තිරිඟු පිටි මිල අස්සේ ජනාධිපතිවරණය අනුරගෙන් චෝදනාවක්

249

රුපියල් 35ක ලාභයක් ද සහිතව රුපියල් 160කට තිරිඟු පිටි කිලෝවක මිල නියම කළ හැකි වුවද ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් එම පිටි කිලෝවක් රුපියල් 210කට අලෙවි වන බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) කීවේය.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට සහ තිරිඟු පිටි මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන තත්ත්වය හා ඩොලරයේ අගය අඩුවී තිබියදී පවා මෙරටට පිටි ආනයනය කරනු ලබන සමාගම් අධික ලාභයක් ලබන බව ද හෙතෙම පැවසීය.

මෙසේ මිල අඩු කිරීමට ආණ්ඩුව මැදිහත් නොයනුයේ අධික ලාභ ලබා ගන්නා එම සමාගම්වලින් මැතිවරණ ව්‍යාපාරයේදී මුදල් ලබා ගැනීමට යැයි ද හෙතෙම චෝදනා කළේය. එම සමාගම් මෙරට මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම ජනප්‍රිය කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

මේ වන විට ඩොලරයේ අගය අඩු වෙමින් පවතින තත්ත්වයකදී වුවත් පිටි මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි ද 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ කියා සිටියේය.

තිරිඟු පිටි ආනයනයේදී මේ වන විට රුපියල් 35ක බද්ද ද ඉවත් කර ඇති අතර එමගින් ද ආණ්ඩුවට විශාල පාඩුවක් වන බව කී මන්ත්‍රීවරයා ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අඩු වන තත්ත්වයකදී එම පිටි ආනයනය කිරීම ද වළක්වා ඇතැයි ද කීය.

“මෙම තීරණය අරගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයෙන් නොවෙයි. පිටි ආනයනය කරන ආනයනික බලපත්‍ර ද දැන් නිකුත් කෙරෙන්නේ නෑ. සමාගම් දෙකක් විතරක් ඒකාධිකාරීත්වයක් පවත්වාගෙන යනවා. ඒවා බහු ජාතික සමාගම්. ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය අරමුදල් මේ සමාගම් මගින් මේ වන විට හදනවා. මේක තමයි තිබෙන එකඟතාව. හැම ජනාධිපතිවරණයකට ම ඒ සමාගම් මුදල් ලබා දෙනවා. ඒක තමයි මේ දැන් පිටි මිල අඩු කරන්නේ නැත්තේ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment