යෑමෙන් හොඳ යෑම මිය පරලොව යෑම…කෙහෙළියලා කියන්නේ ඒකද තාම?

139

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය මරණ මංචකයෙහි දැයි සමහරු ප්‍රශ්න කරති. සෞඛ්‍ය පද්ධතිය බරපතළ කඩාවැටීමකට ලක්ව තිබියදීත්, සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ පිළිබඳව සංවේදී නොවන බවට ද තවත් පිරිසක් චෝදනා කරති. මේ ලියන මොහොත වනවිටත් පාර්ලිමේන්තුව උණුසුම් කරන ප්‍රමුඛ සංවාදය බවට පත්ව තිබුණේ ද සෞඛ්‍ය සේවයෙහි අකාර්යක්‍ෂම බව, දූෂිත හා අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා පොදුජන ජීවිතවලට එල්ල වී තිබෙන අනතුරු සම්බන්ධ වාද විවාද විවේචන විමර්ශන ආදියයි. විපක්‍ෂ නායක සජිත් ප්‍රකාශ කළේ සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කරමින් සිටින බවය. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වූ රාජිත සේනාරත්න අවධාරණය කළේ අදටත් වඩා හෙට අනිද්දා වනවිට තවත් විපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවය. ජා.ජ.බ. අනුර කුමාර විසින් ද සෞඛ්‍ය සේවයේත් විශේෂයෙන් රෝහල් පද්ධතියේ බිඳවැටීමක් පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයාට චෝදනා පත්‍රයක්ම ඉදිරිපත් කළේය.

සෞඛ්‍ය ඇමැතිවරයා තමන්ට යොමු කෙරෙන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා සදාචාරය පිළිබඳව ද සිහිපත් කරවමින්ය. ඒ දේශපාලන වාද විවාද අපට නම් වැදගත් නැත. අපට වැදගත් මේ අනතුරුදායක තත්ත්වයෙන් නිදහස් සෞඛ්‍ය සේවයත්, එයින් සුව සෙත අපේක්‍ෂා කරන බහුතර ජනතාවගේත් ඉරණමට එල්ල වී තිබෙන මරණීය අනතුර වළක්වා ගැනීමේ සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පමණි. රෝහල්වලට ඇතුළුවන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පිරිසක් මල්ශාලා ඔස්සේ පෙට්ටිවලින් ගෙදර යෑම ඉක්මන් කරන සෞඛ්‍ය සේවයක් රටක තිබේනම් එබඳු මුස්පෙන්තු රටක ජීවත් වීම පවා පවකැයි අපට සිතේ. මරණය යනු උපතින් රැගෙන එන සනාතන නියමයක් වුවද ඒ මරණය යහපත් මෙන්ම යුක්තිසහගත එකක් විය යුතු බව ආගමික නායකයන් පමණක් නොව නවීන විද්‍යාඥයන් විසින් ද පිළිගනු ලබයි. බුදුන් වදාළේත් කර්මානුරූපව මරණය සිදුවුවත්, එයට යථාර්ථවාදීව මුහුණ දීම සඳහා ප්‍රතිපත්තිමය ජීවිතයක් අවශ්‍ය බවත්ය.

බුද්ධකාලීන සමාජයේ සිටි කිසාගෝතමී මරණය ගැන නොදැන සිටි අසරණ තරුණ මවකි. බුදුන් සොයා ගිය ඇය මරණය ලෝක දහමක් බව පසක් කර ගත්තී සසරින් ද මිදුණාය. මරණය ගැන ලියැවුණු දාර්ශනික අදහස් ද බොහෝය.

මහගමසේකර කවියාත් ලියා තිබුණේ “මරණය ජයග්‍රහණයකැයි සිතේ මට” යනුවෙනි. ජීවිත කලකිරීම අපේක්‍ෂා භංගත්වය පමණක් නොව කළහකාරිත්වය බල අරගල, ධන තෘෂ්ණාව ආදී බොහෝ හේතු මෙම මරණය සම්බන්ධ කතාවට ඈඳෙන බව ද රහසක් නොවේ. බිහිසුණු යුද්ධ හා එබඳු අරගලවලදීත් මරණය අනිවාර්ය වේ. ඉකුත් ත්‍රස්තවාදී සමයේදී පමණක් නොව පාතාල මෙහෙයුම් නිසා ද සිදුවන මරණ පිළිබඳ අප කාටත් අත්දැකීම් තිබේ. එහෙත් මරණය සිල්ලර හා තොග වසයෙන් සිදුවන රටක්, කාලවකවානුවක් කිසිවෙක් අනුමත නොකරති.

කෙසේ හෝ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන මෙම මරණ අප කිසිවෙකුට සාධාරණකරණය කළ නොහැක. පේරාදෙණියේ රෝහලේ දී නොකල්හි මරු වැළඳගත් චමෝදි සංදීපනී යෞවනියගේ සිද්ධිය මහත් සමාජ ආන්දෝලනයකට තුඩු දුන්නකි. ඒ මරණයට මෙන්ම දිගින් දිගට ම රෝහල්වල සිදුවූ විවිධ මරණවලට හේතුව ලෙස නිර්වින්දන ඖෂධ, රෝහල්වල අවිධිමත් බව ආදී කරුණු සමාජගත වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් ඒවාට කවර හේතු සාධක දැක් වුවත්, එලෙස මියගිය අයගේ පවුල්වලින් හා වෙනත් විවිධ පාර්ශ්වවලින් ද චෝදනා එල්ල කෙරෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ටය. සෞඛය වෘත්තිකයන් විසින් ද මේ පිළිබඳව කරන ලද විශ්ලේෂණවල හරය වූයේ සෞඛ්‍ය ඇමතිවරයා මෙයට වගකිවයුතු බවකි.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම්, ඖෂධ ජාවාරම්කරුවන්ගේ මෙහෙයුම්, බාල ඖෂධ මිලදී ගැනීම් මෙන්ම ඒ කටයුතු සඳහා ප්‍රවීණ හා විශේෂඥ අදහස් ලබානොගැනීම, දේශපාලන ප්‍රතිලාභ විනා ජනතාවගේ නිරෝගී බව නොතකා හැරීම වැනි අධි චෝදනා පත්‍ර ද මෙහිදී ඉදිරිපත් වී තිබේ. මේ වනවිට සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් එම ඖෂධවල සාධනීය ගුණ දොස් විමර්ශනය භාරව සිටියි. ඊට අමතරව පාර්ලිමේන්තුව තුළ රැගෙන එන විශ්වාසභංග විවාදය පැවැත්වුවහොත් මේ අර්බුදයට තුඩු දුන් බොහෝ දේ අනාවරණය කර ගත හැකි වේ.

එමගින් සිදු වන සියලු කරුණු අනුව විධිමත් හා ක්‍රමවත් ලෙස සෞඛ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීමට ද පියවර ගත හැකිය. එහෙත් ඒවා කෙතරම්දුරට සාධනීය වාද විවාද වනු ඇද්දැයි අපට කිව නොහැක.

දැනටමත් මේ ප්‍රශ්නය අරභයා දෙපිලක් සිටිති. ආණ්ඩුව යොමු වන්නේ මෙයින් සත්‍යය හා යුක්තිය හඳුනාගැනීමට වඩා තම සගයා බේරා ගැනීමට විය හැකිය. පසුගිය දින කීපය තුළ පුළුවන් නම් විශ්වාසභංගය දිනපල්ල යන අභියෝගය ද සමහරු විපක්ෂය ප්‍රමුඛ වෘත්තිය හා සිවිල් ක්‍රියාකාරීන්ට ලබා දුන්හ. අද මෙරටේ පොදුජන ජීවිතවලට එල්ල වී තිබෙන හැම විපතක් දෙසම ආණ්ඩුව බලන්නේ දේශපාලනික හා පක්ෂග්‍රාහී දෘෂ්ටි කෝණවලින් විනා ජනතාවගේ ඇසින් නොවේ. සත්‍යයේ හා සාධාරණත්වයේ පඩිය ඇත්තේ ආණ්ඩුවට බරවය. දේශපාලනය තව තවත් කුණු වෙමින් තිබුණත් ජනතාවගේ සාධාරණ හා අනිවාර්ය පහසුකම් හෝ ලබාදෙන තැනකට ආණ්ඩුව ගමන් කරන බවක් ද නොපෙනේ.

යෑමෙන් හොඳ යෑම මිය පරලොව යෑම…කෙහෙළියලා කියන්නේ ඒකද තාම?

මේ ආණ්ඩුව අද පොදුජනයාගේ අතිශය වැදගත් නිදහස් සෞඛ්‍ය සේවය සමග සූදු කෙළින තත්ත්වයකට පත්ව සිටින බව කියන්නේ වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවයේ විවිධ අංශවල සේවය කරන පිරිස්මය. මෙරටේ නිදහස් සෞඛ්‍ය අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ නිලබල සහිත චරිතවලට නොව එදා වේල පිරිමහ ගන්නා ජනතාවටය. සෞඛ්‍ය සේවය බින්දුවට වැටුණත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් ලබාගැනීමට පොදු ජනතාවට නොහැකිය. රෝහලේදී නලාව තියා දොස්තරවරයකු ලවා ලෙඩේට බෙහෙත් ලියවා ගත්තත් ඒ බෙහෙත රෝහලේ නැත්නම් ඔවුහු අසරණ වෙති. මව් කිරි ගැන සම්මන්ත්‍රණ තිබුණත් මව් දෙතනේ කිරි කඳුළක් එරෙන්නට වුවමනා ආහාර වේලක් ඒ බොහෝ අම්මලාට නැත. බිත්තරයක් හතරට කපා දරුවන්ට බෙදා දීමට අම්මලාට සිදුව තිබේ. ගෙදරින් හිස් බඩ පාසලට එන දරුවකුට වතුර පොදක් බීමට ලැබෙන්නේ පාසලේ ‘වතුර පයිප්පය’ ලෙස හැඳින්වෙන මෙවලම තිබුණොත් පමණි. පානීය ජලය වර්ණනා කෙරෙන රූපවාහිනි දැන්වීම් කොතරම් ද? එහෙත් ගමේ ඇළ දොළවත් පිරිසිදුව තබාගැනීමට දේශපාලන හෙන්චයියලා ඉඩ නොදෙති.

අද සෞඛ්‍ය පද්ධතිය පමණක් නොව හැම ක්‍ෂේත්‍රයකම ඇත්තේ බරපතළ බිඳ වැටීමකි. ආණ්ඩුවට අද වුවමනා රටේ ආර්ථික සමෘද්ධියට වඩා තම දේශපාලන පැවැත්මය. පසුගිය දිනක මන්ත්‍රී පිරිසක් උනන්දු වූයේ මැතිවරණ කොමිසම නිසා ඔවුන්ගේ වරප්‍රසාද අහිමි වී තිබේදැයි විමසා බැලීමටය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් අහෝසි කර තිබෙන අධිපතිවාදී දේශපාලනයක ගොදුරු බවට රටත් ජනතාවත් පත්ව තිබුණත් තවමත් රණ්ඩු කරන්නේ බලයට හා නිලයටය. ජනාධිපති ලෙස රනිල් පත්ව වසරක් ගෙවෙද්දී රටේ සැබෑ ආර්ථිකය හා දේශපාලනය පිළිබඳව අපට සතුටු විය හැකි ද? එජාපයේ ඇතැම් නායකයන් කල්පනා කරන්නේ ජනාධිපති රනිල්ගේ මාර්ගයෙන් යළි බලය ලබාගැනීමටය. එහෙත් ජනාධිපති රනිල්ට එබඳු මානසිකත්වයක් නැති බව ඔහු දෙස සියුම්ව බලා සිටින පුරවැසියන්ට පෙනී යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් හා සැලසුම්වලට අනුගත වීමෙන් රටේ ආර්ථිකය සපුරා ගොඩ ගත නොහැකි බව ජනාධිපති රනිල් කියයි. එහෙත් පොහොට්ටුවත් රනිල්ගේ බැතිමත් අනුගාමිකයනුත් අතර සීතල යුද්ධයක ලකුණු ද දැක ගත හැකිය. ඇත්ත වශයෙන්ම විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදල් – භාරකාර මුදල් ආදිය සම්බන්ධ ක්‍රියාකාරකම් මෙන්ම බදු ප්‍රතිපත්ති ගැන ද දැඩි විවේචන ඇත. සමෘද්ධිය වෙනුවට යෝජනා වූ අස්වැසුම තවත් ගිනි බෝම්බයක් බවට පත්ව තිබේ. ඒවා සමාලෝචනය කිරීමට හෝ ප්‍රතිසැලසුම් කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නැත. රටේ මූලික ප්‍රශ්නය සෞඛ්‍ය අර්බුදය වුවත් එයට වඩා වෙනස් සමාජ ප්‍රශ්න ගණනාවක්ම ඇත.

ජ.වි.පෙ. අනුර කුමාර විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදීත් වෙනත් විද්වත් හමුවකදීත් මෙරටේ දේශපාලන ක්‍රියාන්විතවල දූෂිත හා බිහිසුණු බව පුන පුනා ප්‍රකාශ කර තිබිණි. බහුජාතික සමාගම් තිරිඟු පිටි මිල සමග පන්දු කෙළින හැටිත් ඒ මුදල් දේශපාලන ක්‍රියාකාරකම්වලට භාවිත වන ආකාරයත් ඔහු පෙන්වා දී ඇත. දේශපාලනය නිසා පොලිස් සේවය බින්දුවට වැටී ඇතැයි ද ඔහුගේ තවත් චෝදනාවකි. පොලිස්පති පුටුවට සුදුසු ජ්‍යොෂ්ඨ නිලධාරීන් කීප දෙනාටම විවිධ චෝදනා එල්ල වී ඇතැයි ද ඔහු පවසා තිබේ. මේවා වෙනත් කුමක් හෝ හේතුවක් නිසා තාවකාලිකව යටපත් වුවත් සමාජ – දේශපාලන හා ආර්ථිකය සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙන අර්බුද බව නිසැකය.

දින කීපයකට පෙර කොළඹදී පැවැත්වනු වෘත්තිකයන්ගේ සම්මන්ත්‍රණයකදී වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් පළවූ අදහස්වල හරය වන්නේ ද ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සිතියම හකුළා දැමීම සඳහා සට කපට ලෙස ක්‍රියාත්මක වී සිටින බවය. විශේෂයෙන්ම ඔවුන්ගේ චෝදනාවක් වූයේ රටේ ආර්ථික බංකොලොත් භාවය පිළිබඳ අධිකරණයේ අවධානය යොමුව තිබෙන පසුබිමක ඒ සම්බන්ධ කමිටු පත් කිරීම උචිත නොවන බවය. ආණ්ඩුව නිශ්චිත හා නිවැරදි දේශපාලන සැලැස්මක් අනුව ක්‍රියා කරන බවක් ද නොපෙනේ. දූෂණය, අල්ලස, කොමිස් ආදිය සම්බන්ධයෙන් සැක මුසු අනාවරණ කෝප් කමිටුවේදී සිදු වුවත් ඒවා උඩු ගුවනේ පාවෙන දේවල් පමණි.

කෙසේ හෝ මේ වනවිට රටේ ප්‍රමුඛ අර්බුදය ලෙස සංවාදයට ලක්ව තිබෙන නිදහස් සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම හුදු දැන් සාකච්ඡාවට ලක්ව තිබෙන කරුණුවලට සීමා වූවක් ද යන කුහුල අප තුළ ඇත. එයට එක් හේතුවක් වන්නේ මතභේදයට ලක්ව තිබෙන ඖෂධ නියාමන කොමිසම හා ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් නැඟෙන චෝදනාය. අද හැම ක්‍ෂේත්‍රයකට සියුම්ව සිදු කෙරෙන ජාවාරම්කාරයන්ගේ මෙහෙයුම් ගැන ඇසෙයි. ඇත්ත වශයෙන්ම මෙරටේ සෞඛ්‍ය සේවයට ජාවාරම් සම්බන්ධ කුප්‍රකට ඉතිහාසයක් ද ඇත. විශේෂයෙන් හැත්තෑව දශකයේ දී සමගි පෙරමුණු පාලන සමයේ මහාචාර්ය සේනක බිබිලේ විසින් ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන දන්නා අය කී දෙනෙක් සිටිත්ද? ඖෂධ මාෆියාව ලොවම එකට ගැට ගසන බිහිසුණු යෑමක් වැන්න. කුමක් වුවත් මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය වූ නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපනය කිරීමට ඔහුට ඉඩ නොලැබුණු බව ද අපට මතකය.

ඖෂධ නම් කිරීමේදී වෙළෙඳ නාමය වෙනුවට ඖෂධීය නාමය යොදා ගත යුතු බව මහාචාර්ය බිබිලේගේ නිර්දේශයක් විය. රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ඖෂධ මිලදී ගැනීමේ යෝග්‍යතාව ද ඔහු පිළිගත් මූලධර්මයකි. බහුජාතික සමාගම්වලට යන ජනතා මුදල්, පොදුජන යහපත උදෙසා යෙදීම එදා සේනක බිබිලේගේ අපේක්ෂාව වුව ද ඔහුට ඒ ඉලක්ක සපුරා ගත නොහැකි විය. එසේ වුව ද ඔහු විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ තුන්වන ලෝකයේ ජනතාවාදී මහජන නියෝජිතයන්ගේ ද පැසසුමට ලක් විය. ඒ කුමක් වුවත් මහාචාර්ය බිබිලේගේ මරණය සම්බන්ධයෙන් ඒ දිනවල පළවූ ඇතැම් වාර්තාවල ඔහුට තිබුණු ජාත්‍යන්තර තර්ජන ගැන ද කරුණු ඉදිරිපත් වූ බව ද අපට සිහිපත් වේ.

මෙවන් පසුබිමක අද උද්ගතව තිබෙන මෙම නිදහස් සෞඛ්‍ය සේවයේ පරිහානියට නිසි විසඳුම් ලබා එම සේවය අපේක්ෂා කරන නැති බැරි මිනිසාට යුක්තිය ඉටු කළ යුතු බව ද කිව යුතුය. සෞඛ්‍ය පමණක් නොව මෙරටේ හැම සේවයක් සඳහාම සුපිරි පන්තියට පහසුකම් තිබේ. අප දන්නා තරමින් කිසිම ආණ්ඩුවක නායකයෙක් තබා ඇමතිවරයෙක්වත් රජයේ රෝහලකට නොයන්නෝය. ගියත් ඒ මහජන මුදලින් ලබාදුන් සේවයක් විවෘත කර එහි තම නම ඔබා තිබෙන උත්සවයක් සඳහා පමණි. ඉස්පිරිතාල ගඳ පවා ඔවුන් අපුල දනවයි. එහෙත් අදත් ජනතා විශ්වාසය දිනාගත් වෛද්‍යවරු හෙද හෙදියන් ආදී පිරිස් සිටිති. කාරුණික හෙදියන්ගේ සුරතින් පැන් බිඳක් බී මානසික සුවය ලබන්නෝ ද වෙති. ඒ නිසා සෞඛ්‍ය සේවය සුරැකීම සඳහා අරගලයක් කළ යුතු නම් ජනතාව ද එයට ආශීර්වාද කරනු නිසැකය. එය පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්නයක් නොව පුළුල් සමාජ හා මානව අයිතිය පිළිබඳ ප්‍රශ්නයකි. එයට උඩින් පැන යෑමට ආණ්ඩුවකට ඉඩ නැත. යම් ප්‍රමාණයක හෝ ඉතිහාස දැනුමක් පාලකයන්ට තිබේ නම් මෙරටේ විසූ බුද්ධදාස වැනි රජවරුන් ගැන පමණක් නොව අනුරාධපුරයට අයත් බෙහෙත් ඔරු ආදිය පිළිබඳව ද දැන සිටිය යුතුය. එහෙත් මේ දේශපාලන බිස්නස් එකත්, එයට කුඩ ඔසවන චෞර වළල්ලත් මේ රට ගෙන යන දිසාව ගැන නම් සියලු ප්‍රබුද්ධ ජන කොටස්වල දැඩි අවධානය යොමු විය යුතුය.

මේ සෞඛ්‍ය අර්බුදයෙන් රට ගිනියම් වෙද්දී ජනාධිපති රනිල් සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටියි. එම ඉන්දීය සංචාරයට පෙර ජනාධිපතිවරයා හා දෙමළ නායකයන් අතර සිදු වූ සාකච්ඡාව ද දේශපාලනිකව වැදගත් එකක් බව අපගේ අදහසය. මෙහිදී ජනාධිපති රනිල් ඉතා පැහැදිලිවම සිය ස්ථාවරය ද දෙමළ නායකයන්ට දන්වා තිබිණි. සුමන්තිරන්ට නම් ඒ සාකච්ඡාව ඉන්දියාවට යෑමට පෙර ජනාධිපති රනිල්ගේ නාටකයක් ලෙස පෙනී ගොස් ඇත. එහෙත් මේ ප්‍රශ්නය ඉවර කිරීමේ අදිටන ජනාධිපති රනිල්ට තිබේ. තමන් රනිල් වික්‍රමසිංහ විනා රනිල් රාජපක්ෂ නොවන බව පැවසුවේත් ඒ නිසාමය. කුමක් වුවත් මෝදි හා රනිල් හමුවේ අතිශය වැදගත්ම දේශපාලන තේමාව එම සාකච්ඡාව විය හැකිය. අපි බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment