2023 වසරේ අවසාන දවස අදයි. හෙට සිට උදාවන්නේ 2024 වසරයි. අලුත් වසරේ ජනතාවට යමක් දෙන්නට වුවමනා නිසා දෝ ආණ්ඩුව ජනතාවට මදි නොකියන්නම බදු බර නම් දී තිබේ. ඒ 2023 වසරේ තිබුණාටත් වඩා සිය ගුණයකින් ජනතාව පිට බදු බර පටවමිනි. දැනට 15% පවතින වැට් බද්ද 18% දක්වාත් දැනට වැට් බද්ද ක්‍රියාත්මක නොවන භාණ්ඩ හා සේවා සඳහා අලුතින්ම 18%ක වැට් බද්දක් පනවමිනුත් මදි නොකියන්නට ජනතාවට සලකා තිබෙන ආකාරය දක්නට ලැබේ.

නමුත් ආණ්ඩුව ජනතාව ගැන නොසිතනවා යැයිම කියා කිව නොහැක. මන්ද දැනටමත් තුන් වේලෙන් දෙවේලක් බොහොම අමාරුවෙන් කා ජීවත් වන ජනතාවට එම දෙවේලත් එක වේලකට සීමා වී කුසගින්නේ මියැදීමට සිදුවන බව දැනගෙනදෝ ආදාහන හා භූමිදාන සම්බන්ධ සේවා නම් වැට් බද්දෙන් නිදහස් කර තිබේ. සමහර විට මේ ආණ්ඩුවට ‘මළකුණෙනුත් හම්බු කරගෙන කනවා’ යන අපවාදයෙන් ගැලවීම සඳහා ආදාහනය හා භූමිදානය සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කළා විය හැක.

ලංකාවේ ක්‍රියාත්මක බදු

ලොව ඕනෑම රටක් පවත්වාගෙන යෑමට නම් අනිවාර්යෙන්ම බදු අය කළ යුතුය. ඒ සඳහා විවිධ ආකාරයේ බදු ක්‍රියාත්මක වේ. මෙරටත් ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට බදු ක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ සෘජු බදු හා වක්‍ර බදු වශයෙනි. ආදායම් බදු, තීරු බදු සහ ඉඩම් දේපළ සඳහා පනවන බදු සෘජු බදු ගණයට අයත් වන අතර රජයට ඍජුවම ගෙවීම් නොකරන බදු වක්‍ර බදු ගණයට අයත් වේ. භාණ්ඩ හා සේවා සඳහා අයකරන බදු වක්‍ර බදු කාණ්ඩයට අයත් වේ. දැන් අප කතා කරන වැට් බද්ද ද අයත් වන්නේ වක්‍ර බදු කාණ්ඩයටය.

බදු අය කරන්නේ ඇයි

රටක් ජනතාවගෙන් බදු මුදල් එකතු කරනු ලබන්නේ මහජන සේවාවන් පවත්වාගෙන යෑම සඳහාය. අධ්‍යාපන, සෞඛ්‍යය වැනි සේවාවන් සඳහාත් සමෘද්ධිය වැනි දුගී ජනතාවට සහන සලසන වැඩසටහන් සඳහාත් මුදල් අවශ්‍ය වේ. ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා ආණ්ඩු විසින් විවිධ බදු වර්ග පනවනු ලැබේ. සෘජු බදු පැනවෙන්නේ යමක් කමක් ඇති හැකි අයටය. ධනවතුන්ගෙන් බදු අය කර සමාජයේ ප්‍රතිලාභ ලැබිය යුතු පිරිසට මෙන්ම විවිධ සුබසාධන කටයුතු සඳහා යෙදවීම සිදුවුවත් වක්‍ර බදු පැනවීම තුළ දුප්පත් මෙන්ම පොහොසත් පුද්ගලයන්ටත් එය එක ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. ආහාරයට ගන්න හාල්, පරිප්පු ඇටයේ සිට සියලු දේවල්වලට වක්‍ර බදු පැනවීම බලපායි. මෙරට සෘජු බදු ගෙවන ප්‍රතිශතය 2022 වසර වන විට 30%ක් වන විට වක්‍ර බදු ප්‍රතිශතය 70%ක් තරම් ඉතා ඉහළ අගයක් ගනියි. ඒ අනුව පෙනී යන්නේ නැති බැරි එකාට තව තවත් බදු පනවා නැත්තටම නැති කිරීම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිය වී පැවති බවය.

2024 ජනවාරි පළමුවෙනිදා සිට අලුතින් වැට් බදු පැනවෙන භාණ්ඩ හා සේවා.

★ ශ්‍රී ලංකාව තුළ වගා කර නිෂ්පාදනය කරනු ලබන ධාන්‍ය වර්ගවලින් නිෂ්පාදිත අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර වර්ග කාණ්ඩය

★ දේශීයව නිෂ්පාදිත පොල්කිරි සහ පොල් තෙල්

★ පෙට්‍රල්, ඩීසල් සහ ද්‍රව ගෑස්

★ මෝටර් රථ වාහන ලොරි ට්‍රක් රථ බස් රථ බර වාහන

★ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘෂි උපකරණ සහ අමතර කොටස්

★ ජංගම දුරකථන උපාංග සහ අමතර කොටස්

★ ආනයනය කරනු ලබන හෝ මෙරට නිෂ්පාදනය කරනු ලබන විදුලි උපකරණ වර්ග

★ අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සහ අමතර කොටස්

★ ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කරනු ලබන විවිධ ඖෂධ වර්ග සහ රසායනික නිෂ්පාදන, මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය (බටහිර හෝ ආයුර්වේද) සඳහා විදේශයන් විසින් ආනයනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ එම යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන අමතර කොටස්

★ ඉස්සන් සහ ඉස්සන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග

★ දේශීය නිෂ්පාදිත කිරිපිටි වර්ග හැරෙන්නට අනෙකුත් කිරිපිටි නිෂ්පාදන සහ පසු සම්පත් නිෂ්පාදන

★ සූර්ය පැනල පද්ධති සහ එයට අදාළ සියලු උපාංග සහ අමතර කොටස්

★ මැණික්, මුතු සහ දියමන්ති සහ රනින් සෑදූ භාණ්ඩ

★ පුවත්පත් හැරෙන්නට අනෙකුත් මුද්‍රිත සඟරා සහ ප්‍රකාශන

★ පරිගණක සහ උපාංග මෙන්ම පරිගණක අමතර කොටස්

★ බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ අමතර කොටස්

★ දේශීය නිෂ්පාදිත සීනි

★ දේශීයව නිෂ්පාදිත ජල විදුලි බලය සහ සුළං විදුලි බලය සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ උපාංග

★ දේශීයව නිෂ්පාදිත රෙදි පිළි වර්ග

★ දේශීයව නිෂ්පාදිත පරිගණක මෘදුකාංග

★ දේශීයව නිෂ්පාදිත පාම් තෙල්

★ ශ්‍රී ලංකාවට සපයනු ලබන ජාත්‍යන්තර සන්නිවේදන සේවා

★ චිත්‍රපට නිෂ්පාදන දේශීයව හෝ විදේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ චිත්‍රපට නිෂ්පාදන උපකරණ (කැමරා ඇතුළු)

අලුතින් වැට් බද්ද පනවා ඇති භාණ්ඩ හා සේවා දෙස බැලීමේ ද ජනතාවට තදින්ම දැනෙන අංශ කිහිපයක්ම පවතී. ඒ අතරින් ජනතාවට තදින්ම දැනෙන්නේ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් කෙරේ වැට් බද්ද පැනවීමය. මේ නිසා බොහෝ අංශවල මිල ඉහළ යෑමට පුළුවන. ප්‍රවාහන අංශයට සෘජුවම ඉන්ධන මිල ඉහළ යෑම බලපෑම් එල්ල කරයි. ඒත් සමගම භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම සිදුවේ. ඒ හේතුවෙන් විතරක්ම භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යෑමට තිබෙන ඉඩකඩ වැඩිය. මගී ප්‍රවාහන බස්රථ ගාස්තුද ඉහළ යෑමට නියමිතය. පෞද්ගලික බස් රථ සංගම් රාශියක්ම මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ මෝටර් රථවාහන, ලොරි, ට්‍රක්, බස් රථ ආදී බර වාහනවලට වැට් බද්ද පැනවීම නිසා ගාස්තු වැඩි කිරීමට සිදුවන බවටයි. ඒ අතරේම ඉන්ධන මිලත් ඉහළ ගිය විට බස් ගාස්තු වැඩිවීම ජනතාවට කෙසේ දරා ගත හැකිදැයි සැක සහිතය.

කෘෂිකර්මයටත් බලපෑම්

එක ජනාධිපතිවරයෙක් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් මෝඩ තීන්දු තීරණ නිසා රට වසර ගණනාවකින් ආපස්සට ගියේය. තවත් එවැනිම ආකාරයේ තීරණයකි කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර ඇතුළු කෘෂි උපකරණ අමතර කොටස් වෙත වැට් බද්ද පැනවීම. මේ වන විටත් එළවළු මිල පවතින්නේ මේ මහ පොළොවේ නොව ඉහළ අහසේය. ඒ තරමට එළවළු මිල වැඩිය. නව බදු පැනවීමත් සමගම පොහොර ඇතුළු කෘෂි රසායන මිල විශාල ලෙස වැඩිවේ. නැවත වරක් කෘෂිකර්මයට අත තියන්නට ගොස් රට වනසා දැමීමට පාර කැපේවිදෝයි සැක සහිතය.

සෞඛ්‍යයටත් වැට් බද්ද

මේ වන විටත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ අන්තිම අසාධ්‍ය තත්ත්වයේ ය. රජයේ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විස්සකට අධික සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් තවත් සිය ගණනක් පවතින්නේ අන්තිම හුස්ම අදිමින්ය. රෝහල් රාශියකම බෙහෙත් නැත. රෝග නිශ්චය කිරීමට අවැසි යන්ත්‍ර සූත්‍ර නැත. තිබෙන ඒවාත් බොහෝමයක් කැඩී ඇත. එවන් තත්ත්වයක් පවතිද්දීත් අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සහ අමතර කොටස්වලට පමණක් නොව විදෙස් රටවලින් පරිත්‍යාග ලෙස ලබාදෙන යන්ත්‍ර සූත්‍රවලට පවා වැට්බද්ද පනවා ඇත. ආණ්ඩුවට ලෙඩා මළත් බඩ සුද්ද වෙනවා නම් කමක් නැත. ආණ්ඩුවට අවශ්‍ය බදු ලැබෙනවා නම් අවසන් හුස්ම හෙළන රෝගියාගේ බෙල්ල මිරිකා හෝ එය ලබා ගැනීමට ආණ්ඩුව පැකිලෙන්නේ නැත.

විදුලියටත් විදුලිසර

දැනට දිනපතාම වගේ වැස්ස ලැබුණත් 2024 වසර යළිත් අධික නියං තත්ත්වයක් සහිත වසරක් වේවි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි ප්‍රකාශ කොට අවසන්ය. දැනටත් විදුලි බිල පවතින්නේ ජනතාවට කිසිසේත් දරා ගත නොහැකි මට්ටමකය. මේ වන විට වැසි ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසා විදුලි බල මණ්ඩලය ලාභයි ලාබයි කිව්වත් නැවත මාසයකින් දෙකකින් පෑවිල්ලත් සමග සියයට 50% – 60% විදුලි බිල වැඩි කිරීමේ අවදානමක් පවතී. ඒ සඳහා ගත හැකි හොඳම විකල්පය වන්නේ සූර්ය පැනල පද්ධති සවිකිරීමය. ජනතාව තව තවත් සූර්ය පැනල පද්ධති සවිකර රටේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ කරගෙන විදුලිබලය දියුණු කරගන්නවා වෙනුවට ආණ්ඩුව කරන්නේ බලශක්ති අර්බුදයට ඇති හොඳම විසඳුම පයින් පාගා පොඩිකර දැමීමය. දැනටත් දරන්නට නොහැකි මට්ටමක පවතින සූර්ය පැනල පද්ධති සහ අමතර කොටස් නව වැට් බද්දත් සමඟ ඉතා විශාල වශයෙන් ඉහළ යනු ඇත.

වෙනත් රටවල් ඉන්ධන පරිභෝජනය අඩුකර පරිසර හිතකාමී විදුලි දුම්රිය, විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, බස් රථ වෙත යොමුවෙද්දී මේ ආණ්ඩුව සිදු කරන්නේ අඩු මිලට විදුලිය නිපදවිය හැකි සූර්ය බලය, සුළං මෙන්ම ජල විදුලියට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ උපාංගවලට තව තවත් බදු පනවා ඒවා අධෛර්යමත් කිරීමය.

එසේම වැට් බදු පනවන තවත් අංශ කිහිපයක් වන්නේ දේශීයව නිෂ්පාදිත රෙදිපිළි, සීනි, පොල්කිරි සහ පොල් තෙල් වැනි නිෂ්පාදනයන්ය. දැනටත් දේශීය ව්‍යාපාරිකයන් ආණ්ඩුව විසින් ඉහළ නංවා ඇති විදුලි බිලත්, ඉන්ධන මිලත්, විවිධ බදු වර්ගත් නිසා දේශීය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනි. එවන් අවස්ථාවක දේශීය ව්‍යාපාරිකයන්ට තවත් සියයට දහ අටක වැට් බද්දකුත් ගෙවීමට සැලැස්වීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා හා සමානය. දැනටත් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල දක්නට ලැබේ. මේ වසර පෙර වසර හා සසඳන විට අපනයන අඩු වී ඇත.

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා

★ තිරිඟු සහ තිරිඟු පිටි

★ ළදරු කිරිපිටි වර්ග

★ සහල්, සහල් පිටි සහ පාන් මෙන්ම එම අමුද්‍රව්‍යයෙන් දේශීයව සාදන ලද ආහාර ද්‍රව්‍ය වර්ග

★ භූමිතෙල්, පිරිපහදු නොකරන ඛනිජ තෙල්, ගුවන් සේවා තෙල්, නාවික යාත්‍රා සඳහා තෙල් වර්ග

★ විදුලි බලය සහ විදුලි බල බෙදාහැරීම

★ ඖෂධ සහ ඖෂධමය නිෂ්පාදන වර්ග

★ ආයුර්වේද සහ හෝමියෝපති ඖෂධ නිෂ්පාදන

★ ආබාධිත පුද්ගලයන් සඳහා වන වෛද්‍ය උපකරණ, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, රෝද පුටු, කෘතිම අත් සහ පාද, කිහිලිකරු, සැරයටි වර්ග සහ අදාළ උපකරණ

★ රෝහල් සහ වෙනත් වෛද්‍ය ආයතන විසින් සපයනු ලබන විවිධ වෛද්‍ය සේවාවන්

★ රසායනික පොහොර නොවන අනෙකුත් පොහොර වර්ග

★ කෘෂිකාර්මික බීජ සහ කෘෂිකාර්මික පැළෑටි වර්ග

★ දේශීයව නිෂ්පාදිත අත් යන්ත්‍ර ඇඟලුම් වර්ග

★ යම් පුද්ගලයෙකුගේ පුද්ගල සහභාගිත්වයක් යටතේ පවත්වනු ලබන විවිධ අධ්‍යාපනික සේවා

★ පොදු මහජන මගේ සේවාවන් (ගුවන් සහ සමුද්‍ර සේවාවන්ට අදාළ නැත)

★ ආදාහන භූමදාන සහ අනෙකුත් අවමංගල්‍ය සේවාවන්

★ සියලු මූල්‍යමය සේවාවන් සහ මෙහෙයුම්

★ රාජ්‍යතාන්ත්‍රික සහ තනාපති සේවාවන්

★ ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍යමය නීති පනතේ 42

වගන්තිය යටතේ අයත් වන සේවාවන්

මීට අදාළව තවත් අනුකාණ්ඩ රාශියක් ඇතුළත් වේ.

ප්‍රායෝගික නැති බදු නිදහස් කිරීම

පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැට් බදු සහනය ලබා නුදුන් ආණ්ඩුව ජනතාව වැඩි වැඩියෙන් භාවිත කරාවි යැයි සිතා ගුවන් යානා ඉන්ධන සහ නැව් සඳහා භාවිත කරන ඉන්ධනවලට සහනයක් ලබාදී ඇත. වැඩි වන බඩු මිලත් සමග මේ වන විට භාණ්ඩ පවතින්නේ මහ පොළොවේ නොව ඊට අඩි කිහිපයක් උඩිනි. ඒ නිසා ආණ්ඩුව ගුවන්යානා ඉන්ධන සඳහා සහනයක් ලබා දී ඇත. එසේම ගුවන්යානා එන්ජින් සහ අමතර කොටස් වලටද බදු සහනයක් ලබා දී ඇත.

ආණ්ඩුව කෘෂිකාර්මික ඇට සහ පැළ බද්දෙන් නිදහස් කර පැළයේ පෝෂණයට අවශ්‍ය පොහොරවලට බද්ද ගසා ඇත. එසේම මේ වන විට රුපියල් 60 – 70 නැග ඇති බිත්තරය පහළ දැමීමට මෙන්ම රට බිත්තර වෙනුවෙන් වැය කරන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට තිබෙන හොඳම විකල්පය වන කුකුළු කෑම මිල අඩු කරනවා වෙනුවට ඒ සඳහා තවත් බදු පනවා වෙනත් සත්ව ආහාර මිල බද්දෙන් නිදහස් කර ඇත. සමහරවිට ලොකු මහත්වරුන්ගේ, ලොකු නෝනලාගේ බල්ලන්, බලලුන්, අශ්වයන් වෙනුවෙන් එම පියවර ගත්තා වන්නට ද පුළුවන.

එසේම ආණ්ඩුව දේශීය රෙදි පිළි කර්මාන්තයට බදු පනවා නූල් පමණක් බද්දෙන් නිදහස් කර ඇත. විදුලිය උත්පාදනයට සම්බන්ධ ක්ෂේත්‍රවලට බදු පනවා විදුලිය බෙදා හැරීම බද්දෙන් නිදහස් කර ඇත.

මාසයකට රුපියල් හතළිස් දහසක බදු බරක්

ලබන වසරේ වැට් ආදී වක්‍ර බදු වැඩි කිරීමත් සමග සිව් දෙනකුගෙන් යුත් පවුලකට මාසයකට රුපියල් හතළිස් දාහක පමණ වක්‍ර බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුවනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා ඇත. 2023 වසර වන විට සිව් දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් 25,300 ක් වක්‍ර බදු වශයෙන් ගෙවීමට සිදුව තිබූ බවත් 2024 වසරේ එයට තවත් රුපියල් 14,700ක් වක්‍ර බදු වශයෙන් එකතු වන බවත් මහාචාර්යවරයා පවසයි.

පොහොසතුන්ට බදු සහන

දුප්පත් අහිංසක ජනතාව පිට ආණ්ඩුව බදු පිට බදු පැනවුවද මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් බදු නොගෙවා පොලු තැබූ අවස්ථා රැසක් වාර්තා වී ඇත. 2023 වසර තුළදී රුපියල් බිලියනයකට වැඩියෙන් ආනයන සිදු කර ඇති ව්‍යාපාරිකයන් 712 දෙනකු අතරින් 15% ක්ම ආදායම් බදු ගෙවා නැතැයි පසුගියදා අනාවරණය විය. මේ එක සිදුවීමක් පමණි. මේ ආකාරයේ සිදුවීම් කොතෙක් පසුගිය කාලයේ අසන්නට ලැබුණද අද වන තෙක් ඒ වෙනුවෙන් රැත් ක්‍රියාමාර්ගයක් නැත.

මුදල් අමාත්‍යාංශයෙන් කරුණු පැහැදිලි කරයි

පසුගිය 28 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් වැට් බද්ද හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ කරුණු පැහැදිලි කළේය. එහිදී ඔවුන් පැවසුවේ ඉන්ධන සහ ගෑස් සඳහා මේ වනවිට අයකරන වරාය සහ ගුවන්තොටුපළ බදු ඉවත් කරන බැවින් ඉන්ධන සඳහා බලපාන්නේ 10% වැනි ප්‍රතිශතයක් බවයි.

එසේම දැනුම ඇති ඇතැම් පිරිස් රුපියල් 40000ක බදු බරක් පැටවෙන බවට ප්‍රචාරයක් ගෙනයන බවත් එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පලතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

පාසල් සිසුන්ටත් වැට් බද්ද

අධ්‍යාපන සේවාව වැට් බද්දෙන් නිදහස් වුවද පාසල් නිල ඇඳුම්, සපත්තු, අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ආදී පාසල් උපකරණ රාශියක්ම වැට් බද්දට යටත් වේ. දැනටත් මේ සඳහා 15% ක වැට් බද්දදක් අයකරන බවත් ජනවාරි 01 සිට එය 18% දක්වා වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී.

බදු වැඩිවීමත් සමග හිඟන්නන්ගේ ඉහළ යෑමක්

දිනෙන් දින වැඩිවන ජීවන වියදමත් සමග මිනිසුන් හිඟන්නන් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ බව හෙළි වී ඇත්තේ නගර සභා සහ මහ නගර සභා 65ක් තුළ සිදු කරන ලද සමීක්ෂණයකදීය. එයට අනුව මෑතකදී කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති යාචකයන් සංඛ්‍යාව 1003 කි. එම නගර සභා සහ මහ නගර සභා 65 තුළ සිටින යාචකයන් සංඛ්‍යාව 3661 එකක් බව හෙළි වී ඇත. හෙටින් වැඩි වන වැට් බද්දත් සමඟ රට තුළ තව තවත් හිඟන්නන් වැඩිවීම අරුමයක් නොවනු ඇත. තවත් ටික දිනකින් ශ්‍රී ලංකාව හිඟන්නන්ගේ පාරාදීසය ලෙස නම් කළද ඒ ගැන පුදුම විය යුතු නැත. ඒ වෙන කිසිවක් නිසා නොව මේ යන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් බිහිවන්නේ හිඟන්නන් පමණක් වීම නිසාය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment