ග්‍රහලොව සුරූපිණිය නැප්චූන්ට පැරදේ

761

සූර්ය මස මීන, රවි 25 භාගයක් වූ චන්ද්‍ර මස මැදින් අව අටවක තිථියලත් බුධ දින 2024.04.03 ප.ව. 6.42 ට සිකුරු, නැප්චූන් අතර ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරාජයට පත් කරමින් නැප්චූන් ජය හිමි කර ගනී. මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ රවිට අයත් උත්‍රසල නැකතේ 4 වෙනි පාදයේ දීය. උත්‍රසල නැකත වනාහි රක්තවර්ණ, ස්ත්‍රීලිංග, ත්‍රිපද, උර්ධවමුඛ, වායෝභූත තාරකා දෙකකින් යුත් නැකතකි. ග්‍රහ යුද්ධයක් යනු ග්‍රහයන් දෙදෙනෙක් එකම රාශියක, එකම අංශයකට නොහොත් සමාන ස්ඵුටයකට පැමිණීමෙන් එක් ග්‍රහයෙකුගේ රශ්මිය නොහොත් කිරණ අනෙක් ග්‍රහයාට ආවරණය වීමෙන් පොළොවට නොවැටීම ග්‍රහ යුද්ධයක් ලෙස හැඳින්වේ. මෙහිදී උතුරට සිටින ග්‍රහයා ජය හිමි කර ගනු ලබයි.

මෙම වසර තුළ ප්‍රධාන වශයෙන් ග්‍රහ යුද්ධ 18 ක් සිදු වීමට නියමිතයි. එයිනුත් මෙම මාසය තුළදී ග්‍රහ යුද්ධ 5 ක් සිදු වීමට නියමිතයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ මෙම ග්‍රහ යුද්ධය සිදු වනුයේ දෙවන භාවය තුළදීය. ඒ අනුව බැංකු, මුදල් තැන්පත් කරන ස්ථාන යන ස්ථානවල ගැටලු පෙන්නුම් කරයි. මේ මොහොත වන විට ගර්ජ කරණයත්, ගුරු හෝරාවත්, ශනි පංචම කාල හෝරාවත්, ශනි සූක්ෂම කාල හෝරාවත් යෙදී තිබුණි. මේ අවස්ථාව වන විට තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්, වෘෂභ නවාංශකයත් උදාව පවතී. මෙහිදී කේතු දෙවැන්නේද, සයවැන්නේ සඳු ද, හත් වැන්නේ කුජ, ශනිද, අටවැන්නේ රාහු, සිකුරු, නැප්චූන් ද, නවවැන්නේ බුධ, ගුරු ද ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රය තුළ යෝග කාරක කුජ 22 දෙර්කාණාධිපති වීම මත පිපිරීම්, ලේ සෙලවීම් වැනි තත්ත්වයන් ද තවදුරටත් පෙන්නුම් කරයි. නැප්චූන්ගේ ජය ගැනීම හේතුවෙන් ජනයාගේ සිත් සතන් දුෂ්ට සිතුවිලි ක්‍රියාත්මක වන කාලයක් ද වේ. එමෙන්ම වස විස, විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සිතා ගත නොහැකි මරණ ඇති කරයි. එමෙන්ම නැප්චූන් ග්‍රහයා අක්ෂි රෝග මෙන්ම ලාදුරු රෝගවලට ද කාරකත්වය දරන හෙයින් ඉදිරි කාලය තුළ එම රෝගීන්ගේ යම් වර්ධනයක් ද පෙන්නුම් කරයි. ග්‍රහ ගෝචරය තුළ රාහු, සිකුරු, රවි, නැප්චූන් යන ග්‍රහයන් එකට එකතුව සිටීම මත විකෘති ආශාවන් සාධනීය ලෙස වර්ධනය වන කාලයක් ද වේ. එමෙන් ම කාම අපරාධ ගැන ද සැලකිය යුතු වර්ධනයක් ද පෙන්නුම් කරයි. තැපැල් /දුම්රිය දෙපාර්තමේන්තුවල සේවය කරන සේවකයින්ගේ තත්ත්වය උසස් වේ. සේවක වැඩ වර්ජන රැල්ලක් ද පෙන්නුම් කරයි. සිකුරුගේ පරාජය හේතුවෙන් නිර්මාණවේදීන්ට අසුබතා ඇති කරයි. ප්‍රකට කලාකරුවකුගේ වියෝවක් ද පෙන්නුම් කරයි. එබැවින් පංච සීල ප්‍රතිපදාවේ යෙදෙමින් කටයුතු කරමින් ජීවිත දුකයි යන සිතුවිලි ඇති කරමින් කටයුතු කිරීම සඳහා බාධක දුරු කර ගැනිමට හේතුවනු ඇත.

ග්‍රහලොව සුරූපිණිය නැප්චූන්ට පැරදේ

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment