පහළොස් හැවිරිදි සිසුවා දහසය හැවිරිදි සිසුවියට තියුණු ආයුධයකින් පහරදීලා

796

සිසුවියට බරපතළයි

සිසුවා අත්අඩංගුවට

කැකිරාව රණජයපුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙක් එම පාසලේම ඉගෙනුම ලබන දහසය හැවිරිදි ශිෂ්‍යාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රණජයපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට ඇත.

සැකකාර සිසුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක පදිංචිව සිටින සිසුවියකට එම නිවස අසලදී මෙලෙස පහරදී ඇත.

මෙම ප්‍රහාරයෙන් සිසුවියගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුවී ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

මේ අතර සිසුවියට පහරදීම සිදුකළ බව කියන සිසුවා විසින් සිසුවියට පහරදීමට යොදා ගත් බව කියන පිහියත් රැගෙන රණජයපුර පොලිසිය වෙත බාරවීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියෙන් තුවාල ලත් ශිෂ්‍යාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ඊට හේතුව අනාවරණය කර ගත හැකි වනු ඇති බව රණජයපුර පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

සැකකාර සිසුවා ඊයේ (20) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment