ලෙස ඔවුන් කියයි.

ගමට වෙන බලපෑම

‘කෘෂිකාර්මික ඉඩම් අක්කර දහස් ගණනක් තිබෙනවා. එළදෙනුන් 20000ක් විතර මේ ප්‍රදේශවල ඉන්නවා. එළුවන් 1000ක් විතර ඉන්නවා.’ එසේ අප සමග කතා කරන්නට පටන් ගත්තේ භාස්කරන් අයියාය. පසුගිය සතියේ කොළඹ ආ පිරිස අතර ඔහුත් සිටී. ඔහු විශාල උනන්දුවක් දක්වන්නේ උතුරේත්, දකුණේත් සියලු කණ්ඩායම්වලට භේද නැතිව තමන්ගේ ප්‍රශ්නය කියන්නටය.

ඔහු කී ආකාරයට මේ ගම්මානයේ ඇති පොල්වල සිට මත්ස්‍ය නිෂ්පාදන දක්වා සියලු දේ ජාතික ආර්ථිකයට උපරිමයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාර කිහිපයකි. පූනගරි කියන්නේ ‘සුපිරි ආහාර නිෂ්පාදනාගාරයකි’. මේ ආහාර නිෂ්පාදනය කාර්යක්ෂම කරමින් ගැමියා දිරිගන්වන්නට සමූපකාර ක්‍රම, ආහාර බෙදාහැරීම් ජාල මෙන්ම අපනයනය දක්වා කටයුතු ශක්තිමත් කරන්නේ නම් ඉතා පහසුවෙන් ඩොලර් මිලියන ගණනක් වාර්ෂිකව උත්පාදනය කරන්නටත්, රට ඇතුළේ ආහාර නිෂ්පාදනය කරන්නටත් හැකි බව අප සමග කීවේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සහ ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අනුබද්ධ විෂය දන්නා උදවියය.

ප්‍රධාන වශයෙන් අපනයන කළ හැකි මත්ස්‍ය නිෂ්පාදන ගණනාවක් තිබේ. පොල් නිෂ්පාදනත් අපනයන කළ හැක. මස් සහ කෘෂිකාර්මික නිෂ්පාදන ආහාර වෙනුවෙන් යොදාගත හැක. සිමෙන්ති ආනයනය අඩු කරන්නට කියා පොන්නාවෙලිය විනාශ කොට, මිනිස්සු කන හාල් ටික ආනයනය කරන රටක් බවට පත් වීම සුපිරි ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ.

‘අපට ලොකු දේවල් ඕනෑ නැහැ. අපි යුද්ධය කාලයේ පවා පාඩුවේ හිටියා. මේ ගමේ සෑහෙන සම්පත් තියෙනවා. මේක හරියට කළමනාකරණය කරන වැඩපිළිවෙළක් ආවොත් ඒකම ලොකු දෙයක්.’ කියා භාස්කරන් අයියා විස්තර කරයි.

‘මේ ගම හරහා තමයි ඉස්සර යාපනයට පාර තිබුණේ. යුද්ධය කාලයේ පවා මේ ප්‍රදේශවල දරුණුවට යුද්ධය තිබුණේ නෑ. අපි අවස්ථාවකදී දෙකකදී ගම් අත්හැරලා ගියත් වැඩි කාලයක් ගොවිතැන් කරගෙන පාඩුවේ හිටියා. ඒ කාලෙත් අපි කළේ මිනිස්සුන්ට ආහාර නිෂ්පාදනය කරපු එක. මේ ගම්මානවලට පුරාණ ඉතිහාසයක් තියෙනවා. අපි හැමදාම අපේ පාඩුවේ හිටපු මිනිස්සු.’ ගම්වාසීහු වැඩිදුරටත් එසේ කියති.

පවුල් දහසකට වැඩි සංඛ්‍යාවක ජනතාව, තමන්ගේ ඉරණම සීත කාමරවල සිට තීන්දු කරන දේශපාලන නායකයන්, ව්‍යාපාරික බලවතුන්, නිලධාරීන් කුමක් කරනු ඇතිදැයි බියෙන්, සැකයෙන්, අවිනිශ්චිතතාවයෙන් පෙළෙමින් සිටී. මේ මෙරට සංවර්ධනයේ කතාව එක් ගමක කතාවක් තුළින් ප්‍රක්ෂේපණය වීමකි. බොහෝ ව්‍යාපෘති මේ වාගේය. ජනතාව සමග සංවාදයක් නැත. මිනිසුන්ගේ ජීවිතවලට බලපාන තීන්දු, ඒ මිනිසුන්ගෙන් නොවිමසාම ගනිමින් සිටී.

තමන්ගේ පුද්ගලික ජීවිත, ගොවිතැන ඇතුළු සියලු දේ සැලසුම් කිරීමට ඔවුනට නොහැක්කේ, තමන්ට කිසිවක් නොකියාම පොන්නාවෙලියට අලුත් ඉරණම් කතාවක් ලියැවී ඇති නිසාය. ඒ කතාවේ තමන් පංගුකාරයන් නොවන නිසාය. ඒ කතාව තුළ තමන්ට හිමි කොතැනද කියාවත් නොදන්නා නිසාය. ඒ කතාව ලියන අය අනුව තමන් ජීවත්වන ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් නම්, ඔවුන් අදෘෂ්‍යමාන නම් මේ ජනතාව පාරට බැස හඬනඟනවා හැර වෙන විකල්පයක් පෙනෙන්නට නැත.

එවැනි මොහොතක පොන්නාවෙලියෙන් සමුගන්නා මොහොතේ භාස්කරන් අයියා ඉල්ලුවේ, ඊළඟ පාර දවසක් නැවතී විවේක අරන් යන්නට පොන්නාවෙලි එන්න කියාය. ‘අපි අරගල විතරක් නෙවෙයි කරන්නෙ. විනෝද වෙන්නත් පුළුවන්. මෙහේ මුහුද හරි ලස්සනයි. මුහුදු යන්න පුළුවන්. අලුත් මාළු කන්න පුළුවන්.’ ඔහු කියයි. ඒ සමගම මේ මුහුදත්, ගම්මානයත් නුදුරේදීම සමාගමක න්‍යායපත්‍රයට යට වෙන බව අපට සිහිපත් වේ.

ඉතින් මිතුරනි, ඔබට කල්පනා කරන්නට එක් දෙයක් අපි යෝජනා කරන්නෙමු. මේ මිනිසුන් සත්‍යග්‍රහ කරමින්, පාගමන් යමින්, කොළඹ එමින් උත්සාහ කරන්නේ පරම්පරා ගණනක් තිස්සේ තමන් ජීවත් වූ ගම්මානයේ, ‘අපි ජීවත්වෙනවා’ කියා හඬනඟා කියන්නටය. රාජ්‍යයට ඔවුන් ජීවත්වෙන බවවත් අදාළ නැත.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment