නිදාගන්න තැනක් හොයන වීදියේ බණ්ඩාරලා

385

රවුඩි පොතේ ස්ලීපීන් හවුස්
ඩොල්කි මාස්ටර්ගේ දහසේ කාමරේ
ප්‍රයිවට් බස්වල සැපට නිදන අය
දුම්රිය නැවතුම් ප්‍රසිද්ධ බස් නැවතුම් ස්ථාන මේ අයගේ නවාතැන්

රජ ඇඳුම් මාළිගා අහසේ සිරි යහන් ගබඩා හෝ සෙන්පති පදවි නැති “විදියේ බණ්ඩාරලා” අදත් සිටී. මෙවැන්නන්ට වීදියේ බණ්ඩාර කියා උපහාසයට කීවත් ඇත්ත වශයෙන්ම ඔවුන් ගෙයක් දොරක් නැති හිසට සෙවණක් නැති සැපට සැතපෙන්නට සුව යහනක් ඇඳ ඇතිරිල්ලක් නැති මහ මග නිදා ගන්නන්ය.

Street SleePepers මහ මග නැත්නම් වීදියේ නිදන්නන් යැයි අද මා සටහන් කරන මේ අය හිඟන්නන් හෝ යාචකයන් නොවේ. දහවල් කාලයේ සමාජයේ සම්මත රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතවෙමින් දවසේ වේල් තුන නියමිත අයුරින් බඩට දමාගෙන අන් අයට කිසිදු අඟ හිඟකමක් බාහිර සමාජයට නොපෙන්වන මෙවැනි වීදියේ නිදන්නන් අදටත් සිය දහස් ගණන් කොළඹ නගරයේත් මහනුවර, ගාල්ල, මාතර, කතරගම ආදී ප්‍රදේශ බහුතරයක සිටින බව දන්නේ කීයෙන් කී දෙනාද? සමහරවිට ඔබගේ රැකියා ස්ථානයේ වැඩපළේ හෝ ව්‍යාපාරික ආයතනයේද මෙවැනි අය සිටින්නට පුළුවන. බාහිරින් කිසි වෙනසක් නැතත් ඇතුළාන්තයෙන් අනන්තවූ පීඩා විඳින මෙම පිරිස ගැන සමාජය දැන සිටීම වැදගත් යැයි මම සිතමි.

රටේ පවතින යම් යම් අර්බුදකාරී තත්ත්වයන් නිසා නිතර පොලිස් හා හමුදා සෝදිසි කිරීම්, ආරක්‍ෂක මෙහෙයුම්, ජංගම මුරකාවල් ආදී දේ නිසා පීඩාවිඳින තවත් එක් පිරිසකි මොවුන්. එමෙන්ම නගර සභාවේ විශේෂයෙන්ම කොළඹ නගර සභාව මගින් රාත්‍රියට ක්‍රියාත්මක කළ ජංගම වතුර බවුසර් සංග්‍රහය ද මොවුන්ගේ රාත්‍රී ජීවිතයට තවත් බාධාවකි. ඇත්ත වශයෙන්ම කාරණා කිහිපයක් නිසා මේ මිනිස්සු නිවසක් නැතිව මහ මග, මහ පාරේ බස් නැවතුම්පළවල හෝ වෙනත් එවැනි ආවරණය වූ ස්ථානවල රාත්‍රියට නිදා ගනී. ඒ වෙන කරන්නට දෙයක් නැතිම නිසා විය යුතුය.

නිවසින් බොහෝ ඈත පළාත්වල රස්සාව කිරීම, කුලී නිවසක් හෝ බෝඩිමක් සඳහා මුදලක් ගෙවීමට තරම් ආර්ථිකය ශක්තිමත් නොවීම, නිවසක් තිබුණද එහි ඇති ඉඩ ප්‍රමාණය පවුලේ සිටින සියලු සාමාජිකයන් සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීම, නිවසේ සමාදානයෙන් නිදා ගැනීමට ඇති බාධා ඉන් කාරණා කීපයකි.

මෙයට වසර කිහිපයකට පෙර ගාලුමුවදොර සහ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ යනු මෙවැනි රාත්‍රී කාලය පිටත ගත කරන්නන්ට out door slee තෝතැනි ලෙස පැවතුනි. නමුත් අද පවතින අනාරක්‍ෂිත තත්ත්වය නිසා රාත්‍රීයේ තබා දවාලේවත් එවැනි ස්ථානවල ගැවසීම සපුරා තහනම් කර තිබේ. එදා ගාළුමුවදොර සුන්දර තනතිල්ල පිටිය මැද සිමෙන්ති බංකු, බණ්ඩාරනායක සමරු ප්‍රථිමාව, තල් ගස් සෙවණ ආදී තැන්වල සිය ගණන් ගෑනු මිනිස්සු රෑ දවල් වෙනසක් නැතිව ගිමන් නිවීමටත් රාත්‍රීය ගත කිරීමටත් ප්‍රවනතාවයක් දැක්වූ අතර අද එය දවාලටත් අමු සොහොනක සිරි උසුලයි. කාකි හෝ කැලෑ නිල ඇඳුම් ලූ ආරක්‍ෂක නිලධාරීන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශයේ අය හැරුණු කල වෙන මිනිස් පුළුටක් පවා දැකීම උගහටය. අවසරලත් වාහනවලට ගමන් කරත හැකි වුවත් ඒ සෑම වාහනයක්ම දැඩි ලෙස පරීක්‍ෂාවට ලක් කරයි. සමහර තැන්වල පයින්ද තවත් සමහර තැන්වල ත්‍රීරෝද රථද යෑම තහනම්ය. පසුගිය අරගල සමයේ ගාළුමුවදොර පමණක් නොව ඒ අවට ප්‍රදේශද දිගින් දිගටම out doo sleepers ගේ රජ දහනක් බවට පත්වී තිබේ.

ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවක කාර්යාල කාර්ය සහයකයෙකු වන සිසිත කියන පරිදි මෙය ඔහු ලද විශාල අසාධාරණයකි. මං අවුරුදු නවයක්ම රෑට නිදාගත්තේ ගෝල්ෆේස් එකේ බංකුවක් උඩ…. අටට නවයට විතර කොල්ලුපිටිය හෝටලකින් මොනවා හරි කාලා රෑ එකොළහ වෙනකොට එතනට එනවා. ට්‍රැවලින් බෑග් එකෙන් සරම අරන් ඒක ඇඳගෙන රෙද්දක් බිම එලාගෙන බෑග් එක ඔළුවට තියාගෙන හොඳට නිදා ගන්නවා. ඇහැරෙන්නේ උදේ පාන්දර කාක්කන්ගේ සද්දෙට. ඊට පස්සේ කොම්පක්‍ද්ක්‍දවීදියේ නාන බාල්දියට ගිහින් හොඳට නාගෙන වැඩට යනවා. පුළුවන් තරම් ඕවර් ටයිම් කරලා ආයිත් රෑට ගෝල්ෆේස් එනවා.

මාතලේ පැත්තේ වලව්වක උපන්නත් සිසිත තම අසාර්ථක පවුල් ජීවිතය නිසා ගම නොයයි. සහෝදරයන් විසින් කරන ලද වංචනික ක්‍රියා නිසා ඔහුට අයිතිවන්නට තිබූ ඉඩකඩම් ද අහිමිව ගොස් ඇත. වෙන්වූ බිරිඳ හා දියණිය ගාල්ල පැත්තේ වසන අතර ඔහු මාසිකව ගතමනාවක් ඔවුන්ට මනි ඕඩරයක් මගින් තැපැල් කර යවයි. ගෝල්ෆේස් එක තහනම් අඩවියක් වුවද ඔහු තාමත් රාත්‍රිය ගත කරන්නේ මහමගය. ඒ කොහේ හෝ අඳුරු පදික වේදිකාවක නැත්නම් බස් නැවතුමකය.

සිසිත වැනි අය සිය දහස් ගණනක් සිටින බව අපි කීවෙමු. ඔවුන් වැඩි දෙනෙක් එසේ පාරේ නිදන්නේ බෝඩිමකට නොදී කීයක් හෝ ඉතිරි කර ගන්නටයි.

පෞද්ගලික ආරක්‍ෂක සේවයක වැඩ කරන නන්දන තම විවේකය ගත කරන්නේද මහමගය. ඔහුට ද නිවාඩු දිනවල විවේක සුවෙන් ඉන්නට හෝ සැපට පොඩ්ඩක් නිදාගන්නට නගරයේ කාමරයක් හෝ නවාතැනක් නැත. දෙමාපියන් හා දරු පවුල වෙසෙන්නේත් හැතැප්ම සිය ගානක් එහා හිඟුරක්ගොඩ දිවුලංකඩවල බැවින් පහසුවෙන් එහි යාමද කළ නොහැක. නිතර නිතර තම සේවය තැනින් තැනට යවන ජංගම ආරක්‍ෂක සේවයක් බැවින් එකී තැනක ඇලර්ට් එක දමන්නටද බැරිය ඇලර්ට් එක යනුවෙන් ඔහු අදහස් කරන්නේ ඉංග්‍රීසි alert යන වචනයේ සිංහල තේරුම වන සුදානම් ශරීරයෙන් සිටීම හෝ අවදියෙන් සිටීම යන්න නොව මදක් ඇලවීමයි. මේ හේතු නිසා ඔහු හැකිතාක් දුරට නයිට් ඩියුටිම භාර ගනී දිවා කල බොහෝ විට පැය කීපයක්ම අනිවාර්ය නිවාඩු ලැබෙන නිසා නන්දන එම කෙටි කාලය විහාර මහා දේවී උයනේ බංකුවක් මත හෝ දුම්රිය පළක ලී බංකුවක මදක් නිදාගනී. උඩින් උඩින් පය තබා නැහැය වසාගෙන හෝ යා හැකි රුපියල් විස්සේ ටොයිලැට්ටුවකින් ඔහු දවස් එකහමාරකට වරක් සිය ප්‍රධාන ශරීර කෘතිය කරගන්නා අතර සුළු දිය මුදාහැරීම සඳහා තැනක් නොතැනක් නොබලයි. නන්දන ඇතුළු මහ මග නිදාගන්නන් රැසකගේම හැටි එහෙමය.

මහමග නිදන්නන් බොහෝ දෙනෙක් ළඟම කුඩා තුවායක්, ලොකු රෙද්දක්, සරමක්, කොට කලිසමක්, අමතර හොඳ ඇඳුමක්, දත් බුරුසු, අත්බේත්, රේසර් සබන් ආදි ඇතුළත් බෑගයක් තිබේ. එය ගමන් මල්ල මෙන්ම නින්දේදී හිසට තබන කොට්ටය ලෙසද ඔවුන්ට උදව් වෙයි. ගාල්ලේ හැරිස්ටන් නිදාගන්නේ පෞද්ගලික බස් වලය. සමහර විට ඒ ගමන්කරන බස් වලය. නැතහොත් රාත්‍රියට නැවතුම්පළක ගාල් කරන බස් රථයකය. ඒ සඳහා ඔහු බස් කොන්දොස්තර මල්ලීව හෝ රියදුරු මහතාව අල්ලාගෙන තම කතාව කියා යම් විශ්වසනීයත්වයක් දිනාගෙන සිටී. පෙර මෙන් නොව දැන් නාඳුනන අයෙකුට මෙසේ පොදු තැන්වල රාත්‍රියේ එක දිගට පැයක් දෙකක් ගත කිරීම අසීරුය. පොලීසිය, හමුදාව, ග්‍රාමාරක්‍ෂකයන්, සිවිල් ආරක්‍ෂක කමිටුව, රාත්‍රී සිකියුරිටි ගාඩ්ලා පමණක් නොව නිදාගෙන ඉන්නවුන්ට හෙමින් ලංවී උන්ගේ ඉණ ඉහ අතගා ගන්නා සුද්දෝදනලාගෙන්ද ගැලවීම ලෙහෙසි නැත. නමුත් ජනාකීර්ණ නගරවල මෙසේ නිතර නිදාගන්නා අය ගැන මෙකී නිලධාරීන්ද දැන් මදක් දනී. ඒ නිසා කරුණු පැහැදිලි කළ පසු සමහර විට එළිවෙනකම් නිදාගන්නට අවසරය ලබාදෙයි.

“අපි ඉස්සර හතර පස් දෙනෙක් එකට සෙට් වෙලා හිටියා. ඔක්කොම රස්සා කරන අය. අපි එක දවසක් පිටකොටුව බස් නැවතුමේ, තව දවසක් කොටුව ස්ටේෂමේ, ආයෙත් දවසක ගෝල්ෆේස් එකේ තමයි දවස් ගානෙන් ගානට නිදාගන්නේ. කතන්දර කියනවා, කාඩ් ගහනවා. දාම් අදිනවා, ප්ලේන්ටි ගහනවා. පැය දෙක තුනක් හොඳට නිදා ගෙන උදේම නාන බාල්දියකට ගිහින් නාගෙන ඇඳුම් හෝදලා, දන්න තැනක වනලා දාලා වැඩට යනවා. ගොඩක්ම පොඩිවෙලා නම් ලොන්ඩරියකට දීලා ඉස්තිරික්ක කර ගන්නවා.

නිදාගන්න තැනක් හොයන වීදියේ බණ්ඩාරලා

එත් දැන් ඒව කරන්න එච්චර ලෙහෙසි නැහැ. ඒ නිසා අපි කැඩිල වෙන්වෙලා තනි තනිව තමයි නිදා ගන්නේ. හැබැයි ඉඳහිට හම්බත් වෙනවා.

මෙහෙම කීවේ ඇඹිලිපිටියේ කුමාරසිරි. ඔහු දැන් අවුරුදු හයක්ම මේ ජීවිතේ ගත කරනව. මේත් ඔහුගෙ අදහස්.

එදා අපේ හොඳම පොට් (spot )එක (තැන) තමයි කොටුව ස්ටේෂමේ දකුණු කෙලවරේ ටිකට් කවුන්ටරය යට පේමන්ට් එක. එතනින් ටිකට් දෙන කැලණි වැලි කෝච්චිය රෑට යන්නේ නැති නිසා සෙනඟ එන්නෑ හරිම නිදහස්. අපි බිමට රෙද්දක් හරි පත්තර පිටු හත අටක් හරි එලලා හොඳට නිදා ගන්නවා. හරියටම උදේ හතරට සෙනඟ එන නිසා ස්ටේෂමේ දොරවල් අරිනවා. ඊට පස්සේ ප්ලැට්පෝම් ටිකට් (platform ticket) එකක් අරන් ඇතුළට ගිහින් වේටිං රූම් (gents waiting room) මහත්වරුන්ගේ විවේකාගාරයේ එකේ කුෂන් පුටුවක නිදාගන්නවා. හය හත වුණාම ලැට් එකෙන් ඇඟ පත හෝදාගෙන අලුත් ඇඳුම් ඇඳලා කැන්ටිමෙන් තේ බීලා වැඩට යනවා කිසි නෝන්ඩියක් නැහැ. ස්ටේෂමේ පදික වේදිකාවට නිදාගන්න එන අනිත් අයත් අපිත් එක්ක හරිම යාළුයි. හිඟන්නො, බේබද්දො, අපතයො, ගනිකාවෝ, ස්විප් විකුණන අය, පත්තර වෙළෙන්දො ඔය කොයි කවුරුත් එකට හරි සමගියෙන් හිටියා. ඒත් දැන් එක තැනක් නැහැ හොඳයි කියල හිතෙන තැනක වැටිලා නිදාගන්නව නිතර නිතර තැන් මාරු කරනව. රෑට පොලිසියෙන් චෙක් කළොත් එතකොට අපි කියන්නේ බස් එක මිස් වුණා ටිකක් වැඩිවුණා සල්ලි නැති වුණා වගේ මුසාවාද. ඇඳුම නිසයි, පෙනුම අප්සෙට් නැති නිසයි, ඈත ඇඩ්ඩ්‍රස් නිසයි, ජාතිය සිංහල නිසයි චාන්ස් එකක් තියෙන්නේ. අනික කොම්පැණි අයිඩෙන්ටියත් තියෙනවනෙ.

මට සමරසිරි නම් තැනැත්තා හමුවුණේ බැස්ටියන් පාරේ බස් නැවතුමට හැරෙන ඇපල් තට්ටුවක් අසල (මහ රෑ) නිදාගන්නට සැරසෙද්දි. ඔහු දවල් කාලයේ වැල්ලවත්තේ ලයිට් බඩු කඩයක (electrical shop) වැඩ කරන අතර පිටකොටුවට පැමිණ මැදියම් රාත්‍රිය වන තුරු එකී ඇපල් තට්ටුවේ වැඩට ද උදව් කරයි. ඉන්පසු හිමින් සීරුවේ ඇපල් තට්ටුව යටට රිංගා නින්දක් දමන ඔහු උදේම නැගිට යළි වැඩට යයි.

දන්න කියන අය වටේම ඉන්න නිසා වෙන කරදරයක් නැහැ. බොස් ඒත් මදුරුවොයි මීයොයි තමයි අටෑක් එක දෙන්නේ. කොයිල් දහයක් පත්තු කරත් උන් අහන්නේ නැහැ. සමහර මීයෝ පූසන්ටත් වඩා ලොකුයි. හපා නොකෑවට කිසි ගානක් නැතිව ඇඟ දිගේ මූණ උඩින් දුවනවා.

මහ මග නිදන්නන්ට බාධා කරන අනෙක් සතුරා වන්නේ නගර සභාවේ වතුර ලොරියයි. රාත්‍රී දහය පසු වෙද්දී එම ලොරිය ඉස්ටාට් කර ගන්නා රියදුරා සහ සහයකයන් කීප දෙනා තම බීට්ටු කාර්යාලයෙන් එළියට පැමිණ නගරය පුරා සැරිසරමින් අපතයන් නිදාගන්නවා යැයි ප්‍රසිද්ධ ස්ථානවලට විශාල මල් හෝස් පයිප්පයෙන් වතුර ඉසිනවා. එතන ඇති දුහුවිලි සහ කැලි කසළ සමග වතුර මුසු වනවිට නිර්මාණය වන අජූත මඩ වළ නිසා ඉන්පසු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් නිදාගැනීම නම් බොරුය.

මෙසේ වතුර ගැසූ තැන්වල නිදාගන්නට පුරුදු වුණු ගෙවල් නැති අය පමණක් නොව හිඟන යාචකයන් පවා අම්මා හෝ තාත්තා මතක් කරමින් නගර සභා රියදුරන්ට බනිනු මට කීප වරක්ම ඇසී ඇත.

පාරේ නිදාගන්න එක වැරදි තමයි ලොක්කා ඒත් අසරණ අපි ළඟින තැන්වලට වතුර කෙළින එක කොච්චර වැරදිද? අනික ඕව කරන්නේ ලොකු මහත්වරු නෙමේ අපි වගේ දුක අඳුනන නගර සභාවේම මෑන්ස්ලා නිසයි අපිට වඩාත්ම කේන්ති.

ඒ මගේ අදහස නොව වසර ගානක් මරදාන මගී පාලම යට නිදාගත් නජීම්ගේ අදහසයි.

පාරේ නිදා ගන්නන්ගේ ප්‍රධානම පිරිපහදු ස්ථානය වන්නේ නාන බාල්දියයි. නාන බාල්දි යනු ගමට හා මහ පොළවේ පය ගසා නැති අයටත් සාමාන්‍ය දැනීම නැති අසාමාන්‍ය අයටත් අමුතු දෙයක් වුවද නගරය ගැන දන්නා පොළවේ පය ගසා යන අයට අලුත් දෙයක් නොවේ. විශාල ලිඳකින් පොම්ප කරන ජලය හෝ පයිප්ප ජලය පුරවන ලද සිමෙන්තියෙන් බැඳි අඩි හතරේ හතරේ පමණ ටැංකි පේළියකින් මෙම නාන බාල්දි සංකීර්ණය හැදී ඇත. එදා පනස් ගණන් වල චොප්පෙලාගේ ධර්මෙලාගේ උත්තමන්ලාගේ කාලේ සත පහට දහයට මෙවන් නාන බාල්දියක් පැයකට දෙකකට ගත හැකිව තිබූ නමුත් අද එය රුපියලෙන් දෙකෙන් පහෙන් දහයෙන් පහළොවෙන් උසස් වී රුපියල් තිහ දක්වා වර්ධනය වී තිබේ. (නාන බාල්දි ගැන පසු දිනක කතා කරමු) අද දෙන්නෙකු එකතු වී වතුර පුරවන ලද නාන බාල්දියක් ගෙන හැකි පමණින් තම රාජකාරි ඉන් ඉටුකර ගනී. (කොම්පක්‍ද්ක්‍දවීදියේ, දෙමටගොඩ, පිටකාටුව ආදී නගර වල තාමන් මේවා දක්නට ඇත.)

පොලොන්නරුව, අනුරාධපුර, බදුල්ල, මොනරාගල, මහියංගනය, මඩකලපුව, තිරිකුණාමලේ, පොතුවිල්, කතරගම, මාතර, ගාල්ල, ආදී පළාත් වලින් කොළඹට එන බස් රථ හා ලොරි රථ රියදුරන් සහායකයන් හා කොළඹින් එහෙ යන රියදුරන් සහ සහායකයන්ද අද වැඩි දෙනෙක් නිදන්නේද මෙසේ මහ මග පදික වේදිකාවකය. ගාල්ලේ දෙවට නම් ස්ථානයේ ඇති සිමෙන්ති ෆැක්ටේරිය අසලත් දඹුල්ල මීගොඩ ආදී ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන අසලත් තවත් එවෙනි වාහන බහුල ඇඟලුම් කර්මාන්ත ආයතන අසලත් මෙසේ රාත්‍රියේ එළිමහනේ ගතකරන අය සිය ගණන් දකින්නට ඇත.

මං ඉස්සර ඇල්ලුවේ එයාපෝර්ට් එක. ෂා මරු තැන. ඒකේ තිබුණා රට යන අයව ඇරලල ප්ලේන් එක යනකං බලාන ඉන්න නැරඹුම් මැදිරියක්.(observtion termial of the katunayak international air port) දැන් ආරක්‍ෂක හේතු නිසා ඒක වහලා. ඉස්සර අපි කටුනායක බස් එකේ එයාපෝර්ට් ගිහින් රුපියල් දහයක් ගෙවල නැරඹුම් මැදිරියේ ටිකට් එකක් අරන් හොඳට සැප ගන්නවා. නාන්න වතුර කෑම කන්න හෝටල්, ටීවි, ටෙලිපෝන් විතරක් නෙමේ එතනට හැම පැත්තෙන්ම එන අයගෙන් නිදාගන්න ඉටි කොළ පවා ලැබෙනවා. ඕන නම් කෙල්ලෙක් සෙට් කරගෙන අයිනේ ගහක් යට කළුවර තැනකට එක්කන් ගිහින් සැපක් ගන්නත් පුළුවන්. ගොඩක් එයාපෝස් කොල්ලො ගැවසෙන නිසා පිටින් රෑට ගාමන්ට් කෙල්ලොත් ගොඩක් බහිනව මෙතනට.

මං වගේ තව සිය ගාණක් මෙහෙ එන්න පුරුදු වෙලා හිටියා. මං හිතන විදියට සැපට නයිට් එකක් ගහන්න තිබුණ හොඳම තැන තමයි එතන. එහෙම කීවේ පෞද්ගලික ආයතනයක සුළු සේවකයෙක් වන නිහාල්. ඔහු අදටත් නිදාගන්නේ හෝ රාත්‍රිය ගත කරන්නේ එවෙලෙට හොයාගන්නා එළිමහන් තැනකයි.

දුප්පතාගේ දුක නොදන්න, සමහර මහත්තුරුත් (පොලිස් හා හමුදා නිලධාරීන්) ඉන්නවා. ඒ අයට අපේ ප්‍රශ්නය තේරෙන්නෙ නැහැ. බනිනවා ගහනවා උස්සන් ගිහින් බලු කූඩුවෙ දානවා. සැකපිට නඩු දාලා පාදඩ නීතිය යටතේ උසාවි නග්ගනවා. අව්වෙන් වැස්සෙන් මඩෙන් දූවිල්ලෙන් මැසි මී මදුරුවන්ගෙන් මෙන්ම නීතියෙන්ද මොවුන්ට කිසි සහනයක් නැත.

යාචකයන්, වීදි ගනිකාවන්, මත්ලෝලීන්, පාතාලයන්, වීධි දරුවන් ගැන කළ විමර්ශන වලදී අපත් බොහෝ විට මෙසේ මහ මග ඇලර්ට් ගසා (නිදාගෙන) ඇත්තෙමු. එහිදී අපිද බිම එළා ගැනීමට උපයෝගී කර ගත්තේ පත්තර පිටු කීපයකි. (මෙකී සමීක්‍ෂණ නිසා මටද දැන් කිසි කරදරයක් නැතිව සිත්තර පත්තර පිටු තුනක් හෝ ටැබ්ලොයිඩ් පත්තර පිටු දෙකක් ඕනෑම ජරා තැනක එලා ඒ මත එකම ඉරියව්වෙන් එක් ඇලයකට හැරී පැය ගාණක් හෝ නිදාගන්නට හැකියාව ඇත.) මෑත කාලයේදීත් රාත්‍රී ගණන් දවස් ගණන් අප පදික වේදිකා වල නිදාගෙන කල්ගත කර ඇති අතර ඒ කිසිම දිනක කිසිම අයුරකින් නිසි ආකාරයේ පරීක්‍ෂාවකට අපි භාජනය නොවීමු. කොට කලිසම් හෝ වැරහිලි සරම් ඇඳ සිටියොත් පමණක් ඔවුන් අමුතු ඇසින් බලා හැඳුනුම්පත් පිරික්සන්නට පටන් ගනී.

විශේෂයෙන්ම හොඳින් ඇඳ පැළඳගෙන ආලෝකය ඇති තැන්වල එනම් විදුලි පහන් කණු යට සිටින අය ගැන නීතිය කරවන්නන්ද වැඩි අවධානයක් නොදක්වයි. ඔවුන් බොහෝ විට පරීක්‍ෂා කරන්නේ බලන්නේ කිළිටි වැරහැලි ඇඳගත් ලොකු බෑග් ආදිය එල්ලා ගත් අය දෙසයි. එමෙන්ම ද්‍රවිඩ මුස්ලිම් අය ගැනත් දෙවරක් සිතා බලයි.

කෙසේ වෙතත් අපට අවශ්‍ය වන්නේ යාචකයන් මෙන්ම යාචකයන් නොවන අයත් මෙසේ දහස් ගාණක් මහ මග රාත්‍රිය සහ තම විවේකය ගත කරන බව කින්නටයි. නමුත් ඉන් බහුතරයක්ම හිඟන්නන්ම නොවුනත් කුමක් හෝ ප්‍රශ්නයකින් දැවෙන තැවෙන අය බව අපි තේරුම් ගතිමු. බොහෝ අයට ගෙවල් දොරවල් නැත. සමහරුන්ට ළඟ පාත ගෙවල් නැත. තව අයට ගෙවල් තිබුණත් ඒවාට වැද්ද ගන්නේ නැත. එමෙන්ම පවුල් අවුල් වූ අය වෙන්වුණු විවාහ ඇති අයත් මද ඔල්මාද ඇති අයත් අපට මහමගදී මුණ ගැසුණි.

මේ සියලු දෙනාට අමතරව පාරේ නිදාගන්නා තවත් පිරිසක් අපට හමුවිය. ඒ තම නිවසේ ඉඩමදි කම නිසා ගෙදර ඉන්න බවලත් අයට තරුණියන්ට හා දරුවන්ට නිදාගන්නට ඉඩදී පැදුරත් කොට්ටයත් රැගෙන රාත්‍රියේ පාරට බහින පුරුෂයන්ය. කොමපක්‍ද්ක්‍දවීදිය, මරදාන, කෙසෙල්වත්ත, කොටහේන, කොච්චිකඩේ, ග්‍රෑන්පාස් ආදී ජනාකීර්ණ නගරවල මෙය සුලබ දසුනකි. ඔවුන් මැදියමේ අසල නයිට් කඩයකට වැද උණු උණුවේ පුච්චන පොල් රොටියක් හෝ පරාටාවක් කා ඉස්ට්‍රෝං ප්ලේන්ටියක් බී ලයිට් කණුවක් යට හෝ කඩයක් ඉදිරිපිට ළඟින්නේ සිය කැමැත්තෙනි.

සමහරු මෙය තට්ටු මාරු ක්‍රමයට එනම් මාරුවෙන් මාරුවට කරති. ඒ ඉඩකඩ මදි වීම මෙන්ම ගේදොර හෝ අතපයේ ඇති වටිනා බඩු ආරක්‍ෂා කිරීමටත්ය.

මත්ද්‍රව්‍ය හෝ සූදු පිටි බහුල නගර වල රාත්‍රියට අතරමං වන අමුත්තන්ට නවාතැන් සපයන කාමර එකල පැවතුනි. කොම්පක්‍ද්ක්‍දවීදියේ වාබි නානාගේ කාමරේ, ඩොල්කි මාස්ටර්ගේ දහයේ කාමරේ (දහයේ කාමරේ යනු රාත්‍රියට එක් අයකුගෙන් රුපියල් දහයක් අය කරන නිසාය.) නෝනක්කගේ ලෑලි මඩුව, මරදාන සුදුවැල්ලේ රත්නයියගේ වාඩිය, දෙමටගොඩ ඉයන්ගේ රූම් එක මේ සඳහා උදාහරණයි. මෙම තැන්වලට නිතර නිතර පොලිසියෙන් පනින නිසා වගකීමක් නැත. තමන්ගේ ආරක්‍ෂාව තමා බලාගත යුතුය. බොහෝවිට සල්ලාලයන් හොරුන් මත්ලෝලීන් වැනි අය මෙවැනි කාමරවල සෙවන සොයා එන අතර පොලීසියද එය දැන ගෙන නිරීක්‍ෂණයෙන් පසුවෙයි.

ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, තායිලන්තය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි අය සිටී. කැනඩාවේදී හා තායිලන්තයේ මට එවන් මහමග නිදන්නන් සමග ලඟින් ඇසුරු කිරීමට වරම් ලැබුණි. ලංකාවේ මෙන් නොව මෙම රටවල අය ඉතා උසස් රැකියා කරන අයයි. සමහරු ඉංජිනේරුවරුය, ගුරුවරුය. තවත් අය ව්‍යාපාරිකයන්ය. හැමදාම තම රැකියාව නිමකොට මහ මග අයිනක මෝටර් රථය නවතා එහිම නිදන සුරූපි තරුණ හෙදියක්ද මට කැනඩාවේ මොන්ටී්‍රල් හා කිංස්ටන් නගර අතර අධිවේගී මාර්ගයේදී හමුවිය. කිංස්ටන් නගරයට බොහෝ ඈත එඩ්මන්ටන් නම් ප්‍රාන්තයෙන් පැමිණි ඇය නිතර ගෙදර නොයයි. කාමරයක් ගන්නටද කැමති නැත. තවත් මෙවැනි චරිත එම රටවල බොහෝය. ඔවුන් ඇමෙතෙන්නේ ගෙවල් නැති අය හෙවන් homeless people යනුවෙනි. මොවුන් සඳහා දැන් ක්‍රිස්තියානි සමාජ සේවා ආයතන ඉදිරිපත් වෙමින් centres for street sleepers shelter for homeless half way houses ආදී විවිධ නමින් නිදාගන්නා ස්ථාන ආරම්භ කර ඇත.

ඉන්දියාවේ බැගලෝරයේද ආටා රාජා නම් පුද්ගලයෙක් විසින් පවත්වාගෙන යන මෙයට සමාන කඳවුරක් මට දක්නට ලැබුණි. ආටා රාජා හෝ රවුඩ් රාජා ලෙස එදා පාතාලයේත් පහල සමාජයේත් කුප්‍රකටව සිටි නූගත් ත්‍රීවීල් රියදුරෙක් වන ඔහු අද ඒ ජීවිතයෙන් මිදී සිඟන්නන් සහ මහමග නිදන්නන් සඳහා අපූරු මධ්‍යසථානයක් පවත්වාගෙන යයි. ඉන් එක් කොටසක ඇත්තේ දිවා කාල වැඩට යන ඒත් ගෙයක් දොරක් නැති මිනිසුන්ය.

අද අප රටටත් මේ ප්‍රස්තූතන සම්භන්ධයෙන් විකල්පයක් අවශ්‍යව ඇති බව අවධාරණය කරන්නට කැමැති අතර විකල්ප රවුං කරන මානුෂික අයිතිය, මානව හිමිකම්, සමානාත්මතාවය, සහජීවනය, දිළිඳුකම පිටු දැකීම ගැන මොරගහන පිකටිං කරන උද්ඝෝෂණය කරන නෝනලා මහත්තුරුන්ට මේ අයව අමතක දැයි කියාද අවසානයේ මම ප්‍රශ්නයක් නගමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment