දේවාල බලතල රාජ්‍ය පරිපාලනය අත පෙවීමේ තැතක්

166

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට 2023.09.19 දින යොමු කළ පිළිතුරු ලිපිය මගින් ද අදාළ දේවාලය පිහිටි ප්‍රදේශයේ සුදුසු ප්‍රභූන් පිරිසක් රැස් කර සුදුසු ව්‍යවස්ථාවක් සකස් කර, ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය බලය අදාළ ප්‍රා.ලේ. වෙත පවරා ඇති බව තම පාර්ලිමේන්තු අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත දන්වා ඇත. ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා 2023.09.25 ලිපිය මගින් අදාළ ප්‍රදේශයේ තනතුරු හොබවන රාජ්‍ය නිලධාරින් පිරිසක් නම් කරමින් පාලක සභාවක් පත් කරන ලෙසත් එහි සභාපති ධුරය අදාළ ප්‍රාදේශීය ලේකම් විසින්ම හොබවන ලෙසත් තමා නිර්දේශ කර ඇති සෙසු නිලධාරීන්ට ප්‍රධාන තනතුරු පිරිනමා “සුදුසු පරිදි” ව්‍යවස්ථාව සකස් කර, අනුමත කර, තමා වෙත කඩිනමින් යොමු කරන මෙන් ඉල්ලා ඇත.

රට පුරා පිහිටුවා ඇති දෙවි දේවිතාවරුන් මූලික කර තනා ඇති දහස් ගණනක් වූ දේවාල වලින් ප්‍රධාන ගනයට වැටෙන 38 ක් පමණක් 1931 අංක 19 දරණ බෞද්ධ විහාර හා දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය හා අධීක්ෂණයට ගැනේ. ඒවා අතර බස්නායක නිලමේවරුන් පත් කර සිටින ප්‍රධාන දේවාල 32 කුත් භාරකාරවරුන් යටතට පත් කර ඇති දේවාල හයකුත් ඇතුළත් වේ.

මීට අමතරව, සෑම ගමකම පාහේ එකක් හෝ ඊට වැඩි ප්‍රාදේශීය දේවාල 10,000 කට වැඩි ප්‍රමාණයක් රට පුරා විසිරී පිහිටා ඇත. ඒවායේ හිමිකාරත්වය හා පරිපාලනය පුද්ගලිකව හෝ භාරකාර මණ්ඩල හරහා ඒවාට ආවේණික ව්‍යවස්ථා හා පිළිගැනීම් තුළ සරණ පතා එන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවශ්‍යතා සපුරමින් ඒවායේ පාලන කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සිදු වන පසුබිමක දංකොටුව ප්‍රා.ලේ. කොට්ඨාසයේ සිංගක්කුලිය නම් ගමේ පිහිටි පුරාණ අය්යනායක දේවාල භාරකාර මණ්ඩලය අතින් සිදු වූ මුදල් අක්‍රමිකතාවයක් පදනම් කර මෙවැනි රටේ සියලුම දේවාලවලට අදාළ මූලික පරිපාලන ව්‍යුහය වන ව්‍යවස්ථාවක් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් සකස් කිරීමට තමාට අවස්ථාව සලසා දෙන ලෙස දංකොටුව ප්‍රාදේශීය ලේකම්වරිය දිගින් දිගටම ඉල්ලා සිටීම මෙයට ප්‍රස්තුතය සපයා දී ඇත.

එහිදී වාර්තා ගත වූ මුදල් වංචාවට අදාළ පරීක්ෂණ අවසන් කර, නිශ්චිත බල ප්‍රදේශයක් හඳුනාගෙන, සාමාජිකත්වයක් බඳවා ගෙන, නිලවරණයක් මගින් පිළිගත් ව්‍යවස්ථාවට අනුව ස්ථිර පාලක මණ්ඩලයක් තෝරා ගැනීමට මැදිහත්වීම පසෙකලා මෙම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එම දේවාලයේ දැනට වසර 30 කට වැඩි කලක් පුරා අනුගමනය කළ පිළිගත් ව්‍යවස්ථාව තුළට තම බලතල ආරූඪ කර ගැනීමේ උත්සාහ කරමින් තමා විසින් සකසා ඇති “ව්‍යවස්ථා කෙටුම්පත” පරිපාලන අමාත්‍යාංශය හරහා සම්මත කර ගැනීමට වලිකෑමත් සමග බළලා මල්ලෙන් එළියට පැන ඇත.

2023.02.20 දිනැති ලිපිය මගින් තමා විසින් සකසා ඇති ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර එවන මෙන් දංකොටුව ප්‍රා.ලේකම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබීමත්, නැවත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවූ 2023.06.06 දිනැති ලිපිය මගින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලවා රට පුරා විසිරී ඇති මෙවැනි සියලු දේවාලවලට අදාළ කර ගත හැකි “ව්‍යවස්ථා කෙටුම්පත” කඩිනමින් සැකසීමට තමාට අවකාශ සලසා දෙන ලෙස දංකොටුව ප්‍රා.ලේ. වරිය ඉල්ලා තිබීම අවධානය යොමු කළ යුතුව ඇත.

එලෙස දෙවනුව කළ ඉල්ලීමට දින දෙකක් වැනි ඉතා කෙටි කලක් තුළ (2023.06.08) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් බුද්ධ ශාසන, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අදාළ දැනුම්දීම යොමු කිරීම පිළිගත් පරිපාලන ක්‍රියාපටිපාටිය වුවද අදාළ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කරන ලෙස දන්වා සෘජුවම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රා.ලේ. කර තිබූ ඉල්ලීම ඇමුණුමක් ලෙස යැවීම මෙම කුකුස තීව්‍ර කිරීමට සමත්ව ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත දංකොටුව ප්‍රාදේශීය ලේකම්වරිය නැවතත් යැවූ 2022.06.16 දිනැති ලිපිය මගින්ද “විශේෂ වශයෙන් කෙටුම්පත් කළ ව්‍යවස්ථාව සභා සම්මත කර ගැනීම” අවශ්‍ය බව දැනුම් දී තිබීමත් නැවත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා 2023.09.06 ලිපිය මගින් ප්‍රභූන් පිරිසක් රැස්කර සුදුසු ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යය කරගෙන යන ලෙස දංකොටුව ප්‍රාදේශීය ලේකම්ට පවරා ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට 2023.09.19 දින යොමු කළ පිළිතුරු ලිපිය මගින් ද අදාළ දේවාලය පිහිටි ප්‍රදේශයේ සුදුසු ප්‍රභූන් පිරිසක් රැස් කර සුදුසු ව්‍යවස්ථාවක් සකස් කර, ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය බලය අදාළ ප්‍රා.ලේ. වෙත පවරා ඇති බව තම පාර්ලිමේන්තු අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත දන්වා ඇත.

ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා 2023.09.25 ලිපිය මගින් අදාළ ප්‍රදේශයේ තනතුරු හොබවන රාජ්‍ය නිලධාරින් පිරිසක් නම් කරමින් පාලක සභාවක් පත් කරන ලෙසත් එහි සභාපති ධුරය අදාළ ප්‍රාදේශීය ලේකම් විසින්ම හොබවන ලෙසත් තමා නිර්දේශ කර ඇති සෙසු නිලධාරීන්ට ප්‍රධාන තනතුරු පිරිනමා “සුදුසු පරිදි” ව්‍යවස්ථාව සකස් කර, අනුමත කර, තමා වෙත කඩිනමින් යොමු කරන මෙන් ඉල්ලා ඇත. තවද, මෙය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ක්‍රියා කරන ලෙසත් දන්වා තිබීම පිටුපස ඇති අනියත අවශ්‍යතාවය සැක සංකා උපදවනසුලු ය.

මෙහි විශේෂත්වය වන්නේ මෙවැනි දේවාල අතරින් සැලකිය ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථාන තුළම පිහිටා තිබීමත් එම විහාරස්ථානවලට ආවේණික ව්‍යවස්ථාවන්ට අනුව විහාරාධිපති හිමිවරුන්ගේ අනුශාසකත්වය හා අනුදැනුම යටතේ ඒවා පවත්වාගෙන යෑමත් ඇතැම් ඒවා පුද්ගලිකව නඩත්තු කරමින් පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යෑමක් ලෙස සලකා නඩත්තු වන දේවාල වීමත්ය.

ඊට අමතරව, තම ව්‍යවස්ථාපිත අරමුණු ඇතුළත් කර පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත කර ඇති තවත් දේවාල ප්‍රමාණයක් ද මෙම ප්‍රාදේශීය දේවාල ගනයට අයත් වේ. ඒවායේ භාරකාර මණ්ඩල තනතුරු රටේ වැදගත් පුද්ගලයන් දරමින් ගෞරවාන්විත සේවයක් ලෙස සලකා දායකත්වයක් තම සේවාවන් ලබා දීම සිදු වේ.

ඒ අතර හල්පේ, නවගමුව යන ස්ථානවල පිහිටි පත්තිනි දේවාල වැනි දේවාල විශාල සංඛ්‍යාවක් ඒවාට අදාළ ව්‍යවස්ථාවන්ට අනුව කටයුතු කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම සැලකිල්ලට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් “සංරක්ෂිත ස්ථාන” ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ඒවා ද වේ.

තවද, නාත්තන්ඩිය මාවිල පිහිටි පරම්පරාගත අය්යනායක දේවාලය වැනි සැලකිය යුතු දේවාල ප්‍රමාණයක් ඕනෑම කෙනෙකුට තමා විසින්ම භාරහාර වී එම භාර ඔප්පු කිරීමට අවස්ථාව සලසමින් පුද්ගලිකව නඩත්තු කරන ඒවා ද වේ.

මේ ගනයේ ප්‍රාදේශීය දේවාලවලට අදාළ වගකීම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මත පැවරෙන්නක් නොවන බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරියට හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වෙත 2021.11.02 ලිපිය මගින් එවකට සිටි බෞ.ක. කොමසාරිස්වරයා පැහැදිලිව දැනුම් දී තිබියදී නැවතත් වත්මන් බෞ.ක. කොමසාරිස්වරයා විසින් ඉහත පරිදි තම විෂයට අයත් නොවන ආයතනවලට අදාළ සංවේදී විෂයයක් සම්බන්ධව නිර්දේශ යවන්නේ කුමන බලයක් හෝ යටි අරමුණක් වෙනුවෙන්ද යන්න ගැටලු සහගතය.

ප්‍රාදේශීය දේවාලවල පරිපාලනය විධිමත් කිරීමට පොදුවේ සැමට පිළිගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට බලධරයන්ට ඇති හැකියාව හා ඒ සඳහා වූ අවශ්‍යතාවය අප මෙහිදී බැහැර නොකරන්නෙමු. ඒ සඳහා විෂයානුබද්ධ දැනුමක් හා අත්දැකීම් ඇති බුද්ධිමත් පිරිසකගේ අදහස් උදහස් විමසා කළ යුත්තක් බවත් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ඉහළ නිලතල හොබවන්නන්ගේ මූලිකත්වයෙන් කටයුතු කරනවා වෙනුවට එක් හුදකලා ස්ථානයක සිදු වූ සිද්ධියක් දඩමීමා කර රට පුරා විසිරී ඇති සියලු සිද්ධස්ථානවලට අදාළව පොදු ව්‍යවස්ථාවක් සැකසීම යන භාරදූර කාර්යය ප්‍රාදේශීයව සිටින සීමිත පිරිසක් වෙත අදාළ වගකිවයුතු බලධාරීන් විසින් පටවා අත සෝදා ගැනීමට මාන බැලීම අනුමත කළ නොහැක්කක් බව දේවාල භාරකාර බෞද්ධ නායක හිමිවරුන්, කපු මහතුන් හා භාරකාර මණ්ඩල වගකීම් හොබවන නිලධාරීන් බහුතරයකගේම පොදු මතය බව අවධාරණය කළ යුතුය.

ආනන්ද කරුණාරත්න
සභාපති,
අය්යනායක දෙවි අඩවි සුරැකීමේ සංවිධානය

advertistmentadvertistment
advertistmentadvertistment