යළි ශ්‍රී ලංකාවට යවන්න කියා ඕමාන් තානාපති ළඟ කාන්තාවෝ පිරෙති

215

ගෘහ සේවිකාවන් ලෙස ඕමානයට පැමිණ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් අති විශාල පිරිසක් යළි ගම් රට බලා යා යුතු බව කියමින් ඕමාන තානාපති කාර්යාලය වෙත පැමිණියත් එම පිරිස ලංකාවට යැවීම සඳහා මූල්‍ය පිරිවැය සම්බන්ධ අර්බුදයක් මතුවී ඇතැයි එම තානාපති කාර්යාලය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

විසිට් වීසා මත ඕමානයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය ඉකුත් මාස කිහිපයේදී ඉහළ යෑම නිසා එය පාලනය කරන ලෙසට ශ්‍රී ලංකාවේ වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දුන්නත් ඊට අවශ්‍ය පියවර ගෙන නැතැයි ද එහි සඳහන් වෙයි.

මිනිස් ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකික කාන්තාවන් විසිට් වීසා මත ඕමානයට ගෙනැවිත් අතරමං කිරීම් හා ගණිකා ව්‍යාපාරය සඳහා විකිණීම සිදුකර ඇතැයි වාර්තා වූ සිද්ධියෙන් පසු එරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ආපසු ශ්‍රී ලංකාවට යා යුතු බවට මෙලෙස දැනුම් දී ඇත.

ඕමාන් හි සිටින බව කියන මෙම ශ්‍රී ලාංකික කතුන් ආපසු මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වන්නේ දැයි “දිවයින” කළ විමසීමේදී කාර්යාංශය කියා සිටියේ දැනට සුරක්‍ෂා ආරක්‍ෂක නිවස්නයේ සිටින 77 දෙනා මෙරටට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබුණ බවයි. මෙම හැත්තෑහත් දෙනාගෙන් හැටපස් දෙනකුම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විසිට් මත එරටට ගිය පිරිසකි.

මීට අමතරව ඩුබායි හි සුරක්‍ෂා නිවාසයේ සිටින තවත් කාන්තාවන් හැත්තෑහතක් මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කරන බවද කාර්යාංශය සඳහන් කළේය. එම පිරිසෙන් හත්දෙනකු විසිට් වීසා මත එරටට ගිය අයය.

ඕමාන් හා ඩුබායි හි නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යැවීම තාවකාලිකව නතර කර ඇත. දැනට තානාපති කාර්යාලය සඳහන් කරන සෙසු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවද කාර්යාංශය සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment