අලි ප්‍රහාරයෙන් පාඩික්කම නිවසක් විනාශයි – දරුවන් සමග දෙමාපියන් ඉන්නේ ගසක් උඩ

146

ජීවිතය ඉල්ලන දරු පවුලක්

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද ඇත්තේ බලධාරීන් එම ගම්මානයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසාවෙනි. එමන්ම දීර්ඝ කාලයක සිට ගොවීන් වගා කරමින් සිටි හේන් රක්ෂිත කරමින් අඩවි වන නිලධාරීන් විසින් ගම්වාසීන්ට සිදු කළ අසාධාරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ගම්මානයට වල් අලි දිගෙන් දිගටම පැමිණෙන බවයි ගම්වාසීහු පවසන්නේ.

මෙලෙස වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එච්. බී උපාලි රණවීර නමැති සිව් දරු පියකුගේ නිවසටය. පුරා වසර 20 ක කාලයක් තම දරුවන්ට සෙවන ලබා දුන් කටු මැටි වරිච්ච බිත්ති වලින් සමන්විත මෙම නිවස බිඳී යෑමත් සමගම පාසල් යන දරුවන්ට ඉතිරිව ඇත්තේ පොත් බෑගය පමණක් බවත් කැඳ බීමටවත් හාල් ටිකක් නොමැති බවත් නැවත නිවසක් සාදා ගැනීමට උදවු උපකාර අවශ්‍ය බවත් හැඬූ කඳුළින් එච්. බී. උපාලි රණවීර පියා අපට කීහ.

එච්.බී උපාලි රණවීර ගොවි මහතා – අපි අවුරුදු 20 ක් පදිංචිව සිට නිවස අලි කැඩුවා. මේ දෙවනි පාර මගේ නිවස අලි කඩපු. අපිට දැන් ගහ උඩ තියෙන පැලේ ජීවත් වෙන්න වෙන්නේ. ඉන්න තැනක් අපට නෑ. මේ දුප්පත් අපට අස් වැසුමවත් ලැබුණේ නෑ. ප්‍රාදේශීය ලේකම්තුමියයි ග්‍රාම නිලධාරිතුමයි ඇවිත් අපි විඳින දුක සොයා බලලා අස් වැසුමට අභියාචනා දාන්න කිව්වා. ගෙදර හරියේ හාල් ඇටයක් මේ දරුවන්ට කන්න දෙන්න අලි ඉතුරු කළේ නෑ. දරුවන්ගේ පොත් බෑගය විතරයි ඉතුරු වුණේ. වැසසට මේ බඩු ටික තෙමෙනවා. බිම හැලිලා තිබුණු හාල් ටිකවත් එකතු කරලා කැඳවත් හදා ගන්නවා. මම අසරණ වෙලා ඉන්නේ. අනේ අපට උදව් කරන්න. මේ ගේ හදා ගන්න. මේ පවුලට උදව් කරන්න හැකි දානපතියෙක් ඉන්නවනම් 0760046846 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
මැදවච්චිය ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment