SPC ලොක්කා ඉල්ලා අස්වෙයි – ඇමැති කියූ නිසා අස්වුණා

469

මම නිර්දෝෂියි – හිටපු සභාපති කට අරියි

වැඩි මිල ගණන්වලට ඖෂධ මිලදී ගැනීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම ඇතුළු සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වී තිබෙන මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) සභාපති ඉංජිනේරු සරත් ලියනගේ මහතා හදිසියේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

සිව් වතාවක් මෙම සංස්ථාවේ සභාපති තනතුරට පත්වූ ඒ මහතා ඉල්ලා අස්වී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා කළ දැනුම්දීමකට පසුවය.

ඉන්සියුලින්, ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම් මෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති, අදාළ ගනුදෙනුවලට සම්බන්ධ සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් හා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ඉල්ලා සිටින මොහොතක ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීම ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මේ අතර ඖෂධ සංස්ථා නව සභාපති ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇත. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම පත්කිරීම සිදුකර තිබේ.

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති සරත් ලියනගේ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තමාව පත් කළ සෞඛ්‍ය ඇමැතිවරයා කළ දැනුම්දීමකට අනුව ඉල්ලා අස්වූ බවයි. ඖෂධ මිලදී ගැනීම්, අක්ෂි කාච මිලදී ගැනීමට ගත් පියවර ආදී චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා අභූත චෝදනා පමණකැයි ද ඒ මහතා කීය.

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සැපයුම් අංශය අදාළ ටෙන්ඩර් කැඳවීම් සිදු කරන බවත්, එම ටෙන්ඩර් පත් විවෘත කිරීමට තමාට හෝ ඖෂධ සංස්ථාවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

මම නිර්දෝෂියි. පසුගිය කාලයේ මට එල්ල කරපු චෝදනා බොරු. රුපියල් මිලියන 100 ක ලාභාංශයක් වාර්තා කර තිබූ (SPC) වසරක් තුළ රුපියල් මිලියන 400 ක ලාභාංශ ලබන තැනට පත් කළා. ඇමැති කී නිසා මා ඉල්ලා අස්වූවා යැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති ඉංජිනේරු සරත් ලියනගේ මහතා කීවේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස තමා හතරවරක් පත්කළ බව ද ඒ මහතා කීය. අවසන් වරට 2022 වසරේදී නැවත සභාපති තනතුරට පත් කරන විට රත්මලාන ගබඩාවේ රුපියල් මිලියන පහකවත් ඖෂධ නොතිබූ බවත් මේ වනවිට එහි රුපියල් බිලියන හතක පමණ ඖෂධ තිබෙන බවත් ඒ මහතා කීය.

තමා මෙම තනතුර භාරගන්නා විට ඔසුසල්වල සියයට අසූවක් ඖෂධ නොතිබූ බවත් මේ වනවිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. ඒ නිසා එල්ලවූ චෝදනා පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව ද ඉල්ලා අස්වූ සභාපතිවරයා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment