උරහිස පටක වියලන අවබාහුක රෝගය

336

උරහිසෙහි වේදනාවක් හටගත් විට අත ඉහළට එසවීමට හෝ සාමාන්‍ය ලෙස ක්‍රියාකරන්නට අපහසු වූ විට ඉන් විඳින වේදනාව සහ පීඩාව කෙතරම් දැයි කියා අමුතුවෙන් පැවසිය යුතු නැත.

දිනපතා තම දෑත් වෙහෙසවා බර වැඩෙහි නිරත වන පෙදරේරුවන්, වඩු වැඩ කරන්නන්, ශාරීරික සුවතා ව්‍යායාමවල යෙදෙන්නන්, කායවර්ධන ව්‍යායාමවල යෙදෙන්නන් රෙදි මසන්නන් ආදී අය බහුලවම මෙවැනි පීඩාවනට ලක්වෙති.

මෙලෙස උරහිසෙහි වේදනාවක් සහ එහි ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුකිරීමට නොහැකි වන ලෙසට පත්වීම සඳහා බලපාන හේතු රාශියක් ඇත. ඉන් වර්තමානයේ බහුලම හේතුව බවට පත්ව ඇත්තේ අවබාහුක රෝගය බව හඳුනාගෙන ඇත. එනම් පටක දිරාපත්වීමය. (Frozn shoulder) මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් කර ඇත්තේ කප දෝෂය කිපීම නිසා හටගන්නා රෝගයක් ලෙසය.

උරහිස පටක වියලන අවබාහුක රෝගය

අවබාහුක රෝගය

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව අවබාහුක රෝගය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපගේ වාත, පිත, කප යන ප්‍රධාන ත්‍රිදෝෂ අතරින් කප දෝෂය කිපීමට ලක්වීමය. කප දෝෂය කිපීමෙන් එම කිපුනු කප දෝෂ උරහිස දිගේ යාමෙන් ඒ අවට පටක වියළීම සිදු වේ. මෙම කප දෝෂය කිපීමට බලපාන හේතු අතර වම්බටු, කොස්, අල වර්ග, දෙල්, අච්චාරු ආදී ආහාර වර්ග බහුලවම ගැනීම ප්‍රධාන තැනක් ගෙන ඇත. ඒ අතරම ඇතැම් පුද්ගලයන්ගේ කප දෝෂය නිතර නිතර කිපීමට ලක් වේ. එය ඔවුන්ගේ උපතින්ම ඇතිවන තත්ත්වයකි. එය වාත ප්‍රකෘත්ත තත්ත්වයට ලක්වීම ලෙස හඳුන්වයි.

මෙවැනි පුද්ගලයන් දෑත් වෙහෙසවා දිනපතා බර වැඩවල නිරත වනවිට ඉතා ඉක්මනින් අවබාහුක රෝගයට ගොදුරු වේ.

රෝග ලක්‍ෂණ

අවබාහුක රෝග තත්ත්වයේදී මතුවන අපහසුතා වැඩි වශයෙන්ම දැනෙන්නේ රාත්‍රි කාලයටය. එවිට උරහිස ප්‍රදේශයේ අධික වේදනාවක්, අත සෙලවීම, ක්‍රියා කිරීම ආදියට අපහසුතා ඇති වේ.

මෙම රෝගයේදී රෝගියාට තනිව අත එසවීම ක්‍රියා කිරීමට අපහසු වේ. ඒ සඳහා අන් අයගේ සහාය ලබා ගැනීමට සිදු වේ.

ප්‍රතිකාර

උරහිස වේදනාවට බලපා ඇත්තේ අවබාහුක රෝග තත්ත්වය දැයි නිවැරදිව හඳුනාගත යුතුය. මෙවැනි රෝග ලක්‍ෂණ උරහිසේ ඇතිවූ ගැටිත්තක්, පටක ඇදීමක්, මාංශපේශි සිරවීමක් නිසා ද හටගනී. එනිසා රෝගය නිසි ලෙස හඳුනා ගැනීමට විශේෂ පරීක්‍ෂාවන්ට රෝගියාව යොමුකරනු ලැබේ. ඒ සඳහා වූ පරීක්‍ෂාවන් දේශීය වෛද්‍ය ක්‍රමයෙහි ඇත. එම පරීක්‍ෂාවන් මගින් උරහිස වේදනාවට බලපා ඇත්තේ අවබාහුක රෝගය බවට නිවැරදිව හඳුනා ගැනීමෙන් පසු ඊට අදාළ ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි. එහිදී වියළීමට ලක්වූ පටක නැවත තෙත් කර මෘදු බවට පත් කළ යුතුය. ඒ සඳහා සුවිශේෂී ඖෂධ වර්ග දේශීය ප්‍රතිකාර තුළ ඇත.

එලෙස මෘදු බවට පත් කළ විට උරහිස බාහුව වෙත රුධිර ගමනා ගමනය නිසි ලෙස සිදු වේ.

මෙසේ පටක මෘදු කිරීමට දොඹ තෙල් ඇතුළු විශේෂ ශාකසාර ඖෂධ වර්ග භාවිත කරනු ලබයි.

ඊට අමතරව වියළීමට ලක්ව ඇති උරහිස ප්‍රදේශය ඖෂධ පොට්ටනි මගින් තැවීම, නිල ප්‍රතිකාර සිදු කිරීම, ස්ථානීය තෙරපුම සිදුකිරීම, සම්බාහනය වැනි ප්‍රතිකාර ක්‍රම භාවිත කරනු ලබයි.

එසේම වියළී ඇති පටක නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පෝෂණය ලබාදීම ද කළ යුතුය. ඒ සඳහා උඳු ඇට පොට්ටනිය, කොල්ලු පොට්ටනිය ආදී ඖෂධ පොට්ටනි භාවිත කර තැවීම මගින් වියළී ඇති පටකවලට නිසි පෝෂණය ලබාදිය හැකිය.

මෙමගින් ඉතා පහසුවෙන් අවබාහුක රෝගය සුවපත් කිරීමට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර ඇත.

මෙවැනි ප්‍රතිකාර මගින් වියළී ඇති පටක යළි සාමාන්‍ය තත්ත්වයට පත් කළ පසු උරහිස සන්ධියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අයුරින් සිදුකිරීම සඳහා අවශ්‍ය ව්‍යායාමවලට ද රෝගියාව යොමුකරනු ලැබේ. එය වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය.

මෙලෙස සිදුකරන ප්‍රතිකාර මගින් මතුව ඇති අවබාහුක රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0772873444 ඇමැතිය හැකිය.

උරහිස පටක වියලන අවබාහුක රෝගය

දේශීය වෛද්‍ය කේ. ප්‍රශාන්ති
ශ්‍රීපති සුව සෙවණ
නාගොඩ, කළුතර.

advertistmentadvertistment
advertistmentadvertistment