පියාගේ ලිංගික හිරිහැර නිසා දුව පොලිසියට ගිහින්

828

වසර දෙකකට වැඩි කාලයක සිට තම පියාගෙන් සිදු වන ලිංගික හිරහැර ඉවසා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 13 හැවිරිදි දැරියක් තනිව පොලිසියට පැමිණ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා (28දා) එම සැකකාර පියා අත්අඩංගුවට ගත් බව නොච්ච්යාගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි පෙදරේරුවෙකි.

දැරිය, තම මව, පියා සහ සිය සහෝදරයා සමගින් නිවසේ ජීවත්ව සිටින අතර, මීට වසර දෙකකට පමණ පෙර (2021 වර්ෂයේ) සිට, තමන් හය වන වසරේ ඉගෙනුම ලබන කාලයේ සිට, මේ දක්වා වරින් වර, නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවලදී තමා ස්ත්‍රී දූෂණයට ලක් කරන බව දැරිය සිදු කළ පැමිණිල්ලේ සඳහන්වේ.

දිගින් දිගටම පියාගෙන් සිදුවන කරදර ඉවසා ගැනීමට නොහැකිව දැරිය විසින් මේ පිළිබඳව පියාගේ මවට දැනුම්දීමෙන් අනතුරුව, තමන් මිත්තණියගේ නිවසට රැගෙන ගිය බවත්, පසුව පෙරේදා යළිත් තමන් මව පියා සිටින නිවසට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේදී මිත්තණියට හොරෙන් පොලිසියට පැමිණි බව දැරිය සිදු කළ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන්වේ.

සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment