සම්මානය අරන් කටුනායකට ආවේ බුද්ධි අංශයට ප්‍රකාශයක් දීලා

444

ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි රොටර්ඩෑම් සම්මානය දිනූ ජගත් මනුවර්ණ කියයි

“මම මෙම සිනමා සම්මානය රැගෙන කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මට අසීරුතා ඇති වුණා. අරගලයට සහභාගී වීම පිළිබඳව මට එරෙහිව නඩු දෙකක් පවරා තිබෙනවා.

ඒ නඩුවලට අදාළව ගුවන් ගමන් තහනම් නියෝග දෙකක් ද පනවා තියෙනවා.

ඒ නිසා මම මේ සිනමා සම්මානය රැගෙන ආවේ ගුවන් තොටුපළ බුද්ධි අංශයට ප්‍රකාශයක් ලබා දීලා. ගුවන් ගමන් බලපත්‍ර පෙන්වලා.

මම ගුවන් තොටුපළෙන් පිටතට යන අවස්ථාවේදීත් මේ ආකාරයට ප්‍රකාශ ලබා දිය යුතු වුණා. රජය මට එරෙහිව නඩු සීයක් දැම්මත් ජනතාව වෙනුවෙන් හඬ නැගීම සහ සටන් කිරීම නවත්තන්නේ නැහැ.”

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර 52 වැනි අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගී වී ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය සහ සහතිකය දිනා මෙරටට පැමිණි ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා එසේ පැවසීය.

‘රහස් කියන කඳු’ නමැති සිනමා පටයට එම සම්මානය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ප්‍රශ්න සහ මෙරට දේශපාලන ඉතිහාසයේ අපරාධ පිළිබඳව විනාඩි 94 ක් පුරා විකාශනය වන පරිදි මෙම සිනමා පටය නිපදවා ඇති බව මනුවර්ණ මහතා පැවසීය.

ඉකුත් 2017 වසරේ මෙම සිනමා පටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර ඒ සඳහා පසු නිෂ්පාදන කටයුතුවලදී සහාය දැක්වූ සියලු හිතවතුන්ට හෙතෙම තම කෘතවේදීත්වය පළ කළේය. මෙම සිනමා පටය නිපදවීමට වසර 12 ක් ගත වූ අතර ඒ සඳහා සෑහෙන ශ්‍රමයක් වැය කිරීමට සිදු වූ බවත් ඉතාම සුළු මුදලක් පමණක් වැය වූ බවත් පැවසූ ජගත් මනුවර්ණ මහතා මෙරට සිනමා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකික සිනමා පට දෙකක් වෙනුවෙන් එක උළෙලකදී සම්මාන හිමි වීම අති සුවිශේෂී සිදු වීමක් බවත් කියා සිටියේය.

“මම මෙම සම්මානය ලබා ගත් දින කොළඹ සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටි සිනමා විචාරකයකුට පොලිසිය පහර දී අත කඩා දමා තියෙනවා. මෙම සිනමා උළෙලේ ජූරියේ සභාපතිවරයා, සිනමාකරුවන්ගේ ධෛර්යය වෙනුවෙන් සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉරානයේ සිරගත කර සිටින සිනමාවේදී ජෆාර් ෆනායි වෙත තම අසුන්වලින් නැගී සිට අත්පොලසන් නාදයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඉන්පසුවයි මට මෙම සිනමා පටය වෙනුවෙන් සම්මානය ලැබුණේ. ඒ රටවල ප්‍රකාශනයේ නිදහස සෑම ආකාරයෙන්ම තිබෙනවා. ඔවුන් ඊට ගරු කරනවා” යැයි ද මනුවර්ණ මහතා පැවසීය.

සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා ඊයේ (07දා) උදෑසන 08.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔහු පිළිගැනීමට චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණ ද කිසිවකුත් පැමිණ සිටියේ නැත. මනුවර්ණ මහතා තම ගමන් මලුද රැගෙන ගුවන් තොටුපළෙන් පිටව යන අවස්ථාවේ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටි මාධ්‍යවේදීන් ඔහු හඳුනා ගෙන පසුපස දිව ගොස් මල් මාලා දමා පිළිගෙන මෙම සාකච්ඡාවට සහභාගී කරගෙන තිබුණි.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගෙන් සහ ගුවන් මගීන් මෙන්ම ඔවුන් රැගෙන යෑමට පැමිණ සිටි පිරිස වෙතින් ජගත් මනුවර්ණ කලාකරුවාට උසස් ප්‍රතිචාරයක් හිමි වීම විශේෂත්වයකි.

මීට සමගාමීව මෙම සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සිනමාවේදී විසාකේස චන්ද්‍රසේකරම් මහතා ද ඊයේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව මනුවර්ණ මහතා පැවසීය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment