බසයකදී තරුණියකට පිහියෙන් ඇන්න ‘සීමන්’ අත්අඩංගුවට

592

බස් රථයක් තුළදී 29 හැවිරිදි තරුණියකට පිහියකින් ඇන තුවාල සිදුකළ බව කියන පුද්ගලයකු පෙරේදා (06දා) අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

තුවාල ලැබූ තරුණිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය කියයි.

පිහි ප්‍රහාරයෙන් ඇයගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශය, වම් කකුලේ දණහිසෙන් පහළ ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකට තුවාල සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරු හා තුවාලකාරිය ගාල්ල සිට අධිවේගී මාර්ගය ඔස්සේ නාරාහේන්පිට හරහා කොළඹ බලා යන බස් රථයකින් පැමිණ තිබේ. එහිදී තුවාලකාරිය නාරාහේන්පිට ආසිරි රෝහල අසලදී බැසීමට සූදානම් වූ අවස්ථාවේ ඇය අසලට පැමිණ ඇති සැකකරු රම්බෝ වර්ගයේ පිහියකින් ඇයට ඇන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මෙම පිහි ඇනුමට හේතු වී ඇතැයි පොලිසිය කියයි.

පිහි ඇනුමට ලක් වූ තරුණිය නාරාහේන්පිට මිනින්දෝරු කාර්යාලයේ සේවය කරන්නියක බවත්, සැකකරු වෙළෙඳ නාවිකයකු (සීමන්) බවත් හෙළිවිනැයි පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment