ඔබ පුරවැසියෙක්ද? පුරවැසියා යනු කවරෙක් දැයි ඔබෙන් විමසුවහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? ‘ශ්‍රී ලංකාව නමැති භූමියේ උපත ලබා ජීවත්වන හෙයින් පුරවැසියෙක් වීම, ඡන්ද අයිතිය හිමි පුද්ගලයකු වීම, ලංකා රජයට බදු ගෙවන්නකු වීම මේ ආදී අදහසක් හෝ වෙනත් ඕනෑම අදහසක් ඔබ සතුව ඇත. මේ ලියමන ආරම්භයේ දීම අප එවැනි ප්‍රශ්නයක් මතු කරනුයේ අපගේ සංවාදයේ පහසුව පිණිස ය.

බොහෝ කාලයක සිට මෙරට සමාජය විවිධ අර්බුදයන්ට මුහුණ දෙමින් පවතිනවා යන්න මුසාවක් නොවේ. මෑත කාලයේදී එකී අර්බුද වැඩි වූවා මිස ඒවා සමනයට පත්වීමක්, විසඳීමේ දිසානතියක් හෝ පෙනෙන තෙක් මානයක නොමැත. මෙයට ප්‍රධානතම හේතුව ආණ්ඩුකරණ ක්‍රියාවලියේ අර්බුදය බව අපි දනිමු. නමුත් ආණ්ඩුකරණ ක්‍රියාවලිය යනු හුදු තනි පුද්ගල කණ්ඩායමක ක්‍රියාකාරීත්වයක්ද? නැතිනම් පුරවැසියා ගෙන් වියුක්ත වූ යමක් ද? නැත. ආණ්ඩුකරණ ක්‍රියාවලිය යහපත් වන්නේ ඊට සක්‍රීය පුරවැසි දායකත්වයක්, පුරවැසි මැදිහත්වීමක් සිදු වන තැනදී ය. මෙරට ආණ්ඩුකරණ ක්‍රියාවලියේ අර්බුද දිගින් දිගට ම ඇත්නම් ඊට ඍජුවම වගකිව යුත්තේ පාලකයන් වන බව අප හොඳින් දන්නා කරුණක් වන නමුදු ඊට අනෙක් පසෙන් වගකිව යුතු කණ්ඩායම වන්නේ මෙරට පුරවැසියා ය. මෙරට සමාජය දිගින් දිගට ම මුහුණ දෙන අර්බුදයේ තරම කොපමණ ද ඒ සමග ම අනෙක් පසෙන් සැඟව ඇති සත්‍ය වන්නේ සක්‍රීය පුරවැසි භූමිකාවක් නොමැති වීමේ හිඩැසයි.

සක්‍රීය පුරවැසියකු යනු හුදෙක්ම තමන්ගේ බඩගෝස්තරය රැකගැනීම වෙනුවෙන් ඡන්දය දී නිහඬව සිටින්නකු නොවේ. යහපත් සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම උදෙසා, ප්‍රතිපත්තිමය කාරණා උදෙසා, යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කර සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් ඡන්දය භාවිත කරන්නෙකි. ඡන්දය භාවිතයෙන් නතර නොවී අඛණ්ඩව පසු විපරම් කරන්නෙකි. තමා පත් කළ පාලකයා ප්‍රශ්න කරන්නෙකි.

මෙරට අර්බුදය වන්නේ පාලකයන්ගෙන් හුදු වරප්‍රසාද ලබාගෙන පාලකයාට ඔහේ නටන්නට දී බලා සිටින ඡන්ද දායකයන් පිරිසක් බිහි වීමයි. තමන්ට තමන්ගේ පවුලට තමන්ගේ ගමක කළ හුදු සුබසාධන ක්‍රියාකාරකම මත පමණක් පදනම්ව ඡන්දය භාවිත කිරීමයි. සවිඥානිකත්වයෙන් තොරකම නිසා පාලකයන් සහ මාධ්‍ය එක්ව රඟ දක්වන ඕනෑම නාට්‍යයකට හසුව ඡන්දය භාවිත කිරීමයි. මෙකී තත්ත්වය තේරුම් ගැනීමට අපට වැඩි ඈතකට යෑමට උවමනා නැත. 2019ට ගියා නම් එය හොඳටම ප්‍රමාණවත්ය. සරලවම කියන්නේ නම් අහේනියකින් තොරව ජීවත් වූ මිනිසුන්ට හිටිහැටියේ අවශ්‍ය වූයේ කුමක්ද? රට, ජාතිය, ආගම, බේරා ගැනීමයි. රට බේරා ගැනීමේ කෙළවර කෙතරම් අවාසනාවන්ත ඉරණමකට පත් වූවාද යන්න මෙහි අමුතුවෙන් ලිවිය යුතුද?

මෙරට පුරවැසියන් සත්‍යය ඇස් අද්දර තිබුණ ද බොරුව, මිථ්‍යාව ක්ෂණයෙන් වැළඳ ගැනීමයි. විචාරශීලී චින්තනයෙන් තොර වීමයි. රටක් යනු හුදෙක් මහ පොළොව පමණක් නොවේ. රටක් යනු මිනිසුන් ය. මිනිසුන් යනු හුදෙක් එක් ජාතියක් එක් ආගමක් නොවේ. සමස්ත වාර්ගික අනන්‍යතා, ආගමික අනන්‍යතා සහ ලිංගික අනන්‍යතා ය. මේ සියලුදෙනාට පහසුවෙන් සිටිය හැකි, හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක්, මනා පොදු ප්‍රවාහන සේවාවක්, හොඳ සංස්කෘතික වටපිටාවක්, කලා සාහිත්‍යය විඳීමට ප්‍රවේශයක්, මේ සියල්ල සමන්විත වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, මේ ආදී දේවල් සාක්ෂාත් කිරීමට පාලකයාට හැකි නම් එතැනදී රට බේරෙනු ඇත. රට ආරක්ෂාවනු ඇත. මේ දේවල්වලින් තොරව රට බේරා ගැනීමක් යනු තක්කඩි දේශපාලන ගුණ්ඩු මිස අනෙකක් නොවේ. එසේම මෙරට පාලකයෝ, තම පුරවැසියන්ව තමන්ගේ අල්ලෙ නැට විය හැකි බව හොඳින්ම දන්නා බැවින් පුරවැසියා තුට්ටුවකට මායිම් නොකර නටන විගඩම් ගැන මහා ජන අරගලයට පසුව සිදුවන දේවලින් තේරුම් ගැනීමට සවිඥානික ඕනෑම කෙනෙකුට හැකි ය.

මෙකී තත්ත්වය වෙනස් කර ‘දෙන දේ කා වෙන දේ බලා නොසිට’ සක්‍රීය ආණ්ඩුකරණ ක්‍රියාවලියට දායක වන පිරිසක් ගොඩනඟා ගැනීම සමස්ත පුරවැසියාගේම වගකීමකි. අධ්‍යාපන ආයතන, සිවිල් ක්‍රියාකාරිකයන්, මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මේ වෙනුවෙන් සද්භාවයෙන් මැදිහත් විය යුතු ය. පාසල් ළමුන්, තරුණ කණ්ඩායම් සමග වැඩ කළ යුතු ය. සමාජ මාධ්‍ය, කලා සංස්කෘතික අවකාශ ඒ වෙනුවෙන් දායක කරගත යුතුය.

මහා නිධානයක් සේ තමන් සතුව යතුරක් ඇතත් යතුර තියාගෙන හාමතේ සිටින්නට මෙරට පුරවැසියාට සිදුව ඇත්තේ සවිඥානිකත්වයෙන් තොර පුරවැසි ක්‍රියාකාරීත්වය නිසා ය. අර්බුදයක් ඇති බව අවබෝධ කර නොගැනීම සහ අර්බුදයට ඉක්මනින් අනුගත වීම නිසා ය. තමාගේ ගෙදරට, තමාගේ කුස්සියට ම ප්‍රශ්න එනතුර අනෙකාගේ ප්‍රශ්නය මඟහැර සිටීම නිසා ය. සමාජ අර්බුදය පොදුවේ හඳුනාගෙන ඊට පොදු ක්‍රියාකාරකම් ඔස්සේ මැදිහත්වීමට ඇති මැලිකම නිසා ය. ඉතින් අප ගෙවමින් සිටින්නේ සක්‍රීය පුරවැසිභාවය කුමක්ද යන්න හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන බිම් මට්ටමේ සිවිල් ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙන මොහොතක ය.

මේ හිඩැස පිරවීම වෙනුවෙන් බිම් මට්ටමේ වැඩ කරමින් සිටින තරුණ කණ්ඩායමක් ගැන දැන ගන්න ලැබීම ප්‍රශංසනීය කාරණයකි. ‘තරුණ සිවිල් ලීගය’ මැයෙන් පිහිටුවාගෙන සිටින තරුණ කණ්ඩායම් කිහිපයක් ප්‍රජා සහ දේශපාලන සාක්ෂරතාව, ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප වර්ධනය, දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම අරමුණු කරමින් බිම් මට්ටමේ තරුණ සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ආකාරය දැක ගැනීමට හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සිවිල් සහ ඡන්ද අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ආදී කාරණා පිළිබඳ සංකල්පීය දැනුම විධිමත්ව ලැබූ මෙම තරුණ ලීගය අප පෙර කී පුරවැසි භූමිකාව සක්‍රීය පුරවැසිකරණයක් වෙනුවෙන් ගොඩනැංවීමට දිවයින පුරා වැඩ කරමින් සිටිති. එවැනි මැදිහත් වීම් මෙරට සාධනීය දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. මෙම තරුණ ලීගයේ ක්‍රියාකාරීත්වය ඊට සාධනීය ප්‍රවේශයක් වශයෙන් හඳුනාගත හැකි ය.

මහනුවර අකුරණ ප්‍රදේශයේ තරුණයන් සහ වැඩිහිටියන් සමග වැඩ කරන තරුණ ලීගය නියෝජනය කරන නිපුනිගේ අදහස්වලට සවන් දෙමු.

නිපුනි – මහනුවර

‘සක්‍රීය පුරවැසියකුගේ කාර්යභාරය මොකක්ද, වගකීම මොකක්ද, ඊට අදාළ වන ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය සම්බන්ධයෙන් විධිමත් පුහුණුව ලබපු 25 දෙනෙක් අපේ දිස්ත්‍රික්කයේ ඉන්නවා. අපි ප්‍රාදේශීය වශයෙන් පුරවැසියන් ගාවට ගිහින් සක්‍රීය පුරවැසි භූමිකාව මොකද්ද කියලා දැනුවත් කරනවා.

අපි මේ ගැන දැනුවත් කරන්න භාවිත කරන්නේ හරි සරල ක්‍රමයක්. අපේ ගාව කාඩ්පතක් තියෙනවා ‘ඔබ පත්කර ගන්නා පාලකයාගේ ගුණාංග කෙසේ විය යුතුද?’ කියලා. ඒ කාඩ්පත පිරෙව්වම ඒ ඔස්සේ අපි සාකච්ඡා කරනවා.

‘ඒ වගේම අපි මේ වැඩේට සමාජජාල මාධ්‍ය ඔස්සේ කලාව වැනි දේ උපයෝගි කර ගන්නවා. නාට්‍ය, වීදි නාට්‍ය, විරිදු වගේ දේවල් ඔස්සේ සක්‍රීය පුරවැසි භාවය සම්බන්ධ දැනවත් කිරීම් සිදු වෙනවා. අපි මේ ගැන සාකච්ඡාවෙන අන්තර්ගතයකින් යුතු විරිදු නිර්මාණ පටිගත කරලා අපේ සමාජ ජාලවල බෙදා හරිනවා.’

මෙම තරුණ ලීගය දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක් ම මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන්නකි. මහනුවර, අනුරාධපුරය, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ක්‍රියාකාරීත්වය කැපී පෙනෙන අතර මේ අනුරාධපුරයේ තරුණ ලීගය නියෝජනය කරන තරුණ ක්‍රියාකාරී ඉඳුනිල් බණ්ඩාරගේ අදහස වන්නේ රටේ තරුණ පරම්පරාව සවිඥානික කිරීම ඔස්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා අවකාශය උදාකරගත හැකි බව ය.

‘අපි මේ වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ තරුණයන්ට දේශපාලනය කියන වචනය පවා එපා වෙලා තිබ්බේ. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන අවිනිශ්චිත භාවයක් තිබ්බේ. ඒ මෙතෙක් කල් ලංකාවේ දේශපාලනය ආපු විධියත් එක්ක. නමුත් අපි ඔවුන්ට දේශපාලනයේ වැදගත්කම මෙහිදී පැහැදිලි කළා. ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම් සහ තොරතුරු දැන ගැනීමේ පනත වගේ දේවල් ගැන දැනුවත් භාවය ඔස්සේ වගකීම සහ වගවීම තුළින් නිකන්ම නිකන් ඡන්ද දායකයකුට එහා සක්‍රීය පුරවැසිභාවය ගැන සංවාද කළා. එහිදී ඔවුන් තුළ බලාපොරොත්තුවක් ඇති වුණා හොඳ සවිඥානික භාවයකින් වැඩ කළොත් තරුණයන් හැටියට මේ රටේ වෙනසක් කළ හැකියි කියලා.’

‘අපි තොරතුරු පනත භාවිත කරමින් පුරවැසියන්ට අදාළ තොරතුරු නීත්‍යානුකූලවම ලබාගන්නවා. ඒවා ලබාගෙන අපේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. අපි මේ වැඩේදි වීදි නාට්‍ය, කාටුන්, කෙටි වීඩියෝ පට වැනි දේවල් ද භාවිත කරනවා ප්‍රජාව දැනුවත් කිරීමට. එය ඉතාම සාර්ථක වෙලා තියෙනවා.

අනික තරුණයන් තමයි රටේ අනාගතය. ඉතින් දේශපාලනය ගැන, ආණ්ඩුකරණය ගැන දැනුවත් තරුණ පරම්පරාවකට පුළුවන් මේ රට වෙනස් කරන්න. අපිට අලුත් අදහස් තියෙනවා. අලුත් විධියට හිතනවා. විශේෂයෙන් ම මේ තරුණ සිවිල් ලීගයේ වැඩ හමුවේ අපේ දිස්ත්‍රික්කය පුරා තරුණයන්ට දේශපාලනය ගැන අලුත් අපේක්ෂාවක් ඇති වෙලා තියෙනවා.’

මෙසේ රට පුරා තරුණ, වැඩිහිටි ප්‍රජාව නව මුහුණුවරක් ඔස්සේ වැඩ කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. රටක් සමාජයක් යහපත් වන්නේ ඒ රටේ ප්‍රජාව සවිඥානික පුරවැසියන් ලෙස වැඩ කිරීම ආරම්භ කළ විටය. මුලින් ම විය යුත්තේ තමන්ගේ ප්‍රශ්නය ගැන තමන් සවිඥානික වීමය. අනතුරුව අනෙකා ද සවිඥානික කර ගනිමින් වැඩ කිරීම ඔස්සේ යල් පැන ගිය දේශපාලනයෙන් රට මුදා අලුත් මාවතකට යෑමට හැකියාව ලැබෙනු ඇත. රට පුරා මෙවැනි බිම්මට්ටමේ වැඩ තව තවත් පැළවෙනු දැකීම පරාර්ථකාමයෙන් යුතු යහපත් සමාජ අපේක්ෂාවක් ඇති ඕනෑම පුරවැසියකුගේ කැමැත්ත වනු ඇත.

ළහිරු ඉසංක

advertistmentadvertistment
advertistmentadvertistment