දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝකඩ පදක්කමක්

110

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව

2020 ඔලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත ඊයේ (17 වැනිදා) පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේය.

එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ දිනේෂ් එම තරගයේ දී මීටර් 65.38ක දස්කමක් කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙම පදක්කම දිනේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයදී දිනා ගත් තෙවැනි පදක්කම වූ අතර මීට පෙර 2017 සහ 2019 තරගාවලිවල රිදී පදක්කම් දිනා ගැනීමට දිනේෂ් සමත්ව සිටියේය.

මෙම තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනකු විසින් දිනා ගන්නා ලද අතර ඔවුහු පිළිවෙළින් මීටර් 65.41 ක් සහ මීටර් 65.38 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළහ.

එෆ් 46 කාණ්ඩයේ ලෝක වාර්තාවට 2020 ඔලිම්පික් උළෙලේ දී හිමිකම් කියූ දිනේෂ් එම කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේදී එවර මීටර් 67.79 ක දක්ෂතාවක් ලෝකය හමුවේ දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment