මරා දැමූ තැනැත්තාගේ අවමඟුල තමාගේ නිල නිවසේදීම සිදු කළ දේවගැතිවරයා

674

වෛද්‍යවරයාගේ අධිමාත්‍රා එන්නතෙන් සිහි කැඳවන අපේ කාලයේ රස්පුටින් වෘතාන්තය

ස්වකීය බිරිඳට බලහත්කාරයෙන් ඉන්සියුලින් අධිමාත්‍රා එන්නතක් දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වෛද්‍යවරයෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර බිරිඳ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ. මෙම සිද්ධිය පිළිබඳව උසාවි තීරණය ලැබෙන තුරු අපට කිසිත් කිව නොහැකිය. මෙම ප්‍රයත්නයත් සමග අප රට තුළ වූ මේ ආකාරයේ සිදුවීම් දෙකක් මතකයට නැඟේ. ඉන් එකක් සුප්‍රකට නඩු විභාගයක් වූ පද්මිණි කුලරත්න ඝාතන යයි. දෙවැන්න එවැනිම ප්‍රසිද්ධියක් ලැබූ මැතිව් පීරිස් නඩුව ය. නමුත් ඖෂධ අධි මාත්‍රා යොදා ගනිමින් කරනු ලැබූ ද්විත්ව මිනීමැරුමක් පාදක කර ගත් මැතිව් පීරිස් සිද්ධිය මේ අතර වඩාත් කැපී පෙනෙයි. තමා කෙරෙහි අන්‍යයන් තුළ වූ අධික විශ්වාසයද, ආගමික නායකයකු ලෙස තිබූ කීර්තියද, තමා සතුව සුවිශේෂ බලයක් ඇතැයි යනුවෙන් පැතිර තිබූ ප්‍රචාරය ද මුල් කර ගනිමින් මැතිව් පීරිස් නමැති දේවගැතිවරයා විසින් තම සිත් දිනා ගත් ගැහැනියක ලබා ගැනීම සඳහා කරනු ලැබූ මෙම මිනිස් ඝාතන දෙක කෲරත්වයෙන් ඉහළම තැනක් අත්පත් කර ගන්නකි. ඒ සඳහා තම අනියම් බිරිය වූ ඩැල්රීන් ද හවුල්කාරියක් වූවාය.

මැතිව් පීරිස් දේවගැතිවරයා සහ ඔහුගේ අනියම් බිරිය ක්‍රියාත්මක වී ඇති ආකාරය දෙස බලන විට නින්දිතභාවය අතින් මෙය අනෙක් අපරාධවලට වඩා ඉහළ තැනක් අත්පත් කර ගන්නා බව පෙනේ.

ඔවුන් දෙදෙනා විසින් ඝාතනය කර තිබුණේ ඉයුනිස් ෆිලීෂියා පීරිස් සහ රසල් ඉන්ග්‍රම් යන දෙදෙනාය. ඉයුනිස් ෆිලීෂියා දේවගැතිවරයාගේ බිරිඳ වූ අතර රසල් ඉන්ග්‍රම් තම අනියම් බිරිය වූ ඩැල්රීන්ගේ සැමියා විය. දෙදෙනාම මරණයට පත් කරනු ලැබුවේ රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවීමට සලස්වා යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි අයුරින් මොළයට හානි කරවීමෙනි. මේ නිසා 1978 අගෝස්තු 10 රසල් ඉන්ග්‍රම්ද, 1979 මාර්තු 19 ඉයුනිස් ෆිලීෂියා ලොයිස් පීරිස් ද මරණයට පත් වී තිබේ. මරණ සිදු කිරීමට සැලසුම් කිරීම, මරණයක් සිදු කිරීමට ආධාර අනුබල දීම සහ මරණ සිදු කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබිණි. අපේ කාලයේ රස්පුටින් කතාවක් වන මෙයට මුල පිරෙන්නේ දේවගැති මැතිව් පීරිස් ගුප්ත බලයකින් ලෙඩ සුව කරන බවට කතාවක් පැතිරී යෑමත් සමග ය. දේවගැතිවරයා ඒ වන විට සිටියේ කොළඹ කිංසි පාරේ ඇන්ග්ලිකන් නිකායට අයත් ශාන්ත පාවුළු දෙවස්ථානයේ ප්‍රධාන පූජකවරයා වශයෙනි. ඒ වන විට ඩැල්රීන්, රසල් ඉන්ග්‍රම් සමග විවාහ වී සිටි අතර ඔවුහු අතුරුගිරියේ පදිංචිව සිටියහ. මේ අතර දිනක ඩැල්රීන්ගේ සහෝදරියක තම රෝගී දියණියක් දේවගැතිවරයා වෙත ගෙන යන්නේ ඔහු සතු ගුප්ත බලයෙන් සුවයක් ලබා ගනු පිණිසය. මොන හේතුවකින් හෝ රෝගියා සුවපත් වූ අතර දෙවනුව ඔවුන්ගේ සහෝදරයෙකු ද රෝගී වීම නිසා දේවගැතිවරයා වෙත රැගෙන යන ලදි. ඒ ගමනට ඩැල්රීන් ද එක්වූවාය. ඒ ගමනින් අනතුරුව දෙවන රෝගියා ද සුවපත් වූ හෙයින් මැතිව් පීරිස්ගේ ගුප්ත බලය පිළිබඳ විශ්වාසය ඩැල්රීන් පවුලේ සාමාජිකයින් තුළ දැඩි ලෙස තහවුරු විය. ඉක්බිති ඔවුහු එම පල්ලියේ නිත්‍ය සාමාජිකයින් වූ අතර එහි තිබූ සියලු දේව මෙහෙයන්ට සහභාගී වූහ.

මරා දැමූ තැනැත්තාගේ අවමඟුල තමාගේ නිල නිවසේදීම සිදු කළ දේවගැතිවරයා
දේවගැති මැතිව් පීරිස්

මෙම දේව මෙහෙයන් සඳහා පැමිණෙන ඩැල්රීන් කෙරෙහි මැතිව් පීරිස් පූජකවරයාගේ විශේෂ අවධානයක් යොමුවන්නට වූ අතර එය පල්ලියේ සිටි සෙසු පිරිසටද රහසක් නොවිණි. දේවගැතිවරයා විසින් තම සහාය සඳහා ඩැල්රීන්ව තෝරා ගැනීමෙන් ඒ සැකය තවදුරටත් සනාථ විය.

මේ වන විට පනස් හැවිරිදි වියේ පසු වූ විවාහක දේවගැතිවරයා තිස් හය හැවිරිදි ඩැල්රීන්ට, ඇගේ සැමියා වන රසල් ඉන්ග්‍රම් සහ දරු තිදෙනාද සමග තම පූජක නිල නිවාසයේ පදිංචි වීමට ඉඩ සලසා දුන්නේ තවදුරටත් ඇගේ සහාය අවශය බව පවසමිනි. මේ 1976 දීය. නමුත් 1977 වසරේ ඔවුහු යළිත් අතුරුගිරියේ පදිංචියට ගියහ. නමුත් ඩැල්රීන් ඉන් පසුවද දිනපතාම මැතිව් පීරිස් දේවගැතිවරයාගේ පල්ලිය වෙත පැමිණියාය. මේ අතර ඇන්ග්ලිකන් සභාවෙන් මැතිව් පීරිස් දේවගැතිවරයා වෙත Grand Master of Ceremony නම් ගෞරවනීය නිලයක් ප්‍රදානය කෙරෙන අතර ඔහුට ඩැල්රින්ව සිය ලේකම් තනතුරට පත් කර ගැනීමට ලැබෙයි. දෙදෙනා අතර වඩාත් සමීප සබඳතාවයක් මේ නිසා ඇරඹෙන අතර දේවගැතිවරයා මැදිහත් වී රසල් ඉන්ග්‍රම්ට දැන්වීම් ප්‍රචාරක ආයතනයක රැකියාවක් ද ලබා දෙයි.

මේ කාලයේ දේවගැතිවරයාගේ බිරිඳ පස්වරු 12.30 සිට 05.30 දක්වා සිය ඉගැන්වීමේ කටයුතු සඳහා නිවසින් බැහැර ගියාය. එබැවින් ඩැල්රීන්ට සහ දේවගැතිවරයාට සිය නිල නිවහන තුළ තනිව සිටීමට වැඩි ඉඩක් ලැබී තිබිණි. මේ වන විට දැන්වීම් ප්‍රචාරක ආයතනයෙන් ඉවත්ව වෙන රැකියාවක යෙදුණු රසල් ඉන්ග්‍රම් 1977 ජූනි මාසයේ දිනක සේවය නිමාකර ඩැල්රීන් සේවය කළ පූජක නිල නිවහනට ගොස් එහි රාත්‍රිය ගත කළේය. මනා සෞඛ්‍යය තත්ත්වයකින් යුත් රසල් ඉන්ග්‍රම් ඊට පසු දින හිටිවනම රෝගී වූයේය. ඊට පසු දින දේවස්ථානයට ගිය රසල්ගේ මව වූ කෝරාට ඩැල්රීන්ගෙන් දැන ගන්නට ලැබුණේ දැඩි හිස රුදාවක් වැළඳීම නිසා රසල් නිදා සිටින බවය. ඔහු අසලට ගිය කෝරාට දක්නට ලැබුණේ දහදියෙන් පෙඟුණ සිරුරකින් යුතුව ක්ලාන්ත ස්වභාවයකින් ඇඳෙහි වැතිරී සිටින රසල්වය. තත්ත්වය තවදුරටත් බරපතල වූ බැවින් රසල්ව පසු දින ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කළ බව මැතිව් පීරිස් හිතවතෙකුට පවසා තිබිණි. රසල්ව රෝහලට බාර දුන් මැතිව් පීරිස් දේවගැතිවරයා, රසල් විකාර දොඩවන බවත්, ඔහුට නිතරම පිපාසයක් ඇතිවන බවත්, අග්න්‍යාසයේ ගෙඩියක් ඇති බවත් පවසා තිබේ. එමෙන්ම සවස් භාගයේ ඔහු බැලීමට පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍ය මුත්තයියාට රසල් අධික ලෙස මත්පැන් බොන්නකු බව පැවසීමට ද අමතක නොකළේය. එහෙත් වෛද්‍යවරයාට ඔහු එවැන්නකු බව හඳුනාගත හැකි ලක්ෂණ දැක ගත නොහැකි වේ. ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද යහපත්ව පැවතිණි. සුවපත් වී පැමිණි රසල් එම වසරේ ජූනි 11 වැනි දින යළි සේවයට ගියේය.

ඉක්බිති 1978 මාර්තු 29 වැනි දා දේවගැති නිවසේ සමුගැනීමේ සාදයක් පැවත්විණි. ඒ මැතිව් පිරිස් යුවලගේ එකම පුතු විදේශ ගත වීම නිමිත්තෙනි. රසල් සහ ඩැල්රින් පවුලද එයට සහභාගි වූහ. අප්‍රේල් 18 වැනි දා රසල් සහ ඩැලරින්ගේ විවාහ සංවත්සරය යෙදී තිබූ අතර, එය පවත්වනු ලැබුවේ ද පූජක නිවසේ ය. ඉක්බිති 1978 ජූනි මාසයේ දී රසල් ඉංග්‍රම් යළිත් අසනීප විය. තවදුරටත් රසල්ගේ රෝගී තත්ත්වය නරක අතට හැරුණු අතර කරකැවිල්ල නිදිමත හා ක්ලාන්ත ගතිය නිසා සේවා ස්ථානයෙන් නිවාඩු ගැනීමට සිදුවී තිබේ. 1978 ජූනි 09 වන දින රසල්ගේ පියා වන ඇලෙක්ස් ඔහු බැලීමට පූජක නිවසට පැමිණ තිබේ. එහි දී උඩුබැලි අතට ඇඳේ දිගා වී සිටින රසල්ව දැකගත හැකි විය. මෙහිදී දේවගැතිවරයා රසල්ගේ පියාට පවසා ඇත්තේ රසල්ගේ අග්න්‍යාසයේ රෝගි තත්ත්වයක් ඇති බැවින් ඔහුව සැත්කමකට භාජනය කළ යුතු බවත්, ලක්ෂමන් වීරසේන නමැති වෛද්‍යවරයා විසින් ඖෂධ ලබා දී ඇති බවත්ය. නමුත් නඩු විභාගයේ දී වෛද්‍ය ලක්ෂමන් වීරසේන තමා එසේ නොකළ බව ප්‍රකාශ කර තිබේ.

සිය පුතුගේ රෝගී තත්ත්වය නිසා රසල්ගේ පියා ද දින හතරක් තිස්සේ පූජක නිවසේ නැවතී සිටියේය. එහි දී ඔහුට පෙනී ගියේ රසල්ගේ කෑමබීම ඩැල්රින් වෙනුවට පූජකවරයා විසින්ම සකස් කොට කවන පොවන බවය. එක්වරක් මැතිව් පිරිස් දේවගැතිවරයා තම ලෝගුවේ සාක්කුවෙන් ගත් පෙති හතරක් සහ කරලක් රසල්ට ලබා දෙන අයුරු ද ඔහුගේ පියා විසින් දැක තිබේ. මෙම බෙහෙත් පෙති පානය කළ සැණින් රසල්ට දැඩි ලෙස දහඩිය දමන්නට පටන් ගෙන තිබේ. මේ අතර රතු විදුලි බුබුලක් දැල් වූ කාමරයකට වී දේවගැතිවරයා ධ්‍යාන ගතවී යමක් මුමුණන අයුරුද රසල්ගේ පියා දැක තිබේ. පසු දිනක මේ ගැන දේවගැතිවරයාගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ නුදුරු දිනක සිදුවන මහා ඛේදවාචකයක් පිළිබඳව දේව දූතයින් තමාට දන්වන බවය. රසල්ගේ පියාගේ අදහස වූයේ තම පුතු වඩාත් හොඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බවය. එහි දී දේවගැතිවරයා ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඔහු පැවසුවේ එවැන්නක් කළහොත් රෝගය වඩා උග්‍රවිය හැකි බවය. තම පුතු හා බිරිඳ ඉතා දැඩි ලෙස දේවගැතිවරයාව විශ්වාස කළ බැවින් රසල්ගේ පියාට ද කළ හැක්කක් නොවීය. ඔහු නිහඬවම ආපසු ගියේය. නමුත් ජූනි 15 වන විට රසල් නැවතත් අසනීප වී සිටියේය. රසල්ගේ පියා සිය බිරිඳ ද කැටුව තම පුතු බැලීමට ගියේය. ජූනි 19 වැනිදා වන විටත් ඔවුහු නැවතී සිටියේ එහිය. 19 වන දා උදෑසන රසල් වියරුවෙන් මෙන් හැසිරී තිබේ. එය සිරුරේ රුධිර සාන්ද්‍රණය අඩු වීම නිසා ඇතිවිය හැකි තත්ත්වයක් බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබේ.

මේ අතර රසල්ගේ පියාට දැක ගන්නට ලැබුණේ දේවගැතිවරයා රසල් සහ ඩැල්රින් නිදන කාමරය දෙස හොරැහින් බලන බවය. ඒ ගැන රසල්ගේ පියා විමසූ විට ඔහු පවසා ඇත්තේ රසල් ලිංගිකව හැසිරීම ඔහුගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවින් ඒ පිළිබඳව තම අවධානය යොමු කළ බවය.

රසල් යළිත් රාජකාරියට ගියද ජූනි 23 වන දා යළිත් අසනීපව නිවසට පැමිණියේය. නමුත් රසල්ව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඔහුගේ පියා කළ යෝජනාව නැවත නැවතත් ප්‍රතික්ෂේප විය. කෙසේ හෝ අවසානයේ රසල්ව කොළඹ මහ රෝහලේ 44 ඒ වාට්ටුවට ඇතුල් කිරීමට කටයුතු යෙදිණි. ඉක්බිති දේවගැතිවරයා වාට්ටුව භාර වෛද්‍යවරියට රසල් පිළිබඳව බොරු ගොඩක් පැවසුවේ රසල්ගේ පියාට කතා කිරීමට ඉඩක් නොතබමිනි. එහි ප්‍රතිකාරවලින් අනතුරුව රසල්ව ශල්‍ය වෛද්‍ය වාට්ටුවකට මාරු කරන ලද්දේ දේවගැතිවරයා විසින් නිරන්තරයෙන් කියනු ලබන ආකාරයට රසල්ගේ අග්න්‍යාසයේ ගෙඩියක් තිබේදැයි පරික්ෂා කර බැලීමටය. එහි දී හෙළි වූයේ අග්න්‍යාසයේ ගෙඩියක් නොමැති බවත්, රසල් පිළිබඳව දේවගැතිවරයා පවසන බොහෝ දේ බොරු බවත්ය. ඉක්බිති ඔහුව රෝහලෙන් මුදා හරින ලද අතර යළිත් දේවගැතිවරයා විසින් පූජක නිවසට කැඳවාගෙන එන ලදි. රෝහලෙන් පිටවන විට රසල්ට කිසිම ඖෂධයක් ලබා දී නොතිබූ නමුත් දේවගැතිවරයා විටින් විට ඔහුට බෙහෙත් පෙති ලබා දී තිබේ. එම බෙහෙත් පෙති ලබා ගත් විට තමාට බරපතල නිදිමතක් දැනෙන බව එදින තමා බැලීමට පැමිණි තම බිරිඳගේ සොහොයුරියටත් ඇගේ සැමියාටත් රසල් පවසා තිබුණි.

මරා දැමූ තැනැත්තාගේ අවමඟුල තමාගේ නිල නිවසේදීම සිදු කළ දේවගැතිවරයා

වඩාත් පුදුම සහගත කාරණය වූයේ දිවා ආහාරයෙන් පසු මැතිව් පිරිස් දේවගැතිවරයා ඔවුන් දෙදෙනා සමග රසල්ගේ භූමදාන කටයුතු පිළිබඳව කතා කිරීමය. එයට හේතුව රසල්ගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකි යයි තමා දන්නා නිසා යයි ඔහු පවසා තිබේ. ඉක්බිති තවත් දිනක් තුළ රසල්ව මහ රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී කරන ලද පරීක්ෂාවෙන් හෙළි වූයේ රසල්ගේ සිනි මට්ටම බිංදුව වී තිබූ බවය. ජූනි 18 වන දින රසල්ගේ තත්ත්වය අසාධ්‍ය විය. විශේෂඥ වෛද්‍ය ෂෙරීෆ්ඩීන් පවසා ඇත්තේ රෝගියාගේ මොළයට තදබල ලෙස හානි වී ඇති බවය.

රසල්ට ආහාර ලබා දුන්නේ නාසය දිගේ යැවූ බටයකට සම්බන්ධ කළ කෙළවර කැපූ සේලයින් බෝතලයකින් දියර ලෙස තැනූ ආහාර ඇතුළු කිරීමෙනි. දේවගැතිවරයා විසින් ගෙනෙන ලද ආහාර එයට ඇතුළු කරනු ලැබුවේද ඔහු විසින්මය. ඒ ආහාර ගත් සැණින් රසල්ගේ සිරුරෙන් අධික ලෙස දහඩිය පිටවූ බවත්, දෙනෙත් උඩ ඉන්දවුණු බවත් හෙදියන් විසින් නිරීක්ෂණය කර ඇත.

තවද දේවගැතිවරයා සහ ඩැල්රින් රසල්ව බලා ආපසු ගිය පසු සේලයින් ශරීර ගතවීම නවත්වා දමා ඇති බවද, සිරුරට සම්බන්ධ එන්නත් කටුව ගලවා තිබූ අවස්ථාද වූ බවද අධිකරණයේ දී හෙළි විය.

මේ හේතුකොට ගෙන අවසානයේ නිව්මෝනියාවට ගොදුරු වූ රසල් ඉන්ග්‍රම් 1978 අගෝස්තු 10 වන දා සිහි නොලබා සිටියදීම මිය ගියේය. මේ අවස්ථාවේදී රෝහලේ ඇති මළ සිරුර කිසිවෙකුට නොපෙන්වන තත්ත්වයක් ඇති කිරීමට තරම් දේවගැතිවරයා බලවත්ව සිට ඇත. රසල්ගේ පියාට පවා ඒ සඳහා දැඩි සටනක් කිරීමට සිදුවිය.

අදාළ පොලිස් නිලධාරියාට රසල්ගේ බිරිඳ වන ඩැල්රීන් විසින් දෙන ලද කට උත්තරයද දේවගැතිවරයාගේ පිටපතක් අනුව සැකසී තිබිණි. ඒ අනුව සිය සැමියාගේ මරණය ගැන කිසිවකු සැක නොකරන බව සහ සහ තවත් අසත්‍ය ප්‍රකාශ රැසක්ද ඇය විසින් ඉදිරිපත් කර තිබිණි. මෙහිදී රසල්ගේ අවමඟුල සිදු වූයේද පවුලේ උදවියට උවමනා ආකාරයට නොව දේවගැතිවරයාට උවමනා අයුරිනි. ඔහු ඒ අයිතිය ලබා ගත්තේ රසල්ගේ බිරිඳ වන ඩැල්රින්ගේ අනුමැතිය මතය.

නමුත් මෙම අතිශයින් සංකීර්ණ තත්ත්වය යටතේද මැතිව් පීරිස් දේවගැතිවරයා විසින් ඩැල්රීන්ට මුදුවක් පළඳවන ආකාරය ඇගේ සොයුරියක් වන තෙරේසා විසින් දැක තිබේ.

මේ අතරේ සිය දෙවැනි ඝාතනය ද නොපමාව සැලසුම් කළ දේවගැතිවරයා ඒ වන විට එංගලන්තයේ සිටි සිය බිරිය සහ අවිවාහකව සිටි දියණිය ද ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ 1978 දෙසැම්බර් 05 වැනිදාය.

ඉක්බිති පසුදින රාත්‍රියේදීම සිය බිරිඳගේ ඉරණම පිළිබඳ සංඥාව ලබා දීමට දේවගැතිවරයා කටයුතු කළේය.

ඒ සිය දේවදූතයන් සමග සාකච්ඡාවේදී මෙය ඇගේ අවසන් නත්තල වනු ඇති බවත්, ඇයට බරපතල ආමාශයේ ආබාධයක් ඇති බවත් මුමුණමිනි. ධ්‍යාන්‍යයෙන් මිදුණ පසු ඒ ගැන විමසූ විට කිසිවක් ඒ ගැන නොපැවසූ බව පවසා ඔහු ඇයව තවදුරටත් බියපත් කර තැබීය. ඇයද දේවගැතිවරයාගේ අදෘශ්‍යමාන බලය ගැන අසීමිතව විශ්වාස කළාය.

නමුත් එතැන් සිට පුරා මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ රසල් ඉන්ග්‍රම් අරබයා කටයුතු කළ ආකාරයටම සිය බිරියව ද මරු තුරුළට කැඳවාගෙන යෑමට දේවගැතිවරයා සමත් විය. ඒ අනුව 1979 මාර්තු 19 වෙනිදා ඇය ද සිහි නොලබාම මිය ගියාය.

මීට පෙර රසල් ඉන්ග්‍රම්ගේ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දෙමින් වැඩිදුර පරීක්ෂණ කරන ලෙස පොලීසියට කර තිබූ නියෝගයට මේ මරණයත් සමග පණ ලැබිණි. පොලිස් අධිකාරි ටිරල් ගුණතිලකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි හේමා ගුණතිලක සහ පොලිස් පරීක්ෂක කෲස් ඇතුළු කණ්ඩායමක් විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරිණි.

අත්අඩංගුවට ගන්නා ලද මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම්ට එරෙහි නඩුව 1983 මාර්තු 14 සිට 1983 දෙසැම්බර් 06 දක්වා පැවැත්විණි. කොළඹ මහාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් යටතේ විභාගයට ගැණුනු අතර මෙම නඩුවේ සෙසු විනිශ්චයකරුවන් වූයේ පී. රාමනාදන් සහ ඩී. සී. ඩබ්ලිව්. වික්‍රමසේකර යන මහතුන්ය.

1984 පෙබරවාරි 15 වැනි දින මෙහි තීන්දුව ප්‍රකාශ කළ අතර, ඒ අනුව මැතිව් ජෝර්ජ් පීරිස් දේවගැතිවරයාටත්, ඩැල්රින් මිනිසන්ට් ඉන්ග්‍රම්ටත් මරණීය දණ්ඩණය නියම කෙරිණි. පසුව ඉදිරිපත් කළ අභියාචනයෙන් ද එම තීන්දුව සනාථ කෙරිණි.

එවකට විසූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කළ අතර වසර 13 කට පසුව ඔහු නිදහස් කෙරිණි. මේ වන විට ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි කෙතරම් ප්‍රබලද යන්න පෙන්වා දෙන නඩුවක් ලෙස මෙය අධිකරණ ඉතිහාසයේ ලියැවී තිබෙන්නකි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment